රජයේ කාර්යාලවල පසුගාමිත්වයට හේතු


See the source image

රජයේ කාර්යාලවල පසුගාමී ක්‍රමවේදයන් පිළිබඳව හා ඇතැම් නිලධාරීන්ගේ සිතීමේ නොහැකියාව ගැන උදාහරණ සහිතව ලියන ලද සටහනකට ලැබුණු එක් වටිනා ප්‍රතිචාරයක් වූයේ එසේ වී ඇත්තේ කුමන හේතු නිසා ද යන්න විමසිය යුතු බව ය. එය විසඳුම් අපේක්ෂා කරන කෙනෙකුගේ අවධානය ලැබිය යුතු ඒ නිසා ම මග හැරිය නොහැකි වටිනා කරුණකි. මේ සටහන ඒ හේතු විමසීමට ය.

මුල් ම හේතුව වන්නේ රාජ්‍ය ආයතන ඒකාධිකාරී ස්වභාවයක් ගැනීම ය. ඔවුන් සපයන සේවය වෙනත් ස්ථානයකින් ලබා ගැනීමට ජනතාවට නොහැකි ය. වෙනත් විකල්ප ආයතන තිබෙන විට වුව ද විශාල මුදලක් ගෙවා මිස ඒ සේවය ඒවායින් ලබා ගත නොහැකි නිසා ය.

දෙවැනි හේතුව පෞද්ගලික අංශයේ මෙන් ලාභ උපයා ගැනීමේ වුවමනාවක් ඊට නැති වීම ය. ඒ නිසා ම වෙනස් කිරීමට පෙළඹුමක් නැති වීම ය.

තුන්වෙනි හේතුව එවැනි වෙනසක් සඳහා කැප වීමට සූදානම් රාජ්‍ය සේවකයන්ට ඒ සඳහා දිරි ගැන්වීමක් නැති වීම ය. ඒ වෙනුවට ඔවුන්ට බාධක රැසක් මතු වීම ය. ඔවුන් කරදර කාරයන් හැටියට සෙසු නිලධාරීන් විසින් සැලකීම ය. මුල දී වෙනස් කම් සඳහා උනන්දුවක් දක්වන අය ද හකුළා ගෙන අයින් ගැසීම ය.

සිව්වෙනි හේතුව නම් මේ ක්‍රමවේද මග හැර තමන්ගේ හිතවතුන්ට විශේෂයක් කිරීම මගින් කිසියම් ආකාරයක වරප්‍රසාදයක් ලබා ගැනීමට ඔවුන්ට ඉඩ විවර කර ගැනීමට හැකි වීම ය.

පස්වෙනුව, ඒ නිසා ම, ඒ ක්‍රම හරහා ම, සෙසු අයගෙන් අල්ලස් සන්තෝසම් ලබා ගැනීමේ ඉඩක් විවෘත වීම ය.

සයවෙනුව, මේ තත්වය නිසා ඔවුන්ට අධිකාරී බලයක් ලැබීම ය. ඒ හරහා යම් අභිමානයක් හිමි වීම ය. 1970-77 යුගයේ සමූපකාර මැනේජර්ට හිමි ව තිබූ තත්වය වැනි “තත්වයක්” ලැබීම ය. සේවය ලබා ගන්නට එන අය දෙකේ කොළයට දමා සැලකීමට ඉඩ විවර වීම ය. එයින් පරපීඩක තෘප්තියක් ලැබීම ය.

සත්වෙනුව, රාජ්‍ය සේවයේ ආකල්ප සකස් වී ඇත්තේ කිසිදු වැරදීමක් නොවන පරිදි යමක් කිරීම කෙරෙහි ය. ඒ තුළ අවිනිශ්චිතතාවයට ඉඩක් නැත. පුංචි හෝ අවදානමකට ඉඩක් නැත. යම් ක්‍රියාවක් සිදු කිරීමේ දී 10,000 ට එකක වත් වැරැද්දක් සිදු නොවීමට වගබලා ගැනීම උදෙසා කප්පරක් නීති පැනවීම එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ ය. ඒ සඳහා 9,999 ට හිරිහැර සිදු වීම දරා ගත යුතු පිරිවැයක් ලෙස සලකනු ලැබේ.

අටවෙනුව, ඒ ආකල්ප වල ම කොටසක් හැටියට නීති සකස් කරන අය විසින් සේවය සලසන අය ද සේවය ලබා ගන්නා අය ද කම්බා හොරුන් ලෙස සලකා ක්‍රියාකරන බව ද පෙනෙන්නේ ය. කනගාටුවට කරුණ නම් කලාතුරකින් ඉන්නා හොරෙක් අල්ලා දඩුවම් කරනු වෙනුවට කරන්නේ සියල්ලන් හොරු ගණයට ලා උන්ට හිරිහැර කිරීම ය. ඇතැම් විට එයට ද සාධාරණ හේතුවක් තිබේ. විවිධ සම්බන්ධකම් භාවිතා කරමින් නීතියේ හිල් අතරින් රිංගමින් මේ වැරදි කරුවන් අසු නොවී කට්ටි පැනීම ය. ඇතැම් අවස්ථාවල නීතිය පසිඳලන ආයතනවල අනුග්‍රහයෙන් නිදොස් කොට නිදහස් වීම ය. ඒත් ඒ ප්‍රශ්නයට උත්තර සොයනු වෙනුවට අප කරන්නේ, යතුර වැටුන තැන අඳුරු නිසා එතැන එය නොසොයා ආලෝකය ඇති තැනකට ගොස් යතුර සොයන නස්රුදින්ගේ තත්වයට අප ව ද පිරිහෙලීම ය.  

