ඇතුවත් බැරි නැතුවත් බැරි නීති


ඕනෑ ම ආයතනයක් තුළ නීති රීති තිබේ. ඒ යම් චාරයක්, පිළිවෙලක්, ඇති කිරීමට ය. කළ යුතු දේ, නොකළ යුතු දේ, දැනුම් දීමට ය.

ඇතැම් ආයතන තුළ නීති රීති කප්පරක් තිබෙන අතර ඒවා නිසා සිදු ව ඇත්තේ වැඩක් කළ නොහැකි වීම ය. ඒවා විසින් සිදු කර ඇත්තේ මිනිසුන්ගේ දෑත් බැඳ තැබීම ය. පයේ විලංගු ලෑම ය. ඒ, නිදහස දුන්නොත් බොහෝ නොපනත් දේ කළ හැකිය යන භීතිකාව නිසා ය.

ඇතැම් නීති රීති එක් එක් තනතුරට වියදම් කළ හැකි සීමාවන් දක්වමින් ය. ඇතැම් ඒවා වියදම් කළ හැකි ක්‍රමවේදයන් දක්වමින් ය. ඒවා තුළ ඇත්තේ නාස්තිය හා දූෂණය අවම කිරීමේ යහපත් අපේක්ෂාව ය. එහෙත් ඇතැම් විට ඒවායින් සිදු ව ඇත්තේ ඇතැම් අත්‍යවශ්‍ය මිලදී ගැනිම් කලට වේලාවට කර ගත නොහැකි විම ය. ඒ නිසා ඇතැම් විට ඉතා විශාල පාඩු දරා ගැනීමට සිදු වීම ය. උදාහරණයක් ගෙන මෙය විමසන්නට බලමු.

ඇතැම් යන්ත්‍ර වැඩ කිරීමේ දී ඉතා විශාල ලෙස තාපය ජනනය කරන නිසා ඒවායේ නිශ්පාදකයන් උපදෙස් දී ඇත්තේ වායු සමීකරණයක් යොදා උෂ්ණත්වය පාලනය කරන තත්වයන් යටතේ පමණක් ඒවා ක්‍රියාත්මක කරන ලෙස යැයි සිතමු. ඒ තත්වයන් ඇති කර මෙම යන්ත්‍රය ක්‍රියාකරන අතර තුර වායු සම්කරණය අක්‍රීය වුවහොත් යන්ත්‍රය නතර කරන්නට සිදු වේ. වායු සමීකරණය අලුත් වැඩියා කරන තෙක් බලා සිටියහොත් සිදුවන්නේ විශාල පාඩුවකි. ඒ නිසා කළ යුත්තේ ඉතා ඉක්මණින් නව වායුසමීකරණයක් ගෙන්වා ගෙන සවි කිරීම ය. මේ සඳහා අවසර ලබා ගැනීමට සිදු වන්නේ නම් ඊට කාලයක් ගත වේ. ඇතැම් ආයතනික සීමාවන් නිසා මේ කාලය දින දෙක තුනක් වුව විය හැකි ය. මිලදී ගැනීම් සඳහා ඇති ක්‍රමවේදය තුළ මෙවැනි හදිසි මිලදී ගැනීමකට ඉඩ සළසා නැත්නම් තත්වය තවත් දරුණු ය. එය සති කීපයකට වුව දික් විය හැකි ය.

බොහෝ ආයතනවල නීති ඇතත් ඒවා සඳහා ව්‍යාතිරේඛයන් පනවා තිබෙන්නේ ඒ නිසා ය. ඇතැම් අය මේ ව්‍යාතිරේඛයන් භාවිතා කිරීමට ද බිය ය. හේතුව විගණන නිලධාරීන්ට මුහුණ දිමට එවන් අවස්ථාවල සිදු විය හැකි  නිසා ය. මෙය විශේෂයෙන් රජයේ ආයතනවල දක්නට ලැබෙන කතන්දරයකි. රාජ්‍ය අංශයට පුද්ගලික අංශය සමග තරග කිරීමට බැරි එක් හේතුවක් මේ දැඩි නීති රීති ය. ඒ නීති රීති ක්‍රියාත්මක වන්නේ දැයි වග බලා ගැනීම සඳහා පත් කර ඇති විගණන නිලධාරීන් ය. ඔවුන් බොහෝ දෙනෙකු විගණනය කරන්නේ හොරු අල්ලන මානසිකත්වයෙනි. ඇතැම් අවස්ථාවල ප්‍රශ්න කරන්නේ හොරු බවට නිගමනය කිරීමෙන් පසු යැයි හැගෙන විදිහට ය. කොහොමටත් මේ ගෞරවය දිනා ගැනීම සඳහා විගණන නිලධාරීන්ට යොදා ගත හැකි අවස්ථාවකි. පොලිස් රාජකාරියකි.

නීති රීති අයහපත් වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමේ දක්වන මේ දුර්වලතාවය ද නිසා ය. ලොකු පින්තූරය නොසළකා නීතිය අකුරට ක්‍රියාත්මක කර ඇති දැයි විමසීමේ අවුල ද ඉන් එකකි.

