අර්බුදයක දී පාලනය කෙසේ විය යුතු ද?


Military to Civvy Street Transitions: November 2012

සාමය පවතින කාලයට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය තරමට ම අර්බුදයක දී අධිකාරී වාදී පාලනයක් අවශ්‍ය ය.

පවතින අර්බුදය අපට පෙන් වූයේ එය ය. මිනිසුන්ට ඒකරාශී නොවන ලෙස උදේ හවස දුන් උපදෙස් ගඟට ඉණි කැපුවාක් මෙන් විය.

මිනිසුන්ට දුන් නිවාඩුව උන් සැලකුවේ විනෝද වීමට දුන් අවස්ථාවක් ලෙස ය. ශ්‍රී පාදය වන්දනාවේ ගිය එක් අයෙකු මාධ්‍යයට කීවේ අවදානමක් ඇති බව දැන සිටිය ද ෆන් එක උදෙසා එහි ගිය බව ය. ෆන් එකට හෝ බැතිබර අදහසින් යන කුමන අරමුණකින් ගිය ද එය උවදෙස් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

ජනාධිපති තුමා  කීවේ රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරඟය නොපවත්වන ලෙස තමා කී නමුත් ලෝක මහා යුද්ධ දෙකක්ම පවතිද්දී ද එය පැවැත්වූවේ යැයි කියමින් එම උපදෙස් ඔවුන් ගණන් නොගත් බව ය.

මහනුවර මහා ලක්ෂ්මී පූජාවක් පවත්වමින් මිනිසුන් විශාල ලෙස එක් රැස් කරමින් ආරක්ෂක සුර බෙදා හැරීමේ ජවාරමක් පිළිබඳ ද ඒ අතර වාර්ථා වුනේ ය.

වගකිව යුතුව හැසිරිය යුතු යැයි අපේක්ෂා කළ භික්ෂූන් වහන්සේලා පවා කළේ පිරිත් දේශනා කිරීමට මහ පිරිස් කැඳවීම ය. ඒ මගින් සිය දායකයින් මේ රුදුරු මරුවාට විවෘත කිරීම ය.

සැමන් පරිප්පු ලාබ කළ එක යහපත් ය. එහෙත් එයින් සිදු වුනේ මෝඩ වඳුරන්ට දැලි පිහි දුන්නා වැනි වැඩකි. ලාබ කළ බඩු ඉක්මණින් අවසන් වෙතැයි සිතූ මිනිසුන් ඇඟිලි දෙකින් මුඛය වසාගෙන ආරක්ෂාව සළසා ගතිමි යැයි හිත රවටා ගෙන පෝලිමේ ලැග්ගේ ලංකාව තවදුරටත් අවාසනාවන්ත මිනිසුන්ගේ රටක් බවට ප්‍රදර්ශනය කරමිනි.

මේ විගඩම් බලා සිටි සමහරු කීවේ 88-89 කාලයේ තිබුණු ඊනියා පුංචි ආණ්ඩුව තිබුණේ නම් එක තුණ්ඩු කෑල්ලට සියල්ල තිතට වැඩ කරනු ඇති බව ය. එයින් ගම්‍ය වන්නේ අර්බුදයක දී මිනිසුන් හීලෑ කිරීමට කෙවිට ගත යුතු බව ය.

අවසානයේ ආණ්ඩුව ඇඳිරි නීතිය පනවමින් කළේ ඒක ය.

ඉක්මණින් ප්‍රතිඵල අපේක්ෂා කරන මෙවන් අර්බුදයක දී එකෙල මෙකෙල වෙමින් සිටිය නොහැකි ය. කෙවිට ගත යුත්තේ ඒ නිසා ය.

මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරමින් ඔවුන්ගේ චර්යාව වෙනස් කිරීම වඩා ශක්තිමත් විධි ක්‍රමයක් බව ඇත්ත ය. එහෙත් එය වැඩ කරනුයේ ඇති තරම් ඒ සඳහා කාල වේලා තිබෙන සාමකාමී වකවානු වල පමණ ය.

ක්ෂණික ප්‍රතිචාරයක් අවශ්‍ය අර්බුදයක දී කළ යුත්තේ කෙළින්ම චර්යාව වෙනස් කිරීම ය. ඒ මගින් ඇතැම් විට ආකල්ප ද වෙනස් කර ගන්නට ද පෙළඹවීමක් ලැබෙනු ඇත. මේ අර්බුදය ඒ සඳහා ද අපට නොමද අවස්ථාවක් ලබා දෙන්නේ ය.

තමන් රැකීම පමණක් ප්‍රමාණවත් නොවන බව මිනිසුන් ඉක්මණින් පසක් කර ගනු ඇත්තේ ය. එසේ අවබෝධ කර ගැනීමට කල් ගත වෙන මිනිසුන්ට චර්යාත්මක බෙහෙත් ලබා දිය යුතු ය. ඒ සඳහා කෙවිට ගත යුතු ය. ඒ මගින් වත් මිනිසුන්ගේ මේ  පටු ආකල්පයන් වෙනස් කිරීමට මග පාදා ගත යුතු ය.