නමවෙනුව, විගණන හා පරීක්ෂණ නිලධාරීන් ද පුහුණු කර ඇත්තේ ද ඉහතින් සඳහන් කළ සත්වෙනි සහ අටවෙනි ආකල්ප මත වීම නිසා ඒ ආකල්ප ආයතන ගත වී තිබීම ය. ඇටුවන් බැස තිබීම ය. ඒවායින් ගැලවිය නොහැකි ව තිබීම ය.

දසවෙනුව, සේවය කිසියම් ආකාරයකින් ලබා ගැනීමට මිස මේ තත්වය වෙනස් කර ගැනීම උදෙසා මැදිහත් වීමට සේවය ලබා ගන්නා අයට ද දිරිගැන්වීමක් නොමැති වීම ය. එසේ කරන්නට යෑමෙන් ලැබෙන සොච්චමත් අහිමි ව යතැයි යන සාධාරණ බිය ද ඊට අමතර හේතුවක් වීම ය.

මේ සියල්ලෙන් පෙනෙන්නේ පසුගාමී ක්‍රමවේද වෙනස් කිරීම පහසු නොවන බව ය. ඒ සඳහා සමාජයේ විශාල මැදිහත් වීමක් අවශ්‍ය බව ය. සමාජ සංවාදයක් අවශ්‍ය බව ය.

Reasons behind inefficient long drawn processes in the government service

A blog post citing specific examples on the prevailing regressive procedures and systems in the state institutes and the inability to think exhibited by the public officers was published recently in my blog. One important response received for the post was that without just stating the poor status we are saddled with, it is necessary to explore why it is so. Any one who expect the situation to improve cannot ignore this response. This post intends to present the reasons behind such backward systems and backward thinking.

One reason that things don’t change is the monopoly status enjoyed by these organizations. Public cannot get the service at all or without incurring a huge cost from any other place and as a result they have to come again and again in spite of the poor service.

Second reason is that unlike private sector which is driven by profit, state sector has no special drive to be better.

Third reason is that not only there are no incentives for individuals to initiate change even those officers who are willing are purposely discouraged by others in the system. Such initiatives are considered unnecessary hassle by a large majority. Hence those who try also withdraw after some time.

Fourth reason is that some of the unwanted restrictions could be ignored for those who are known; relatives / friends, which allow the staff to enjoy a privilege and the opportunity to exhibit power.

Fifth is that it creates a space to obtain bribes from others, because of the same reason cited above.

Sixth is that they could maintain an authoritarian status. The same status that was enjoyed by the managers of cooperatives during 1970-77 period, during which public had to purchase most of the essentials from cooperatives. Large segment of the public service enjoys this status.

Seventh is that there is an attitude in the government service that consolidates this, which is founded on perfectionism. In that there is no room for risk or uncertainty. You cannot be satisfied by getting 9,999 times right in a 10,000 times task; the odd one need to be prevented. Result is imposing numerous restrictions and prohibitions, to prevent that one at a cost to the people who do the 9,999 transactions. However, it is not very sure is this a reason or an excuse given.

Eighth is that as a part of the same attitude those who frame rules and regulations consider that the public who seeks the services and the officers who gives the services are rogues. The unfortunate thing is that without catching and punishing the few rogues all are considered and ill-treated as rogues. There could be a rational behind such action as actual rogues are powerful and well-connected to centers of power, they get away easily without being charged. Some law enforcing agencies are at times responsible for acquitting such rogues. However, without searching a solution to this it is useless and unjustifiable to punish the innocent by imposing numerous restrictions. That action is similar to what Nasrudin did when he lost the key in a dark place but instead opt to search it where there was light.

Ninth is that the investigating officers and auditors have been trained with the same attitudes in the seventh and eighth reasons mentioned above. For the same reason these attitudes have been rooted in the organizations and cannot easily be done away with.

Tenth is that the public who seeks the services do not have any incentive to intervene to change the situation, being powerless. They also fear that by such intervention they will lose the opportunity to get even the poor service that is extended with so many restrictions and delays.

All these indicate that it is not easy to get rid of these backward systems and practices. It requires a massive intervention by the society and for that a social discourse is required.

One thought on “රජයේ කාර්යාලවල පසුගාමිත්වයට හේතු

  1. ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි සංග්‍රහය කනපිට පෙරලා නැවත සකස් කිරීම ද මේ ගැටළුව විසඳිමට ගන්නා පියවර අතර වැදගත් වෙයි. රාජ්‍ය ආයතනයන්හි ඇතැම් සේවකයන් විසින් මේවා ‘නෑ’ පොත හා ‘බෑ’ පොත ලෙස උපහාසයෙන් සඳහන් කරන අවස්ථා දැක ඇත්තෙමි. යමකුගේ ගැටළු තමන්ගේ ද එකක් සේ සැලකිල්ලට ගන්නා ආකල්ප ඇති කිරීම පහසු කටයුත්තක් නොවන බැවින් ගැටළු යම්තරමකින් හෝ විසඳීමට විවිධ පියවර ගැනීම අවශ්‍ය බව ඔබතුමා පෙන්වා දෙයි එය අතිශය වැදගත්ය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s