ජයග්‍රහණයේ කීර්තිය හා පරාජයේ වගකීම


වතුර ගලන්නේ පහත් තැනින් ය. ඒ නිසා ම වැරදිකාරයා වන්නේ පහල ඉන්න මිනිසා ය. උඩ ඉන්නා සතුව සියළු බලතල ඇත්තේ වුව ද අසාර්ථකත්වයක් සිදු වුව හොත් වගකිව යුතු වන්නේ ඒ කිසිත් නැති පහල ඉන්නා මිනිසා ය. යම් හෙයකින් සාර්ථකත්වයක් අත් කර ගත්තොත් එහි අයිතිය ලබා ගැනීමට පමණක් උඩ ඉන්නා මිනිසා සිටින්නේ ය. ඒ බල පරතරයේ ස්වභාවය ය. බොහෝ තැනක අප අත් විඳින කටුක සත්‍යය ය.

එහෙත් ඉදිරිගාමී ආයතනවල නායකයෝ පරාජයේ වගකීම තමන් දරමින් ජයග්‍රහණයේ වගකීම තම කණ්ඩායමට දීමට වග බලා ගනිති. එවැනි කණ්ඩායමක වැඩ කරන්නට ලැබීම ම භාග්‍යයකි. ලාභයකි. සතුටකි.

ඒ බව උදාහරණයක් ද සපයමින් කීවේ ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ අබ්දුල් කාලාම් මහතා ය. එතුමා කලක් ඉන්දීය අභ්‍යවකාශ සහ මීසයිල් වැඩසටහනට සම්බන්ධව සිටි ඉංජිනේරුවෙකි. පළමු ඉන්දීය චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ වගකීම එතුමා නායකත්වය දැරූ කණ්ඩායමකට බාර වී තිබුනේ ය. එහෙත් අභ්‍යවකාෂ යානය පිටත් වී සුළු වේලාවක් තුළ එය බෙංගාල බොක්කට කඩා වැටුනේ ය. මේ මංගල ගමන ගැන වාර්ථා කිරීමට කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවට කෙසේ මුහුණ දෙන්නේ දැයි ලත වෙමින් සිටිය දී ඔහුගේ ප්‍රධානියා ඒ වගකීම බාර ගත්තෙන් තමාට විශාල සහනයක් ලැබූ බව කාලාම් කියයි. ඊළග වතාවේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සාර්ථක වූ අතර එදින ප්‍රධානියා මාධ්‍ය සාකච්ඡාවට මුහුණ දීමේ සොඳුරු වගකීම අබ්දුල් කාලාම්ට පැවරූ බව ද කාලාම් කෘතඥතා පූර්වක ව කියයි. පරාජයේ වගකීම තමන් බාර ගෙන ජයග්‍රහණයේ කීර්තිය තම කණ්ඩායමට පැවරූ තම ප්‍රධානියා පිළිබඳව අබ්දුල් කාලාම් අවස්ථා ගණනාවක ම සඳහන් කර ඇත.

එහෙම නායකයින් ද එහෙම අවස්ථා ද අඩු ය. ලංකාවේ ප්‍රසිද්ධ නායකයන් අතර නම් එහෙම චරිත ඇත්තේ ම නැති තරම් ය. අපේ ආයතන වල ද එවන් අය හිඟ ය.

මෙයට හේතුව කුමක් ද? බොහෝ නායකයින් ද අඟහිඟ කමින් පෙලීම ය. තව කෙනෙකුට යමක් දිය හැක්කේ තමන් පොහොසත් නම් ය. දුප්පත් අයට එහෙමකට දීමට දේ නැත. මෙතැන දී දුප්පත්ව ඇත්තේ මිල මුදලින් නොවේ කීර්තියෙනි. සැබෑ ලෙස තමන් විසින් අත් කර ගෙන ඇති කීර්තියෙනි.

කීර්තිමත් යැයි අප හිතන බොහෝ දෙනෙකුගේ කීර්තිය මුදල් හා බලය භාවිතා කර ගොඩ නගා ගත් එකකි. එහි හිස් බව ජනයා නැතත් එය තමන්ගේ මිල මුදලින් හා බලයෙන් හදා වඩා ගත් නායකයෝ දනිති. ඒ නිසා ම ඔවුන් අසම්පූර්ණ ය. ඔවුන්ට ඒ කීර්තිය එහෙමකට තදින් දැනෙන්නේ නැත.

ඔවුන් කණ්ඩායමේ කවරෙකු හෝ කරන ලද වැඩක කීර්තිය තමන් වෙතට නතු කර ගන්නට හදන්නේ ඒ නිසා ය. පරාජයන්ගේ වගකීම ඉක්මණින් පහලට තල්ලුකර දමන්නට හදන්නේ ද ඒ නිසා ය.

පරාජයේ වගකීම නායකයා විසින් දැරිය යුත්තේ නායකයා සතුව සෙස්සන්නට නැති බලතල තිබෙන නිසා ය. ඒ බලතල භාවිතයෙන් ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙන යෑමට නායකයාට හැකියාවක් තිබෙන නිසා ය. ඒ හැකියාව ඒ මට්ටමට වෙන කාටවත් නැති නිසා ය.