වෙළඳ සැල් වසා දමනු ඇතැයි බියෙන් බඩු එකතු කළ සමහරු සියල්ල ගත්තේ වෙනත් කිසිවෙකුට කිසිවක් ඉතිරි නොකරමිනි. එය ලංකාවේ පමණක් නොව දියුණු රටවල පවා සිදු විය. ඇතැම් රටවල මේ සඳහා සීමාවන් පැනවීමට වෙළඳ සැල් වලට සිදු වූ අතර තවත් රටවල් වැඩියෙන් බඩු ගන්නා විට ඒකක මිලට ඉහළ අගයක් පැන වීමෙන් එය පාලනය කිරිමට ද  බුද්ධි ගෝචර වූහ.

අධිකාරීවාදී පාලනයක් එක් පැත්තකින් ජනතාව අරබයා ක්‍රියාත්මක කරන අතර තුර ම ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්ව පාලනයක් විශේෂඥයන් සමග එක්ව ක්‍රියාත්මක කිරීමට ද පාලකයින් කටයුතු කළ යුතු ය.

මක්නිසා ද යත් අර්බුදය පාලනය කිරීමේ ලා දැනුම ද තීරණාත්මක සාධකයක් වන නිසා ය. කොරෝනා වෛරසය සම්බන්ධ අර්බුදයේ දී තීරණාත්මක විශේෂඥයින් පිරිස වෛද්‍යවරුන් බව ඇත්ත ය. එයිනුත් වඩාත් අවශ්‍ය බෝවෙන රෝග පිළිබඳ විශේෂඥයින්ගේ අදහස් ය. එහෙත් ඒවා පමණක් ප්‍රමාණවත් නොවේ. ඔවුන් ඉදිරිපත් කරන නිරෝධායන සහ වෙනත් වැඩ පිළිවෙලවල් ආර්ථිකයට ජන ජීවිතයට පමණක් නොව මිනිසුන්ගේ මනෝභාවයන්ට ද බලපාන නිසා ය.

ලොක් ඩවුන් ලෙස හඳුන්වන මිනිසුන් ගෙවල්වලට සීමා කිරීමේ පියවර නිසා සිදු වන අතුරු ඵලයන්ට විසඳුම් දීමෙන් තොරව එසේ සීමා කිරීම දිගු කාලීනව පවත්වා ගත නොහැකි ය. මිනිසුන්ට අතවශ්‍ය ආහාර ගත යුතු ය. දෛනිකව දිවි ගෙවන මිනිසුන්ගේ ජීවනෝපායන් අහිමි වීම සම්බන්ධයෙන් පියවරයන් ගත යුතු ය. එසේ නොකිරීමෙන් වන්නේ මිනිසුන් කැරලි ගැසීම ය. මංකොල්ල කෑමට ඉදිරිපත් වීම ය.

විශේෂඥයන් ගණනාවකගේ දැනුම ඒකාග්‍ර කිරීමෙන් තොරව මෙවැනි අර්බුදයක් විසඳිය නොහැකි ඒ නිසා ය.

මෙසේ මෙවැනි අර්බුදකාරී අවස්ථාවක එක් පැත්තකින් සහභාගිත්ව කළමනාකරන ක්‍රමවේදයන් සහිත වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ඉහළ මට්ටමේ දී අවශ්‍ය වනුයේ පහළ මට්ටමේ දී එසේ ගත් තීරණයන් අනලස්ව හා නිවැරදිව ක්‍රියාත්මක කිරිමට අධිකාරී පාලනයක් අවශ්‍ය ව තිබිය දී බව පාලනය ගෙන යන අය විසින් සිහි කටයුතු ය.

මේ අර්බුදය පාලනය කිරීමට රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට ද සිදු වනු ඇත. ඇතැම් අවස්ථාවක දී පුද්ගලයන් සතු දේපල – ආරෝග්‍යශාලා සහ නේවාසික පහසුකම් ඇති හෝටල් ද යාන වාහන ද – රජයට පවරා ගැනීමට සිදු වනු ඇත. ඒවා මිනිසුන් පීඩනයට පත් කරන ක්‍රියාමාර්ගයන් බව අවිවාදිත ය.

ඒ නිසා ම අර්බුදය පාලනය කර ගත් සැනින් නැවත බොහෝ අයිතීන් ප්‍රතිෂ්ඨාපනය කරන බවට විශ්වාසයක් ද මිනිසුන්ට ඒ සමග ම දිය යුතු ය. දැනට දියත් කරනු ලබන අධිකාරවාදී පාලනය අර්බුදය සමනය වීමෙන් පසු අවසන් වන තාවකාලික එකක් බව දැන ගත් විට ඔවුන් ද ඊට අනුග්‍රහ දැක්වීමට ඉදිරිපත් වනු ඇත.

ඉහත දැක්වූයේ මේ අර්බුදය මැඩ පැවැත්වීමට කළමනාකරණ සාහිත්‍යයෙන් ලද හැකි පාඩම් ය. ඒවා දේශපාලන අධිකාරියට පමණක් නොව කළමනාකරුවන්ට ද අර්බුදයක දී ගත හැකි පියවරයන් ය. අර්බුදයක් අපතේ නොයන්නේ එයින් ඉගෙන ගැනීමට අපට හැකි වන්නේ නම් පමණකි. මේ අර්බුදය ද ඒ අරුතින් වෙනස් නැත.