අර්බුදයක දී නායකත්වයේ හැසිරීම


How to Combat the Leadership Crisis

කොතරම් හොඳින් පාලනය කළ ද අර්බුද ඇති වීම වැළැක්විය නොහැකි ය. එවැන්නක් ඇති වූ විට එය කළමනාකරණය කර ගැනීමට නම් පළමුව එළැඹි සිහියෙන් යුතුව කටයුතු කිරීම අවශ්‍ය ය.

සාමාන්‍ය කාලයක දී පාලනය ගෙන යෑම ඕනෑම කෙනෙකුට කළ හැකි ය. නායකත්වයක් වඩාත්ම අවශ්‍ය වන්නේ අර්බුදයක දී එය නිසි ලෙස හසුරුවා ගැනීමට ය. ඒ නිසා ම නායකත්වය සැබෑ ලෙස පරීක්ෂණයට ලක් වන්නේ අර්බුදයක දී ය.

බොහෝ විට සිදු වන්නේ අර්බුදය සෙසු අයගෙන් සැඟවීමට තැත් කිරීම ය. එවැන්නක් නැතැයි කියා සිටීම ය. බිය විය යුතු නැතැයි දහ අතේ දිවුරමින් කියා සිටිම ය.

එය අර්බුදය මැඩලීමට නොව තව තවත් තීව්‍ර වීමට නොවරදින මග ය.

එසේ සැඟවීමට උත්සහ කිරීමෙන් නැතිවන්නේ විශ්වාසය ය. අර්බුදයක දී එයින් ගැලවීම සඳහා වඩාත් තීරණාත්මක වන්නේ එසේ නැති වන විශ්වාසය ය.

ඒ නිසා ම විනිවිදභාවය රැකීමට ද කරුණු නොසඟවා දක්වා සිටීමට ද නායකයා පසුබට නොවිය යුතු ය.

මිනිසුන් වඩාත් ම බිය අර්බුදයට නොවේ. එය නොදුටුවා සේ හැසිරීමට ය. එය පිලිගැනීමට නායකත්වයේ මැලි වීමට ය. එයට සූදානම් වීමේ ප්‍රමාදය ගැන ය. සූදානම් වීම සඳහා අවශ්‍ය පළමු පියවර අර්බුදයක් තිබෙන බව පිලි ගැනීම ය. එය ලෝකය ඉදිරියේ පිලිගැනීම ය.

වෛරස් දිලීර වැඩෙන්නේ හිරු එලියට නිරාවරණය නොවුනු අඳුරු තැන්වල ය. අර්බුදය ඔඩු දුවන්නේ ද නිරාවරණය නොවුනු විට ය.

ඇතැම් විටක අර්බුදයක හේතුව බාහිර ය. ඇතැම් විටක එයට කිසියම් වගකීමක් නායකත්වයකට ද තිබිය හැකි ය. ඒ කුමක් වුව ද අර්බුදය හරි හැටි තේරුම් ගැනීමට ද කල් යල් ඇතිව තේරුම් ගැනීමට ද එයට හේතු සාධක සොයා ගැනීමට ද ඊට විකල්ප විසඳුම් ජනනය කිරීමට ද නායකත්වයට හැකි විය යුතු ය.

ඇතැම් තැනක ඒ සඳහා උදව් පැතීමට ද නායකත්වය නිහතමානී විය යුතු ය. සෙසු අයගේ මතය දැන ගැනීමට ද උනන්දු විය යුතු ය. ඇතැම් අර්බුද සංකීර්ණ නිසා ම තනිව විසඳිය නොහැකි ය. ඒ නිසා වෙන කවර කලකටත් වඩා අදාළ අයට, විශේෂඥයන්ට, ඇහුම්කන් දීමට නායකයා සූදානම් විය යුතු ය.

අර්බුදයක දී වැදගත් ම දෙය දැනුම ය. නායකයා තමන් දන්නා දෙය ද නොදන්නා දෙය ද ගැන පැහැදිලි වැටහීමක සිටිය යුුතු ය. නොදන්නා දේ දැන ගන්නේ කෙසේ දැයි ඔහු මුලින්ම දැන ගත යුතු ය. ප්‍රශ්න අසන්නටත් ඇහුම් කන් දෙන්නටත් කටයුතු කළ යුත්තේ ඒ නිසා ය.

රෝගය සඟවා ගෙන ඔබ වෛද්‍යවරයෙකුගෙන් උදව් අපේක්ෂා කිරීම අසාධාරණ ය. මෝඩ ය. ඒ නිසා ම අමතර වශයෙන් දැන ගැනීම උදෙසා දැනට ඔබ දන්නා සියල්ල හෙලි කළ යුතු ය.

බොහෝවිට නායකයන් එසේ නොකරන්නේ අර්බුදයේ වගකීම තමන්ට දරන්නට සිදු වෙතැයි බියෙනි. අර්බුදය සම්බන්ධයෙන් තමන් චෝදනා ලබනු ඇතැයි බියෙනි. ඒ සමග ම කිසියම් ආශ්චර්යයක් සිදු වී අර්බුදය විසඳෙනු ඇතැයි ද එසේ වුව හොත් අර්බුදය පිළිබඳ සෙසු අයට නොකියා ම ගැලවෙන්නට හැකි යැයි සිතීමෙනි.

කාලය විසින් විසඳනු ලබන අර්බුද ද තිබේ. එහෙත් කාලය විසින් බොහෝ අර්බුද උග්‍ර කළ අවස්ථා ඊට වඩා බහුල ය. ඒ නිසා ම කාලය විසින් විසඳනු ඇතැයි සිතා අර්බුදය වසන්  කිරීම බොහෝවිට ඇති කරන්නේ නපුරකි.