කීර්තියේ වගකීම නායකයා විසින් කණ්ඩායමට පැවරිය යුත්තේ බලතල වලින් ඇති කරනු ලබන වාතාවරණය කොතෙක් යහපත් වූව ද සෙසු සාමාජිකයන් ඒ වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අවශ්‍ය කටයුතු සිදු නොකරන්නේ නම් හදන වාතාවරණයෙන් වැඩක් නැති වීම නිසා ය.

මේ දෙවැනියට කී කාරණය නිසා කණ්ඩායමට ද පරාජයේ මුළු වගකීම නායකයාට පවරා දීමට බැරි ය. නායකයා එය පවරා ගැනීම වෙන එකකි. එය නායකයාට ම පවරා සෙසු අය අත් පිසදා ගැනිමට ඉදිරිපත් වීම තව දෙයකි. එය පරාජය කණ්ඩායමට පවරා නායකයා අත් පිස දමා ගැනීමට ද සමාන ය. එක අතකින් අත්පුඩි ගසන්නට බැරි ය. නායකයාගේ සාධනීය මැදිහත්වීම් වලට කණ්ඩායමෙන් ද නිසි ප්‍රතිචාරයක් ලැබිය යුතු ය. සියල්ල නායකයෙකුට පවරා තමන් නිදහස් වීමෙන් හිත හදා ගත්ත ද ප්‍රතිඵලය තමන්ට ද හානි කර ය.

ඒ නිසා ම අවශ්‍ය වාතාවරණය හැදීම නායකයා විසින් කරන විට එයින් ප්‍රයෝජන ගෙන ඉලක්කයන් කරා යෑමට කණ්ඩායම ද සැදී පැහැදී සිටිය යුතු ය. නායකයා විසින් කණ්ඩායම දිරි ගන්වද්දී කණ්ඩායම විසින් පෙරලා නායකයා ද දිරි ගැන්විය යුතු ය. ඒ සාධනීය නායකත්වයට සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීම හරහා ය. නැගෙන එක් අතට අනෙත් අත ද එක් වී අත්පුඩි ගැසීම හරහා ය.

මෙය දීගයකට සමාන ය. එකතු වී ගොඩ නගන සුන්දර යුග දිවියකට සමාන ය.

සම්ප්‍රදායික පවුලක ස්වාමියා සතුව තිබූ සමාජ බලය නිසා යුග දිවිය සුන්දර කිරීමේ වටපිටාව හැදීමේ වැඩි වගකීම තිබුනේ ඔහුට ය. එහෙත් ඒ හදා දුන් වටපිටාව භාවිතයෙන් ගෘහය සුන්දර තැනක් කිරීමේ භූමිකාව හරි හරියට බිරියට ද තිබුනේ ය. ඒ ස්වාමියාගේ උත්සහයට සාධනීය ව ප්‍රතිචාර දැක්වීම හරහා ය.

වත්මන් පවුල තුළ මේ වගකීම් දෙක ම දෙදෙනාට ම හිමි වෙමින් තිබේ. ඒ නිසා ම ඒ වගකීම් බෙදා ගැනීමේ සංවාදයක අවශ්‍යතාවය තිබේ.

වත්මන් ආයතන තුළ ද සමාන පරිවර්තනයක් සිදු වෙමින් තිබේ. ඒවායෙහි ද වඩ වඩාත් වගකීම් බෙදා ගැනීම අවශ්‍ය වෙමින් තිබේ. නායකයාගේ මොළයත් කම්කරුවන්ගේ දෑතුත් දමා හදා ගන්නා ආයතනයකට වඩා සැමගේ බුද්ධියත් සැමගේ දෑතුත් එකට ගොනු කරමින් බිහිවෙන ආයතන ශක්තිමත් ය.

බොහෝ ආයතනවල කම්කරුවන්ගේ අදහස් ගන්නට උත්සහයක් ඇතත් කළමනාකරුවන්ගේ දෑත් යෙදවීමට නම් ඇත්තේ මදි කමෙකි. පසු බෑමකි. එය මදි පුංචිකමක් සේ කළමනාකරුවන් විසින් සැළකීම එයට හේතුව ය.

ඕස්ට්‍රේලියාවේ බැංකුවක පෝලිම දික් වේ නම් කළමනාකරු ද කවුන්ටරයක් විවෘත කර සේවා සපයන්නට ඉදිරිපත් වන්නේ කළමනාකරුගේ මොළය පමණක් නොව දෑත ද ඇතැම් විටක ආයතනය වෙනුවෙන් යෙදිය යුතු නිසා ය. තවදුරටත් දැඩි බෙදීම් තබා ගැනීමෙන් ආයතනයට වෙන සෙතක් නැති නිසා ය.

ජය හා පරාජය දෙකම බෙදා ගැනීමට කණ්ඩායම හා නායකයා යන දෙපාර්ශවයම කටයුතු කරන්නේ නම් ද ඊට අනුග්‍රහයක් ලෙස කම්කරුවන්ගේ දෑත් පමණක් නොව බුද්ධිය ද කළමනාකරුවන්ගේ බුද්ධිය පමණක් නොව දෑත් ද යොදා ගැනීමට මැලි නොවන්නේ නම් ද එවැනි ආයතන දිනුම් ය. එවැනි රටවල් දිනුම් ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s