යෝධයා ඉදිරියේ අසරණ වන ලිලිපුට්ලා


ආදි කාලයේ තනි මිනිහෙකුට බොහෝ දේ කළ හැකි ව තිබිණි. ඒ නිසා ම අද ජීවත් වන මිනිසෙකුට ඔහු කොතරම් දැන උගත් වුව ද ආදි මිනිසෙකු සමග හැප්පෙන්නට බැරි ය. හැරෙන්නට වත් බැරි ය.

එහෙත් ආදි මිනිසුන්ට කළ නොහැකි, ඔවුන්ට සිතා ගැනීමටවත් නොහැකි, දේ අද ජීවත්වන මිනිසාට කළ හැකි ය. ඒ තනි ව නොවේ. සමූහයක් ලෙස ය.

හේතුව ශ්‍රම විභජනය හරහා සූක්ෂම දේ කිරීමට තනි තනි මිනිසුන් උගෙන ඇති නිසා පමණක් නොවේ. ඒ තනි මිනිසුන් මහා විශාල පද්ධතියක කොටස් වී සාමූහික උත්සහයක යෙදෙන නිසා ය. එදා කුඩා කණ්ඩායමක් කළ දේ අද ලෝකයක් එක් වී කරන නිසා ය.

මේ එක්වීම තුළ සැමට සැම දෙයක්ම ලබා ගැනීමේ ඉඩකඩ බිහිව තිබේ. ඒ අතරම තනි පුද්ගලයන් ලෙස තනි රටවල් ලෙස අප අසරණ වී තිබේ.

තවත් විදිහකට කීවොත් පද්ධතියක ශක්තිය ඇත්තේ තනි පුද්ගලයන් දුර්වල වූ තරමට ය. ඔවුන් පද්ධතිය මත යැපෙන තරමට ය. සිදු වෙමින් තිබෙන්නේ ද පද්ධතිය ශක්තිමත් වෙමින් තනි පුද්ගලයන් තනි රටවල් තනි ඒකක දුර්වල වීම ය.

හොඳම චොකලට් හදන්නේ ස්විස්ටර්ලන්තයේ වුව ද ස්විස් ජාතිකයන්ට පමණක් එකතුව චොකලට් එක පෙත්තක් හෝ හදා ගත නොහැකි ය. ඒ චොකලට් වලට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොකෝවා ස්විස්ටර්ලන්තයේ නොවැවෙන නිසා ය. නොවවන නිසා ය.

තෙල් නිධි වැඩි හරිය තිබෙන්නේ මැද පෙරදිග ය. ඒ සියල්ල තනියම තියා ගෙන කළ හැකි බක්කක් නැත. අඩුවශයෙන් තිබෙන තෙල් නිධියකින් තෙල්වත් ගත නොහැකි ය. තෙල් නිපදවීමට අවශ්‍ය වෙනත් අමුද්‍රව්‍ය හා තාක්ෂණය සඳහා ඔවුන්ට වෙනත් රටවල් දෙස බලන්නට සිදු වේ. තෙල් ගත්ත ද තෙල් වලින් විතරක් කළ හැකි බක්කක් ද නැත. ඒවා වෙනත් රටවලට විකුණා ඒ රටවලින් අවශ්‍ය සෙසු දෑ ලබා ගත යුතු ය.

මේ අන්තර් පැවැත්ම නිසා ලෝකය එකම යායක් වෙමින් තිබේ. එහෙත් ඒ ඒ රටේ ස්වාධිනත්වය යම්තාක් දුරට රැක ගෙන ය. හේතුව එක් එක් රටේ ජනතාවගේ හැඟීම් ප්‍රාර්ථනා අපේක්ෂා අනෙක් රටක සමග සම පාත නොවීම ය. හර පද්ධතීන් හා අගයන් එක ම නොවීම ය.

ලෝකයට පමණක් නොව රටක ට ද එය එක සේ අදාළ ය. රටක් හැටියට අප එක් වී සිටියේ වුව ද රට තුළ ද විවිධ ජන කණ්ඩායම් සිටිති. ඔවුන්ගේ හැඟීම් ප්‍රාර්ථනා හා අපේක්ෂා ද සම පාත වන්නේ නැත. හර පද්ධතීන් හා අගයන් ද එකක් වන්නේ නැත. ජන කණ්ඩායම් තුළ ඉන්නා පුද්ගලයින් ගත්ත ද තත්වය ඒ පරිද්දෙන් ම ය.

පවතින අභියෝගය වනුයේ මේ විවිධ අභිලාෂයන් ඇති පුද්ගලයින්ගේ අභිලාෂයන් වලට ද ගරු කරමින් සමස්ත පද්ධතිය පවත්වා ගෙන යෑම ය. විවිධ අරමුණු ඇති කුඩා ඒකක වලින් සමන්විත පද්ධතියක් තුළ කාටත් බෙදා හදා ගත හැකි අරමුණු සමුදායක්, තමන්ට ආවේණික අරමුණු පවත්වා ගනිමින් ම, ගොඩ නැගීම ය.

පද්ධතියක ශක්තිය ඇත්තේ ඒ සඳහා පද්ධතිය විසින් නිර්මාණය කර ගෙන තිබෙන යාන්ත්‍රණයන් තුළ ය. ඒ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමේ දී අනෙකා ගැන අප දක්වන සංවේදීතාවය තුළ ය.

මේ සියල්ල අවසානයේ විශ්වීය මිනිසෙකු තනනු ඇද්ද? අප අතර ඇති වෙනස් කම් තුනී වෙමින් ගොස් සියල්ලන් මිනිසුන් මෙන් පෙනී සිටින දවසක් උදා වනු ඇද්ද? එය කිසි දා සිදු නොවෙතත් අප වඩ වඩාත් ඒ දෙසට ළඟා වෙන සෙයක් නම් පෙනෙන්නේ ය.

පද්ධතිය විසින් ඒ සඳහා අපට බල කරනු ලැබ තිබෙන්නේ ය. පද්ධතියේ පංගු කාරයින් හැටියට අප වඩ වඩාත් පද්ධතිය විසින් මෙහෙයවනු ලැබෙමින් තිබෙන්නේ ය. එතෙක් අනෙකාට ගරු කරමින් අනෙකාගේ වෙනස් කම් වලට සංවේදී වෙමින් මේ ගනුදෙනුව කර ගෙන යා යුතු ය. අවශ්‍ය යාන්ත්‍රණයන් නඩත්තු කොට පවත්වා ගෙන යා යුතු ය. එය අභියෝගාත්මක ය. එහෙත් වෙන විකල්පයක් අපට නැත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s