මුහුණු කීයක් තිබේ ද?


Discipleship and Two Faces - COMMA Network

ඔබට මුහුණු කීයක් තිබේ ද? මහ බඹාට නම් දෙකකි. කතරගම දෙවියන්ට හයකි. ජොහාරි කවුළුව නම් සංකල්පය ඉදිරිපත් කළ ජෝශප් ලුෆ්ට් හා හැරින්ටන් ඉන්ගම්ට අනුව නම් අපට හතරකි.

එකක් අපට ද පෙනෙන අනෙක් අයට ද පෙනෙන මුහුණ ය. අනෙක අපට නොපෙනෙන අනික් අයට පෙනෙන මුහුණ ය. තෙවැන්න අපට පෙනෙන අනෙක් අය නොදකින මුහුණ ය. සිව්වැන්න අපට හෝ අනෙක් අයට නොපෙනෙන මුහුණ ය.

මෙය මුහුණ ලෙස ද කවුළුව ලෙස ද තවත් තැනක චරිතය ලෙස ද ගෙන සාකච්ඡා කර තිබේ. එහෙත් වැදගත් වන්නේ මේ සංකල්පය තේරුම් ගැනීම ය.

අපට පෙනෙන මුහුණු දෙකම අප දන්නා නිසා අප ඒවායින් අතරමං වීමට ඉඩක් නැත. එහෙත් අප සැළකිලිමත් විය යුත්තේ අපට නොපෙනෙන මුහුණු දෙක ගැන ය. එකක් අනෙක් අයට පෙනෙන නිසා ඔවුන්ගේ ප්‍රතිචාරයන් ගැන සංවේදී වුව හොත් අපට ඒ මුහුණ ද අමාරුවෙන් දැක ගත හැකි ය. සිව්වැන්න දැන ගත හැක්කේ අප යම් යම් සුවිශේෂ අවස්ථාවන්ට මුහුණ දුන් විට ය. අප ම පුදුම කරන හැසිරීමක් එවන් විටක අප විසින් ප්‍රදර්ශනය කරන්නට ඉඩ තිබේ.

ඒ අපේ මුහුණු ගැන ය. අනෙක් අයගේ මුහුණු ගැන ද අප දැන ගත යුතු ය. ඒ අය අපට පෙන්වන මුහුණට වඩා වෙනස් මුහුණකින් ද යුක්ත නිසා ය. එය තේරුම් ගැනීමට අපට නොහැකි වුවහොත් අප අමාරුවේ වැටීමට ඉඩ තිබේ.

අප ඒ සඳහා සොයා බැලිය යුත්තේ ඔවුන් අප සම්බන්ධයෙන් දක්වන චර්යාව නොවේ. බලය නැති අසරණ මිනිසුන් විෂයෙහි ඔවුන් කෙසේ හැසිරෙනවා ද යන්න ය. එවැනි මිනිසුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ලතෙත් බවක් නැත්නම් අප තේරුම් ගත යුත්තේ අපට බලය අහිමිව ගිය දාට අප සම්බන්ධයෙන් ද ඔවුන්ගේ මතය ඊට වෙනස් විය නොහැකි බව ය. අද ඔවුන් අප සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාදාමය බලා ඔවුන් ගැන නිගමන වලට ඒම අනතුරු දායක ය. ඒ අපට පෙන්වන මුහුණ ය. අපට නොපෙන්වන ඔවුන්ගේ මුහුණ එයින් බලා ගත නොහැකි ය.

කොහොමටත් මිනිසුන් පිට අයට නිරාවරණය වන්නේ පවුඩර් උලා ඩයි දමා හදා ගත් මුහුණකින් ය. එය මිනිසුන්ගේ ස්වභාවික මුහුණ නොවේ. ප්‍රදර්ශනය සඳහා හදා වඩා ගත් මුහුණ ය. වෙනත් විදිහකට කියනවා නම් වෙස් මුහුණ ය. අප නොමග යන්නේ මේ වෙස් මුහුණ නිසා ය. එහි ප්‍රදර්ශනය නිසා ය.

ඒ ප්‍රදර්ශනය කෙරෙන මුහුණට යටින් ඇති සැබෑ මුහුණ හඳුනා ගැනීමට කලක් ළඟින් ඇසුරු කළ යුතු ය.

