පැය විසිහතර මදි වීම


පළමුව කිව යුත්තේ කාලය කළමනාකරණය කිරීමට අපට නොහැකි බව ය. කාලය කළමනාකරණය කරනවා යැයි කියමින් අප කරන්නේ අප ව නිසි ලෙස කළමනාකරණය කර ගැනීම ය.

බොහෝ අය කියන දුක්ගැනවිල්ලක් නම් පැය විසිහතර මදි බව ය. එහෙම කියන අයට පැය හතලිස් අටක් දුන්නේ වුව වැඩක් නැත.

අප හැමට ස්වභාව ධර්මය ලබා දී තිබෙන්නේ එකම පැය ගණනක් ව තිබිය දී ඇතැම්හු එයින් දෙතුන් ගුණයක වැඩ ගන්නා විට සෙසු අයට ඉන් වැඩ ගත හැක්කේ අඩකින් පමණකි. ඒ ඔවුන් තමන්ට ප්‍රදානය කර ඇති මේ කාලය නිසි ලෙස යොදා නොගන්නා නිසා ය.

අපට දී ඇති කාලයෙන් කොටසක් වැය කළ යුත්තේ විවේක ගැනීමට ය. කාලයෙන් තව කොටසක් වෙන් කළ යුත්තේ ව්‍යායාම කිරීමට ය. ඒ දෙක නොකරන්නා පහසුවෙන් ලෙඩ වෙන අතර ඔහු නින්ද හා විවේකය ද ව්‍යායාම කිරීමට වැය කළ යුතු ව තිබූ කාලය ද කැප කර උපයා ගත් කාලයෙන් වැඩක් වන්නේ නැත.

කාලයෙන් තව කොටසක් වැය කළ යුත්තේ තමන්ගේ හිතේෂීන් සමග ගත කිරීමට ය. ඒ ඔවුන් සමග මනා සම්බන්ධයක් තිබීම සෙසු කටයුතු බාධාවකින් තොරව කර ගෙන යෑමට වැදගත් නිසා ය. වැඩට අවධානය දෙන බොහෝ දෙනෙකුට තමන්ට එවැනි වගකීමක් ඇතැයි සිතෙන්නේ තත්වය අවුල් වූ විට ය. බිරිඳ වෙන අතක් බලා ගත් විට ය. දරුවන් නොමග ගිය විට ය. ඒ සියල්ල සම්බන්ධයෙන් හිස ගිනි ගෙන, වැඩට ඒවා බාධාවක් වූ විට ය.

කාලයෙන් තවත් කොටසක් වැය කළ යුත්තේ අසල්වාසීන් සමග හාදකම් පැවැත්වීමට ය. නැත්නම් වන්නේ වැටේ මායිම හෝ වෙනත් කුඩුකේඩු කම් සම්බන්ධයෙන් ආරවුල් ඇති කර ගැනීමට ය. පොලිසි ගානේ රස්තියාදු වීමට ය.

මේ අප කී එක ද කරුණක්වත් වැඩ හා ඍජු සම්බන්ධයක් නැත. එහෙත් ඒවාට නිසි සැළකිල්ලක් නොදක්වන අයට අවසානයේ ඒවා සම්බන්ධව පමණක් නොව ඒ නිසා වැඩට සිදු වන පාඩු සම්බන්ධයෙන් ද පසුතැවිලි වන්නට සිදු වනු ඇත.

වැඩවලට ඍජු සම්බන්ධයක් නැතත් වක්‍ර ලෙස සම්බන්ධ වන තව කාරණා  ද තිබේ. ඉන් පළමුවැන්න තමන්ට උදව් ගත හැකි සමාජ ජාලයක් පවත්වා ගැනීම ය. ඒ සඳහා සෙසු අයට උදව් කළ යුතු ය. ඒ කියන්නේ අපට ඉතිරි වෙලාවෙන් තව කොටසක් වැඩ සගයින් වෙනුවෙන් හා තමන්ගේ වෘත්තීය සගයින් වෙනුවෙන් වෙන් කළ යුතු බව ය.

