සමාජ සාරධර්ම හා ආයතනික ආචාර ධර්ම


Black in China part 4 The internship – Voyage To Asia

මුල අමතක කිරීම හොඳ නැත. නගින්නට උදව් කළ ඉණිමග තල්ලු කර දැමීම යහපත් නොවනවාට අමතරව බහින කාලය එළැඹි විට තමන් අසරණ වීමට ද එය හේතුවක් විය හැකි ය. ඒ සියල්ල අපට කියන්නේ කළ ගුණ සැළකිමේ වැදගත් කම ය. ඒ නිසා ම එසේ නොකරන අය නොමිනිසුන් ලෙස සැළකීමට පවා අපි පුරුදුව සිටිමු.

මා හදා වඩා ගත්තේ අම්මා ය. ඇය ඒ සඳහා නොයෙකුත් දුක් ගැහැට විඳින්නට ඇත. මගේ ඇඹේනිය මගේ ජීවිතයට පසුව එකතු වූ කෙනෙකි. ඇය මා වෙනුවෙන් අම්මා තරම් තවම කැප කිරීම් කර නැත. දැන් ප්‍රශ්නයක් තිබේ. ඒ තෝරාගත යුත්තේ අම්මා ද නැත්නම් බිරිඳ ද යන්න ය. බොහෝ දෙනෙකු අසා ඇති අම්ම ද නැත්නම් ඔබගේ බිරිඳ ද යන බයිලා ගායනයට පදනම් වන්නේ ද එය ය. ප්‍රශ්නය අමාරු වුනාට බොහෝ දෙනෙකුගේ උත්තරය සරල ය. දෙදෙනාම ය. කවුරුන් හෝ බැහැර නොකළ යුතු ය. දෙදෙනාගේම සතුට ඇති කරන තුන්වෙනි විසඳුමක් සොයා ගත යුතු ය.

එය ද අගනා උවදෙසකි. එහෙත් ප්‍රශ්නය පැන නගින්නේ, දෙන්නා පරස්පර අස්ථාන දෙකක් යමක් සම්බන්ධයෙන් දරණ විට ය. තමන් දරණ අස්ථානයන්ගෙන් ඉවත් වීම හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන විට ය. මා දැන් කළ යුත්තේ කුමක් ද?

ඒ උත්තරය ද සරල ය. ගත යුත්තේ නිවැරදි අස්ථානයේ පැත්ත ය. එය අම්මා දරණ අස්ථානය නොවී බිරිඳ දරණ අස්ථානය වන්නේ නම් උත්තරය සරල වන්නේ නැත. ඒ තෝරාගැනීම නිසා සමාජය ඉදිරියේ මා කළ ගුණ නොසළකන පුතෙකු වන්නට ඉඩ තිබෙන නිසා ය.

කළමනාකරුවෙකුට ද මේ ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වේ. ඒ තීන්දු තීරණ ගැනීමේ දි ය. තමන්ට උපකාර කළ අයට රිදවන තීන්දු ගැනීම නිසා සිදු වන්නේ මුල අමතක කළ මිනිසෙකු ලෙස හංවඩු ගැසිම ය. අනෙත් අතට ඒ තීන්දුව ආයතනයේ යහපත පිණිස හේතු වන්නේ නම් එවැන්නක් නොගෙන සිටීමෙන් වන්නේ ආයතනයට අකටයුත්තක් කිරීම ය. කළමනාකරුවෙකු ලෙස තමන්ගේ වගකීම පැහැර හැරීම ය. මෙවැනි උභතෝකෝටියකට මුහුණ දෙන කළමනාකරුවෙකු තෝරා ගත යුත්තේ කුමක් ද?

ඒ සඳහා ගුරුහරුකම් ගත හැකි සමාජ සංවාදයේ එන කතාවක් තිබේ. ඒ කතාව අවසන් වන්නේ, තමන්ගේ දුව ජලාශයක ගිලුණු අවස්ථාවක, ඇයගේ දිවි ගලවා ගත් තරුණයාට, ඒ හේතුවෙන් සිය දුව දූෂණය කරන්නට, පියාගේ අවසරය ලැබිය යුතු ද යන ප්‍රශ්නය නගමිනි. පැහැදිලි උත්තරය නැත යන්න ය. කළ යම් ගුණයක් වෙත් නම් ඒ බව සිහිපත් කර එයට නිසි ලෙස ගෙවීම එකකි. ඒ නිසා ආත්මය පාවා දීම තව එකකි. සමාජ සාරධර්ම මතු කරන එහෙත් මුළු පින්තූරය නොදකින මිනිසුන්ට නොතේරෙන්නේ ද එය ම  ය.

ඒ නිසා ම තම අනුගාමිකයන්ගෙන් පෞද්ගලික උදව් ගැනීම පරිස්සමින් කළ යුතු ය. යම් බරපතල හේතුවක් නිසා එවැන්නක් ගන්නට සිදු වුයේ නම්, නොපමාව ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාරයක් කරමින්, එය සිය භාවාත්මක ගිණුමෙන් ඉවත් කළ යුතු ය. ඒ හරහා තම මනස නිදහස් කර ගත යුතු ය.

ආයතනයක් ආයතනයට සුවිශේෂ වූ ආචාර ධර්ම පද්ධතියකට යටත් කළ යුතු වීමට එක් හේතුවක් වන්නේ සමාජ සාරධර්ම ඇතැම් විට ආයතනයේ අරමුණු වලට එරෙහිව යා හැකි නිසා ය. යම් කටයුත්තක් ආයතනයේ අරමුණුවලට එරෙහි ව යන්නේ නම් කළගුණ සැළකීම පිණිස හෝ එවැන්නක් නොකට යුතු බව, එවැනි ආචාර ධර්ම පද්ධතියක, නිශ්චිත වචන වලින් ම සඳහන් කළ යුතු ය.

