නායකයෙකු සතු ව කෙතරම් බලයක් තිබිය යුතු ද?


මේ ප්‍රශ්නය මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සංවාදයට ලක් වෙමින් තිබෙන මාතෘකාවකි. කළමනාකරණ සාහිත්‍ය තුළ ද මෙය අතිශයින් සංවාදයට බඳුන් වන්නකි. ඒ නිසා ම නිරවුල් මනසකින් මේ දෙස බැලිය යුතු ය. වැරදි ඉගැන්වීම් වලට නොයෑම ට ප්‍රවේසම් විය යුතු ය.

නායකයා සතු ව තිබිය යුතු ප්‍රධාන ම අවිය බලය ය. ඒ ගැන විවාදයක් නැත. ප්‍රශ්නය ඇත්තේ එය කොපමණ ප්‍රමාණයකට තිබිය යුතු ද කුමන ආකාරයෙන් හෝ පාලනය විය යුතු ද එසේ පාලනය විය යුතු නම් එය කුමන ප්‍රමාණයට ද කුමන ආකාරයෙන් ද යන්න ය.

ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා 1978 ව්‍යවස්ථාව සම්පාදනය කරමින් කීවේ ගැහැණියෙක් පිරිමියෙක් කරනවා හැරෙන්නට ඉතිරි හැම දෙයක් ම කිරීමේ බලයක් ජනාධිපතිවරයෙකුට අවශ්‍ය බව ය.  එපමණක් නොවේ. ඒ බලය කිසිදු ආයතනයකින්, අධිකරණයකින්, පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් කිසිදු ස්ථානයකින්, ප්‍රශ්න කළ නොහැකි බලයක් විය යුතු බව ය. එසේ කියා වසර කීපයක් ගත වන විට ඔහුට රට තුළ කැරලි දෙකකට මුහුණ දෙන්නට සිදු වුනුු අතර ලබා ගත් අසීමිත බලය ඒවා වැළැක්වීමේ දී උදව්වට ආවේ නැත.

මෙවැනි බලයක් පළමුව තිබුණේ වැඩ වසම් සමයේ රජුන්ට ය. රජුගේ බලය මේ කියන ආකාරයේ පරම බලයක් විය.

මෙසේ අත්තනෝමතික බලයක් රජුට හිමි ව තිබීමේ ගැටළු බොහෝ විය. වරින් වර බිහි වූ කැකිල්ලේ රජුන් මෙන් ම බලය අනිසි ලෙස භාවිතා කළ නරපතීන් ද බොහෝ වූහ. ජනයා රජුට එරෙහිව කැරලි ගැසූ අවස්ථා ඉතිහාසය තුළ හමු වන්නේ ඒ නිසා ය. එහෙත් අවසානයේ ජනතාවට සිදු වූයේ එක් රජෙකු වෙනුවට සමාන බලය ඇති තවත් අසීමිත බලයක් ඇති තවත් කෙනෙකුට ඔටුන්න හිමි කර ඔවුන්ගෙන් යුක්තිය පැතීමට ය.

එසේ වීමට එක් හේතුවක් වූයේ එකල ප්‍රචලිත ව තිබූ ආක්‍රමණික යුද්ධය ය. කොයි වෙලේ කුමන රටකින් ආක්‍රමණයක් එල්ල වේ දැයි නොදැන අනාරක්ෂිත ව ජීවත් වූ ජනයාට රජුගේ ආරක්ෂාව අවශ්‍ය විය. ඒ නිසා රජු වෙනස් කළ ද පරම බලය සහිත රජකම වෙනස් නොවී ය.

යටත් විජිතවාදය අභාවයට ගිය විට තවදුරටත් ඒ ආරක්ෂාව ඒ මට්ටමින් අවශ්‍ය නොවී ය. ජනයා කැමැත්තෙන් සීමිත කාලයකට තෝරා ගනු ලබන පාලකයෙකුට පාලන බලය හිමි කර දෙන ලද්දේ ඒ සාමකාමී වාතාවරණයේ පිටු බලය නිසා ය.

එහෙත් බලයට පත් වූ පාලකයන් ද ජනයා අභිලාශයන්ට විරුද්ධව යමින් කටයුතු කරන විට ඔවුන්ගේ කටයුතු යම් සීමාවන් තුළ රැඳවීමේ උවමනාව මතු විය. පළමු මෙවලම වූයේ ව්‍යවස්ථාව ය. බලයට පත් පාලකයා ඊට ගරු කළ යුතු වූයේ ය. එහෙත් බොහෝ පාලකයන්ට මේ ව්‍යවස්ථාවෙන් පනවන ලද සීමා රිසි නොවී ය. අප රටේ ව්‍යවස්ථාවට දැනට එකතු කර ඇති සංශෝධන ගණන දහනමයක් ව තිබීමෙන් ද තව තවත් සංශෝධන යෝජනා වෙමින් තිබීමෙන් ද පෙනී යන්නේ අපේ රටේ නායකයන් ද තමන්ට සීමා පනවා ඇති ව්‍යවස්ථාව ටිංකරින් කිරීමට දක්වා ඇති කැමැත්ත ය.