දෙවනුව, කාලයෙන් තව කොටසක් වැය කළ යුත්තේ තමන්ගේ දැනුම කුසලතා වැඩි දියුණු කර ගැනීමට ය. පරණ දැනුමෙන් කරන වැඩ ඒ හැටියට සඵල නොවන්නට ඉඩ තිබෙන නිසා ය. එම කටයුත්ත ම වඩාත් හොඳින් ඉක්මණින් කිරීමට නව මාර්ග, නිති පතා, සැකසෙමින් තිබෙන නිසා ය. කුසලතා තියුණු කෙනෙකුට යමක් කිරීමට යන කාලයට වඩා වැඩි කාලයක් එහෙමට කුසලතා නැති කෙනෙකුට යන්නේ ය. ඒ නිසා වැඩ කිරීමට කාලය වෙන් කිරීමට පෙර දැනුම හා කුසලතා වැඩි දියුණු කර ගැනීමට, නව දැනුම හා නව කුසලතා අයත් කර ගැනීමට යෙදවිය යුතු ය.

උදාහරණයක් ලෙස ලිපි ලියන කෙනෙකු වචන ඉක්මණින් සොයා ගත යුතු ය. එසේ වචන ප්‍රවාහයක් ලෙස ගලා එන්නේ කෙනෙකු කියවීමේ යෙදෙන්නේ නම් ය. නැතිනම් වචන හොයා ගැනීම සඳහා කල් වේලා ගන්නට ඔහුට ඇයට සිදු වේ. ඊට අමතරව ඔහුට හෝ ඇයට ඒ විෂය ගැන යාවත්කාලීන දැනුමක් ද තිබිය යුතු ය. ඒ සඳහා බොහෝ මූලාශ්‍ර සෙවිය යුතු ය. ඒ සඳහා කියවිය යුතු ය. කියවීමේ වේගය කෙනෙකු දෛනිකව පුරුද්දක් ලෙස කියවන ප්‍රමාණය අනුව වෙනස් වේ. නිතර කියවන කෙනෙකුට ඉක්මණින් යමක් කියවා තේරුම් ගත හැකි ය.

ඔහුට හෝ ඇයට තම අදහස් කෙළින්ම යතුරු ලියනය කළ හැකි නම් පරිගණක ගත කළ හැකි නම් තවත් කාලය ඉතිරි කර ගත හැකි ය. ඒ සඳහා යතුරු පුවරු කුසලතා තිබිය යුතු ය. ලියන්න කාලය ගත කරන අතරතුර සමාන කාලයක් හෝ ඊට වැඩි කාලයක් මේ කියන ක්ෂේත්‍රයන් වැඩි දියුණු කර ගැනීමට ද යෙදවිය යුතු ය. මේ සියල්ල වෙනස් අයුරින් වෙනත් රැකියා සම්බන්ධයෙන් ද අදාළ ය.

තෙවනුව, තමන් සංවිධානය වී සිටිය යුතු ය. තමන් යොදා ගන්නා මෙවලම් ද සංවිධානය වී තිබිය යුතු ය. පරිගණකය හා ස්මාර්ට් දුරකථනය ද නිසි ලෙස සංවිධානය වී තිබිය යුතු ය. වැඩ පරිසරය නිසි ලෙස සංවිධානය වී තිබිය යුතු ය. අවශ්‍ය තරම් ආලෝකය හා වාතාශ්‍රය සහිතව පිරිසිදුව තිබිය යුතු ය.

තමන්ගේ අවධානය අනවශ්‍ය ලෙස පැහැර ගන්නා දෙයින් නිදහස්ව සිටිය යුතු ය. පමණට වඩා ලොකු ගෙයක් තිබීම ද පමණට වඩා මල් පැල හා සුරතල් සතුන් සිටීම ද ඒවා බලාගන්නට අය නොසිටින්නේ නම් කාලය කා දමන කටයුතු බවට පත් වන්නේ ය. ඒවායින්  ද හැකිතාක් බැහැර විය යුතු ය.