ආයතනයට පැමිණි මුල් යුගයේ ඔබට උදව් පදව් කළ කෙනෙකු වුව, ආයතනයට වංචාවක් කළ අවස්ථාවක, නොපමාව නිසි දඩුවමකට යටත් කළ යුතු ය. එහෙත් රැකියාවක් සොයා ගන්නා තෙක් ඔබේ පෞද්ගලික මුදලින් උදව්වක් කිරිමෙන් ඔහුට තවදුරටත් කළ ගුණ සැළකීමට ඔබට වග බලා ගත හැකි ය. රැවුලත් බේරා ගෙන කැඳත් බොන්නට හැක්කේ එවිට ය.

ඔබට උදව් කළ කෙනෙකු සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීම අමාරුවෙන් වුව කළ හැකි  ය. ආයතනය වෙනුවෙන් අතීතයේ කැප වී වැඩ කළ කෙනෙකු සම්බන්ධයෙනුත් එය එසේ ම කළ හැකි ද? අතීත කැප කිරිම පිළිබඳව අපේ ඇති ගෞරවය පළ කිරීම වැරදි නැත. එහෙත් එය ආයතනයේ වර්ථමානයට හෝ අනාගතයට අයහපතක් කිරීමට හේතුවක් නොවිය යුතු ය.

වර්ථමානයේ අප මේ සිටින තත්වයට පැමිණිමට අතීතය උදව් වූ බව ඇත්ත ය. එහෙත් අනාගතය සඳහා යන ගමනේ දී ඒ අතීතය ම උදව්වක් වෙනුවට බාධකයක් විය හැකි ය.

කළ ගුණ සැලකීම පමණක් නොව වෙනත් සමාජ සාරධර්මයන් ද මෙසේ කළමනාකරුවන්ට අභියෝග ගෙනෙන්නට පුළුවන. ජේෂ්ඨයන්ට සැළකීම එවන් තවත් එක් අවස්ථාවකි. ඒ නිසා ම ආයතනයේ තීරණාත්මක සම්පත් වල උරුමක්කරුවන් බවට ඔවුන් පත් නොකළ යුතු ය. වඩාත් දියුණු පරිගණකය ලැබිය යුත්තේ ආයතනයේ ජේෂ්ඨයාට නොවේ. එයින් වඩාත් වැදගත් දායකත්වයක් ආයතනයට ලබා දිය හැකි පුද්ගලයාට ය.

දුර්වලයන්ට රැක වරණය දීම තවත් එවන් අවස්ථාවකි. ඔවුන්ට රැකවරණය ලබා දීම යහපත් දෙයකි. එහෙත් ශක්තිවන්තයන් දක්ෂයින් අධෛර්ය වන ආකාරයට දුර්වලයන් හුරතල් නොකළ යුතු ය. ප්‍රතිලාභ වැඩියෙන් හිමි විය යුත්තේ නැති බැරි අයට නොවේ. ආයතනය වෙනුවෙන් නොපැකිල දායකත්වය දෙන ඇති හැකි අයට ය. එසේ නොකොට දුර්වලයන් හුරතල් කිරිමට යෑමෙන් සිදුවන්නේ දුර්වලයන් පැටව් ගැසීම ය.

සමාජ සාරධර්ම, ආයතනික ආචාර ධර්ම සමග පටලවා නොගැනීම පහසු කාර්යයක් නොවේ. එහෙත් එය කළ යුතු කාර්යයකි. ආයතනයකට වෙනම ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍ය වන්නේ සමාජ සාරධර්ම වලින් මෙහෙයවීමෙන් ආයතනයක් ඉදිරියට ගෙන යා නොහැකි නිසා ය. ඒවා ඇතැම් විට ආයතනයේ ඉදිරි ගමනට හරහට හිටිය හැකි නිසා ය.

ඇතැම් වෘත්තීය ආචාර ධර්ම, සමාජ සාරධර්ම වලට එරෙහි ව යන්නේ ද මේ ආකාරයට ම ය. උදාහරණයක් ලෙස ගත හොත් නීතිඥයෙකුට තම සේවා දායකයාගේ වුවමනාවන් වෙනුවෙන්, ඔහු කුමන ආකාරයේ වැරැද්දක් කර ඇති වුව ද, පෙනී සිටීමට වෘත්තීය ආචාර ධර්ම අනුව සිදු වේ. තමන්ගේ සේවය පතන මිනීමරුවෙකුට වුව සේවය ලබා දීමට නීතිඥයෙකු බැඳී සිටී. වෛද්‍යවරයෙකු ද තමන්ගේ ආධාර පතන රෝගියා සතුරු කඳවුරක යුධ භටයෙකු වුව ද ඔහුට පිහිට වීමට බැඳී සිටින්නේ ය. ශිෂ්ඨ සමාජයක් ඒ ආචාරධර්ම අනුගමනය කිරීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ට දොස් නගන්නේ නැත.

සමාජ සාරධර්ම තරමටම, වෘත්තීය හා ආයතනික ආචාරධර්ම ද, සමාජයක යහපැවැත්මට අවශ්‍ය ය. ඒවා එකිනෙක පරස්පර වෙන අවස්ථාවල ඒවා සමග ගනුදෙනු කිරීම අභියෝගයකි. කළමනාකරුවන්ට එය ජය ගත යුතු අභියෝගයකි. ඒ සඳහා ආයතනික හා වෘත්තීය ආචාර ධර්ම, සමාජ සාරධර්මයන්ට, ඉහළින් තැබිය යුතු ය.