දැන් හැදෙන පරම්පරාව අපේ එක වගේ නොවේ!


අපේ පරම්පරාවේ (වැඩිහිටි) අය කතා කරන විට නිතර ඇසෙන්නේ දැන් හැදෙන දරුවන්ගේ දුර්වලතා, අඩුපාඩු හා අවපක්ෂය පිළිබඳ වෙනත් කතා ය.

මට මතුවන පළමු ප්‍රශ්නය වන්නේ මේ කාගේ දරුවන් ද යන්න ය. ඔවුන් නොනිසි මග යන්නේ නම් එහි වගකීමෙන් වැඩිහිටි අපට මග හැරිය හැකි ද යන්න ය.

දෙවැන්න නම් මේ ප්‍රශ්නය හැම පරම්පරාවකම වැඩිහිටියන් විසින් ඊළග පරම්පරාව වෙත එල්ල කෙරෙන දෝෂාරෝපනයක් නොවේ ද යන්න ය.

තෙවැන්න නම් ඔය කියන තරමට නරකක් අලුත් පරම්පරාවේ තිබේ ද යන්න ය.

පරම්පරාවන් අතර වෙනසක් තිබේ. පුදුමය එසේ තිබුනොත් නොව නොතිබුනොත් ය. විශේෂයෙන් මේ වෙනස වඩාත් ප්‍රකට වන්නේ අප අගයන පරම්පරාවේ සාරධර්ම හා අගැයීම් සම්බන්ධයෙනි.

අපේ සාරධර්ම හා අගැයීම් පද්ධතිය අප ගොඩ නගා ගන්නේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සිදුවන පරිවර්තනයේදී ය. වයසින් ගණන් බලන්නේ නම් වයස 18-25 අතර සමයේ ය. ඉදිරි කාලය අප ගත කරන්නේ එසේ සකසා ගත් සාරධර්ම හා අගැයීම් අනුගමනයෙනි. ඒ නිසාම ඒ සාරධර්ම ඉදිරි ජීවිත කාලයේදී ම අපගේ හැසිරීම් මෙහෙයවන්නට කටයුතු කරනු ඇත්තේ ය. වෙනස්වන ලෝකය ඉදිරියේ වුව ද බොහෝ දෙනෙකු ඒ සාරධර්ම සම්බන්ධයෙන් නොසැලී සිටින්නට සමත් වන්නෝ ය. අප ඒ තරමටම ඒවාට ඇලී සිටීමට එක් හේතුවක් වන්නේ අපේ අනන්‍යතාවය ඇත්තේ එහි වීම ය.

ඊළග පරම්පරාව සාරධර්ම ගොඩ නගා ගන්නේ ඔවුන් වයස 18-25 පමණ කාලයේ ය. ඒ ලෝකය අප 18-25 දී මුහුණ දුන් ලෝකය නොවේ. එය වෙනස් ය. එහි අභියෝගයන්ට මුහුණ දීමට පැරණි සාරධර්ම සමග නොහැකි ය. එවිට සිදුවන්නේ ඒ ලෝකයට ගැලපෙන්නාවූ නව සාරධර්මයන් හා අගයන් කොටසක් ගොඩ නගා ගැනීම ය.

පවුලක දරුවන් බොහෝ සිටීම ආශිර්වාදයක් ලෙස සැළකුනු අපේ දෙමාපියන්ගේ කාලයේ සමහර පවුල්වල 8-10 දරුවන් සිටීම සාමාන්‍ය දෙයක් වූයේ ය. ඒ කාලයේ අම්මලා තාත්තලාට තිබුනේ කන්න දෙන්න පමණ ය. පාසලට යන වියදම ඇදුම්වලට පමණක් සීමා විය.

දැන් එසේ නැත. එක් දරුවෙක් හදන්නට ද බොහෝ වියදම් කළ යුතු ය. ඉතින් දැන් පුංචි පවුල රත්තරන් වී ඇත්තේ ය.

මා මේ දැක් වුයේ එක් උදාහරණයක් පමණකි. සාරධර්ම යුක්ති යුක්ත කරන්නේ වටපිටාව විසින් බව තේරුම් ගැනීමට මේ උදාහරණය පමණක් වුව සෑහේ.

දොස් නගනවානම් දොස් නැගිය යුත්තේ කාලයට ය. දරුවන්ට නොවේ.

එහෙත් කාලයට පවා දොස් නගන්නට අපට පුලුවන් ද? ඒ ගැන ඊළග සටහනෙන් විමසමු.