ප්‍රශ්නයකට ඇත්තේ ඇතැම් අය පිටට පෙන්වන්නේ ද එක් මුහුණක් නොවීම ය. බලවත් අය ඉදිරියේ එකකුත් අසරණ මිනිසුන් ඉදිරියේ තව එකකුත් ඔවුහු පෙන්වති. බවලතුන් ඉදිරියේ එකකුත් පිරිමින් ඉදිරියේ තව එකකුත් ඔවුහු පෙන්වති. යාළු මිත්‍රයන්ට එකකුත් ආගන්තුකයන්ට තව එකකුත් ඔවුහු පෙන්වති. මේ එකම මිනිහා දැයි හිතෙන තරමට ඒ ඒ අවස්ථාවේ ඔවුන්ගේ හැසිරීම වෙනස් ය. ළඟින් ඇසුරු කළ විට මේ සියලු පැතිකඩ අපට දැන ගන්නට ලැබෙන්නේ ය. ඒවා අතරින් ඔහුගේ/ ඇයගේ සැබෑ රුව අපට හඳුනා ගැනීමට ඉඩ ලැබෙන්නේ ය.

මේ විප්‍රකාර දෙස බලා සිටින කෙනෙකුට සිතෙනු ඇත්තේ මේ නම් රංගනයක් කියා ය. ඇත්තටම එය රංගනයක් තමා ය. රඟන චරිතය හැඩ ගැසෙන්නේ තමන්ට ලැබෙන භූමිකාව අනුව ය. සෙසු චරිත සමග ඇතිවන ගැටුම අනුව ය. ජීවිතය නාටකයෙකැයි කියන්නට ඇත්තේ ද මේ නිසා විය හැකි ය.

ඉදිරි දිනවල තාප්පවල ද මුහුණු දැකිය හැකි වනු ඇත. ඒ මහ මැතිවරණය නිසා ය. ඒ සුන්දර මුහුණ ද හුණු පිරියම් කොට සකස් කර ගත් චෛත්‍ය මෙන් දිස්වෙනු ඇත්තේ ජනතාවට ආදරය හිතෙන විදිහට ඉදිරිපත් කළ යුතු නිසා ය.

බැලූ බැල්මට සියල්ලන්ම එක වගේ ය. ඇඳන් ඉන්නේ සුදු ය. සිත් වසඟ කරන සිනහවකින් සැරසී සිටින්නෝ ය.

හුරුබුහුටි කඩවසම් මනාලයන් පෝලිමක් දුටු මනමාලියක් සේ තීරණයක් ගත නොහැකිව පසුවන ජනතාවක් ද ඒ නිසා ඇතිවනු ඇත. එහෙත් වෙනස ප්‍රදර්ශනය කරමින් ඒ මුහුණු කතා කරනු ඇත.  එක් එක් කණ්ඩායම මුණ ගැහෙන විට ඒ කණ්ඩායමට අනුව මූණු හදා ගනු ඇත. සිංහල බෞද්ධ ජන සමූහයක දී දේශප්‍රේමය ද මුස්ලිම් හෝ දෙමල ජනතාව මුණ ගැසුණු තැනක සාමය හා සංහිඳියාව ද ඔවුන් තම මුහුණු පැහැයට එක් කර ගනු ඇත.

මේ අය අතරින් වඩාත් අවංක වනු ඇත්තේ හැමටම එක ම දේ කියන තැනැත්තා ය. ඒ නිසා අවංක අපේක්ෂකයන් සොයා ගැනීමේ ලිට්මස් පරීක්ෂාව වනු ඇත්තේ ද ඒක ය.

කළමනාකරුවන් වශයෙන් අපට ද මිනිසුන් තේරුම් ගැනීමට සිදු වන නිසා ම ඔවුන්ගේ අවංකත්වය විමසන්නට වන නිසා ම මේ අත්දැකීම වැදගත් ය.

කෙනෙක් ඔබ ඉදිරියේ  පවසන දේ ම වෘත්තීය සමිති නායකයා ඉදිරියේ ද පවසන්නේ නම් ඔහුව විශ්වාස කළ හැකි ය. ඔබට පවසන දේ ම ඔහුගේ / ඇයගේ පහළ සේවකයන්ට ද පවසන්නේ නම් ඔහුව විශ්වාස කළ හැකි ය.