රජයේ ආයතනයක කලක් වැඩ කළ මා හට ඒ කාල වකවානුවේ ශිෂ්‍යත්වයක් ලැබ විදේශ ගත වන්නට සිදු විය. මගේ බිරිඳට මට හිමි වැටුප ලබා ගැනීම සඳහා, මා විසින්, මා අධ්‍යාපනය ලබමින් සිටි ආයතනයෙන් ජීවිත සහතිකයක් ලබාගෙන එවිය යුතු ව තිබුනි. ඒ රජයේ නීතිය ය. අගෝස්තු මාසය සඳහා මා විසින් එවන ලද ජිවිත සහතිකය කාර්යාලයේ අස්ථානගත වීම නිසා අගෝස්තු වැටුප ලබාගැනීමට මගේ බිරිඳට නොහැකි විය. සැප්තැම්බරයේ මගේ ජීවිත සහතිකය ලැබීම නිසා සැප්තැම්බර් වැටුප බිරිඳට ලබා දුන් කාර්යාලය අගෝස්තු වැටුප නිදහස් කිරීම සඳහා නැවත ජිවිත සහතිකයක් මා අධ්‍යාපනය ලබන ආයතනයෙන් ලබා ගත යුතු බවට තීන්දුවක් ද දුන්නේ ය. ඒ කියන්නේ අගෝස්තු මාසයේ මා මැරි සැප්තැම්බර් වල නැවත උත්තානය වූ දැයි ඔවුන්ට ඇති වූ සැකය නිසා නොවිය හැකි ය. නැත, ඒ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමේ අවුල ය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ඊළග අවුල නම් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නන් තුළ සංගතියක් නොතිබීම ය. යම් නීතියක් කඩ කිරීම සම්බන්ධයෙන් මාස ගණනක් අහක බලා ගන්නා ඔවුන් හෙට හදිසියේ ක්‍රියාත්මක වී ඒ නීතිය සඳහා ම දැඩි දඩුවම් පැමිණිමට ඉදිරිපත් වීම ය. එක් අයෙකු වෙනුවෙන් අහක බලා ගන්නා ඔවුන් සෙසු අය දැල් දා ඇල්ලීම ය. හඹා ගොස් ඇල්ලීම ය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ ඊළග අවුල, එ් සඳහා නීති සම්පදාකයන් විසින් යම් නීතියක් කඩකිරීම උදෙසා පනවන දඩුවම, නීතිය ක්‍රියාත්මක කරන්නන්ගේ දෑස් අභියස, යුක්ති යුක්ත නොවිම ය. එවැනි තැනක නීතිය ක්‍රියාත්මක කරන්නන් කරන්නේ අහක බලා ගැනීම ය. ලංකාවේ නීතියට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක ය. එහෙත් එහි ඇති අමානුෂිකත්වය නිසා ම, දඩුවම යුක්ති යුක්ත නොවීම නිසා ම, එය ක්‍රියාත්මක වූයේ නැත. දැන් ඒ සඳහා නැවත උනන්දුවක් ඇති ව තිබෙන මුත් එය කොතරම් කලකට දැයි සහතිකයක් නැත.

ඇතැම් නීති සම්මත සමාජ සදාචාරයට එකග නැත. එවැනි නීති ද ක්‍රියාත්මක කිරීමේ ගැටළු තිබේ. දරුවෙකුට හිංසාකාරී දඩුවම් පැමිණ වීම නීති විරෝධී ය. එහෙත් සම්මත සදාචාරය තුළ තිබෙන්නේ ගහල හරි හදන්න ඕනෑ යන මතය ය. ඒ නිසා අතිශය කලාතුරකින් තැනක මිස මේ නීතිය ද ක්‍රියාත්මක වන්නේ බකල් ගසමින් ය. නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ද ඉල්ලමින් ය.

නීති රීති අවශ්‍ය වැරදි අවම කිරීමට ය. එහෙත් එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන ඉහත කී වැරදි නිසා එහි වැදගත් කම අඩු ව තිබේ. වෙනත් විදිහකට කියනවා නම් නීති නිසි ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ මිනිසුන් අඩුවෙන් වැරදි කරන රටක ය. කරුමයක මහත වන්නේ, නීති රීති අවශ්‍ය වන්නේ ද එවැනි රටකට වීම ය.

නීති රීති වෙනුවට හරි වැරැද්ද හඳුනාගත හැකි ජනමතයක් බිහි කළ හැකි නම් අප ගොඩ ය. පළමුව, ඒ සඳහා කාලය අවශ්‍ය ය. දැඩි වෙහෙසක් දැරීම අවශ්‍ය ය. එතෙක් නීතිරීති අවශ්‍ය ය. දෙවනුව, හරි වැරැද්ද පිළිබඳ අවබෝධය ලබා දුන්න ද වාසියටත් ලාභයටත් වැරදි කරන මිනිසුන් ස්වල්පයක් ඉතිරි වනු ඇත. ඔවුන් ඉන්නා තුරු නීති අවශ්‍ය ය.

අප සතු අභියෝගය වන්නේ අවම නීති සංඛ්‍යාවකින් වැඩේ ගොඩ දාගන්නේ කෙසේ ද කියා ය. ඒ නීති, ඇතුවත් බැරි, නැතුවත් බැරි, අරුම පුදුම දෙයක් නිසා ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s