අප තවමත් කැරකෙන්නේ අපට කරන්නට තිබෙන වැඩ රාජකාරිවලට ඍජු ලෙස සම්බන්ධ නොවන කාරණා ගැන ය. ඒවාට ද කාලය වෙන් කළ යුතු බව කියන්නට ය. තවත් පමා නොවී දැන් වැඩට බසිමු.

වැඩ කියන්නේ ඒක වචන නාම පදයක් නොවේ. ඒ කියන්නේ අපට එක් වැඩක් නොව වැඩ රාජකාරි ලයිස්තුවක් ඇති බව ය. දැන් අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. ඒ කවර රාජකාරි වලට ප්‍රමුඛතාවය දිය යුතු ද යන්න ය. බොහෝ විට අප කලින් කිරීමට තෝරා ගන්නේ හදිසි වැඩ ය. එවිට අතපසු වන්නේ හදිසි නොවන වැදගත් වැඩ ය. එහෙත් වැදගත් වැඩ අතපසු වීම නිසා සිදු වන්නේ හදිසි වැඩ ගොඩ වීම ය. යම් යන්ත්‍රයක් නිසි නඩත්තුවට ලක් නොකර දිගින් දිගට වැඩෙහි යෙදුවහොත් සිදුවන්නේ යන්ත්‍රය කැඩීම ය. වැදගත් වැඩය නොකළ නිසා එය අප ඉදිරියේ මතුවුනේ හදිසි වැඩක් ලෙස ය. දැන් ඉතින් පරල වී හැම තැනම දුවන්නට සිදු වන්නේ ය. ඒ තවත් වැදගත් වැඩ ද අමතක කරමිනි.

වැදගත් වැඩ ද බොහෝමයක් තිබේ. ඒ අතරින් ද අප තෝරාගත යුත්තේ වඩාත් වැදගත් වැඩ ය. මෙහි දී අපේ උදව්වට එන්නේ පැරටෝ මූලධර්මය ය. එයින් කියවෙන්නේ අප කරන වැඩ අතරින් සියයට අසූවක බලපෑම ඇතිකරන්නේ වැඩ වලින් සියයට විස්සකින් බව ය. ඒ නිසා අප ප්‍රමුඛතාවය දිය යුත්තේ ඒ සොච්චම් සියයට විස්සට ය.

ඒ සිියයට විස්ස අඩංගු ලයිස්තුව ද ඇතැම් විට දිග ය. එහි තේරුම ඒ සියල්ල අපට කළ නොහැකි බව ය. ඒ සඳහා වෙනත් කෙනෙකු පත් කර ගත යුතු බව ය. වැඩ බෙදා දිය යුතු බව ය. ඇතැම් වැඩ බිරිඳ සමග ද තවත් ඒවා දරුවන් සමග ද බෙදා ගත හැකි ය. තවත් ඒවා වැඩ සගයන් සමග ය. තවත් ඒවා අනුගාමිකයන් සමග ය. ඇතැම් ඒවා බාහිර සේවා ආයතනයකට පැවරිය හැකි ය. වැඩය හිමිවන අයට ද ඒ හරහා අත්දැකීම් ලබා ගත හැකි ය. ඔවුන් ද සංවර්ධනය කළ හැකි ය. වැඩ නිම කිරීමට අපට අනුග්‍රහය පිරිනමන කෙනා අපගේ හිතවතෙකු ද වනු ඇත. මක්නිසා ද යත් ඔහු හෝ අය අප වෙනුවෙන් ආයෝජනයක් කර ඇති නිසා ය.

මෙසේ වැඩ කරන අයට, වැඩ ද කලට වේලාවට නිසි ලෙස අවසන් කොට, තව විනෝදාංශ කීපයක යෙදීමට ද අන්තිමේ කාලයක් ඉතිරි වනවා ඇත.

One thought on “පැය විසිහතර මදි වීම

  1. Sathi says:

    හරිම ප්‍රයෝජනවත් ලිපියක් සර්. බොහොම රසත්වත්ව ලියලා තියෙන නිසා අවබෝධය පහසුයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s