ප්‍රශ්නය උග්‍ර වන්නේ නායකයා විසින් සඟවන කාරණා වෙනත් මූලාශ්‍ර වලින් හෙලිවීම නිසා ය. එවිට බිඳ වැටෙන්නේ නායකයා පිළිබඳ විශ්වාසය ය.

සියල්ල විනිවිදභාවයෙන් යුක්ත ව අනුගාමිකයන් ඉදිරියේ දැක්වීමෙන් යම් සසල වීමක් සිදු වූයේ වුව ද දිගුකාලීනව ඉන් ඇති වන්නේ වාසියකි. ඒ දිගුකාලීන බැඳුමකට අවශ්‍ය විශ්වාසය ඉන් පල වෙන බැවිනි. ඒ නිසා ම එවැන්නක් සැළකිය යුත්තේ පිරිවැයක් ලෙස නොව ආයෝජනයක් ලෙස ය.

අර්බුදය නොසඟවා එලි දැක්වීම නිසා මුලින් නොසන්සුන්තාවයක් ඇති වනු වැළැක්විය නොහැකි ය. මිනිසුන් ප්‍රතිචාරයක් ලෙස දෝෂාරෝපනයන් පවා එල්ල කරනු ඇත. කලබල වනු ඇත. එහෙත් එය කෙටි කාලීන ය. රෝගයක් හොඳවන්නේ එය වැඩී මේරුණු පසු ය. එය සංකීරණ සමාජ සම්බන්ධතා සම්බන්ධයෙන් ද අදාළ ය.

අර්බුදය සම්බන්ධයෙන් නායකයාගේ කිසියම් හෝ වගකීමක් තිබේ නම් එය ද පිළිගෙන ඉක්මණින් සමාව අයැදීම අවශ්‍ය ය. වඩාත් වැදගත් සිදු වූ දේ නොවේ. සිදු වන්නට යන දේ ය. සමාව අයැදීමෙන් ඉක්බිති සියල්ල නැවත යථා තත්වයට පත් කිරිම සඳහා ඇති වැඩ පිළිවෙල ඉදිරිපත් කළ යුතු ය. එය විශ්වාසනීය නම් මිනිසුන් සිදු වූ දේ සම්බන්ධයෙන් සමාව දෙනු ඇත.

ඇතැම් අවස්ථාවක මිනිසුන් අතරින් වඩාත් සාධනීය විසඳුම් ද ඒමට ඉඩ තිබේ. අර්බුදයක් නායකයෙකුට විශේෂඥයින්ගේ සහය ඇති ව වුව ද තනිව ම විසඳීම අපහසු ය. ඒ සඳහා හැකි සැමගේ සහය ලබා ගත යුතු ය. ඒ සහය තුළ වඩාත් නැවුම් හා අර්ථාන්විත සම්බන්ධකම් ද ගොඩ නැගීමට නියමිත ය.

අර්බුදයක දී විශාල කැප කිරීම් කිරීමට සිදු වේ. ඒ සඳහා මිනිසුන් ඉදිරිපත් වනු ඇත්තේ එවැන්නක් නායක කාරකාදීන්ගෙන් ද පල වුනොත් පමණ ය. මෙහිදී වැදගත් වන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන ඔවදන ය.

මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි – නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එලියට වැඩියෙන් එලියයි යනුවෙන් සෝමතිලක ජයමහ ශූරීන් ගයන ගීයක් තිබේ. අර්බුදය නිසි ලෙස ජය ගත හැකි නම් එයින් පසුව ඇති වන සම්බන්ධය වෙනදාටත් වඩා යහපත් හා සාධනීය දෙයක් වනු ඇති බව එයින් ඇඟවෙන්නේ ය. එහෙත් එසේ වන්නේ නොසඟවා සියල්ල කියා සිටීමෙන් පමණකි. අර්බුදය අවසන් වන විට විශ්වාසය නොබිඳී තිබුණොත් පමණකි. කැප කිරීම් හරහා නව අපේක්ෂා ගොනු වුවහොත් පමණකි.

ඇතැම් අර්බුද අපට නව ඉගෙනුම් ලබා දෙන්නේ ය. ඒවාට මුහුණ දීමේ දී අප නිපදවන ඇතැම් දෑ වෙනත් අවස්ථා සඳහා ද යොදා ගැනෙන්නේ ය. දෙවැනි ලෝක මහා යුද්ධයේ දී සොයා ගන්නා ලද තාක්ෂණය පසු කලෙක සාමය හා සංවර්ධනය සඳහා යොදා ගැනුණේ ය.

බොහෝ අර්බුදයන් අපට ලෝකය දෙස වෙනස් ඇසකින් බලන්නට ආරාධනා කරන නිසා ද වැදගත් වන්නේ ය. ගෝලීය උණුසුම මේ වන විට අපේ සංවර්ධනයේ දිසාව පවා ප්‍රශ්න කර ඇත.

අර්බුදයක දී වඩාත් බුද්ධිමත් වීම අවශ්‍ය එයින් ඇතිවන අවාසි ඉක්මවා වාසි ලබා ගැනීම උදෙසා ය. අර්බුද වලින් තොරව ජීවත්වීම මිරිඟුවකි. අවශ්‍ය ඒවා නිසි ලෙස කළමනාකරණය කර අපේ වාසිය පිණිස යොදා ගැනීම ය.

බොහෝ අර්බුද අපට ගෙන එන්නේ අප වෙනස් විය යුතු බවට පණිවුඩයකි. එය නොසළකා හැරීම මාරාන්තික විය හැකි ය.