මේ ව්‍යවස්ථා සංශෝධන දෙස බලන විට පෙනෙන්නේ ඉන් බොහෝමයක් ම තමන් ව ප්‍රශ්න කරන තමන්ට සීමා පනවන ප්‍රතිපාදන ඉවත් කිරීමේ උත්සහයන් බව ය.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා රටේ නායකයාට තමන් කරන රාජකාරි ම ය තීරණයක සම්බන්ධයෙන් මුක්තිය හිමි ව තිබෙන්නේ ඇතැම් තීරණ ගැනීමට, විශේෂයෙන් අර්බුද පාලනයේ දී ඍජු තීරණ ගැනීමට, හැකි වනු පිණිස ය. එහෙත් බොහෝ තැනක සාමාන්‍ය වතාවරණයක් යටතේ එවැනි බලයක් භාවිතා කිරීමට නායකයෙකුට ඉඩ හසර නැත. එහෙත් අප රටේ රාජකාරිය සම්බන්ධයෙන් පමණක් නොව ඉන් බාහිර ව කරන වැරදි සම්බන්ධයෙන් ද මුක්තිය අවශ්‍ය කර තිබේ. ඒ අහවල් දෙයකට ද යන්න පැහැදිලි නැත.

බලය දූෂණයට බල පාන බවත් නිරපේක්ෂ බලය වඩාත් දූෂණයන්ට නිරපේක්ෂ මගක් විවෘත කරන බවත් විවිධ දාර්ශනිකයන් හා චින්තකයන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ ප්‍රශ්න කළ නොහැකි බලයේ ආනිශංස දැක්වීමට ය.

නායකයෙකුට බලය අවශ්‍ය වුව ද එය ඔහු විසින් භාවිතා කළ යුත්තේ අවම වශයෙන් ය. වඩාත් වැදගත් බලය භාවිතා කිරීම නොව මිනිසුන් ව ස්වේච්ඡාවෙන් කටයුතු කිරීම ට පෙළඹ වීම ය. ඒ සඳහා ඔවුන් දිනා ගැනීම ය. නිරපේක්ෂ බලයක ශෝචනීය අවසානය වන්නේ සියල්ල බලය භාවිතා කිරීමෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට යෑම ය.

හමුදාවක විනය ඇති කරන්නේ බලය හරහා ය. හමුදාවෙන් පැන ගිය හා ඉවත් වූ අය බොහෝ අපරාධයන්ට කොටු වීමෙන් පෙනී යන්නේ එසේ ඇති කරන විනය අතිශය තාවකාලික එකක් බව ය. එය සමත රටකට යොදා ගැනීමට යෑම අල්ප ප්‍රයෝජන ඇති කරන බව ය. හානිකර විය හැකි බව ය. බලය යොදා ගොඩ නගන බොහෝමයක් අවසන් වන්නේ එසේ ශෝචනීය අන්දමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් බොහෝ දෙනා අදහස් කරන්නේ කලකට වරක් මැතිවරණ පැවැත්වීම ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ නිසි ඵල ලබා ගැනීමට නම් බලය නියාමනය කරන ක්‍රමවේදයන් තිබිය යුතු ය. බලය තුන් පාර්ශවයකට – විධායකයට, ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට- බෙදා එක් එක් පාර්ශවයේ බලය තුලනය කරන්නේ ඒ නිසා ය. ඊට අමතරව භාෂණයේ නිදහස හා විරෝධය පෑමේ නිදහස ආදිය ජනතාවට ලබා දෙන්නේ ද ඒ නිසා ය. මෙය එක් පාර්ශවයකට බර තබන තැනකට යෑමෙන් නැතිවන්නේ මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය ය.

ආයතනයක් සම්බන්ධයෙන් ද මෙය ඒ තරමටම සත්‍යයකි. නායකයෙකු සෙසු අය සේ ම ආයතනයේ ව්‍යවස්ථාවන්ට රෙගුලාසි වලට ආචාර ධර්ම පද්ධතීන්ට ගරු කළ යුතු ය. ඒවා මගින් නියාමනය විය යුතු ය.

ඇතැම් මිනිසුන් කල්පනා කරන්නේ නායකයාට වැඩි බලයක් දීමෙන් සිස්ටම් කඩා බිඳ දමා ඒවා මග හැර ගොස් තමන්ගේ සිල්ලර වැඩ සියල්ල නායකයා ලවා කර ගත හැකි වීම වාසියක් කියා ය. එහෙත් ඒ කඩා දමන්නේ තමන්ට රැකවරණය සපයන සිස්ටම් බව තේරුම් ගන්නා විට පමා වෙලා ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s