ඇහුම් කන්දීම, අභිමානය සහ හීනමානය


 

සමහර අයට ඇහුම්කන් දීම හුරු නැත. ඔවුන්ට අවශ්‍ය කියන්නට ය. කතා කරන්නට ය. තමන් පොරක් බව අඟවන්නට ය.

උදව්වක් පතා කෙනෙකු ළගට ගිය විට වුව උදව්ව ඉල්ලා සිටින්නට තරම් නිහතමානයක් ඔවුන්ට නැත. උදව් ගන්නට පැමිණිය ද උදව්ව ලබන්නේ තමන් ඊට වඩා දන්නා බව උදව් දෙන පුද්ගලයාට අඟවන්නට ද වග බලා ගනිමිනි.

මෙතැන ඇත්තේ කීර්තිය පිළිබඳ ප්‍රශ්නයකි. මාන්නය පිළිබඳ ප්‍රශ්නයකි. උදව්වක් ඉල්ලීමට සිදු වීම නිසා, පීචං වීමට සිදු වීම සම්බන්ධයෙන් මතු ව ඇති ප්‍රශ්නයකි.

මෙවැනි කෙනෙකුට උදව් කිරීම ද පහසු නැත. එය හරියට පුරවන ලද වීදුරුවකට වතුර පිරවීමක් බඳු ය. වතුර යන්නේ අහකට ය.

දැන ගන්නට ප්‍රශ්නයක් ඇසිය යුතු තැනක පවා කරන්නේ කියවන එක ය. ප්‍රශ්නයට උත්තර දෙන විට කරන්නේ හරහට පැනීම ය. වටේ යැවීම ය. උත්තර දෙන තැනැත්තා අවුලට පත් කිරීම ය.  වෙනත් ලෙසකින් ප්‍රදර්ශනය කරන්නේ අනෙත් පුද්ගලයා ද තමන්ගේ ගොඩට, අවුලට දා ගැනීමට, ඇති වුවමනාව ය.

කියන්නේ අවුල ලිහා ගන්නට අවශ්‍ය බව ය. කරන්නේ අවුල තව තවත් අවුල් කිරීම ය. ප්‍රශ්නයක් අසා ඒ ගැන උත්තර දෙන විට වෙනත් ප්‍රශ්නයකින් දමා ගැසීම ය.

ඇතැම් විට අවුල ලිහා ගෙන යන විට කරන්නේ අවුල නිසා තමන්ට සිදු ව ඇති වියවුල කියා අනුකම්පාව යැදීම ය. අසා සිටින කෙනෙකුට හැඟෙන්නේ අවුල ලිහාගන්නට එහෙමට වුවමනාවක් නැති බවකි. එවැනි අවුලක් සැළකිය යුත්තේ හිඟන්නාගේ තුවාලයක් පරිද්දෙන් ය. එය තිබුණු තරමට හොඳ ය. වාසි ය.

මේ බව හඟින අනෙකාට තව දුරටත් මේ මාන්නකාර තැනැත්තාට උදව් කරන්නට හිතෙන්නේ නැත.

එසේ වූවාට ලෝකයට කියන්නේ තමන් ඒ අවුල ලිහා ගැනීමට ලොකු උනන්දුවක් දක්වන බව ය. මේ චරිතයට පාදක වන්නේ හීන මානය ය. බාහිරට අධිමානයක් පෙන්වන බොහෝ දෙනෙකු තුළ තිබෙන හීන මානය ය.

භාගයක් ඇහුම් කන් දෙන කාලක් තේරුම් ගන්නා බිංදුවක් හිතන දෙගුණයක් ප්‍රතිචාර දක්වන ඒ චරිතයට අවසානයේ සිදු වන්නේ දහගුණයක් පසුතැවිලි වීමට ය. ඒ සියල්ලෙන් පසු ද ඔවුන් කිසිදු විටක ඉගෙන ගන්නේ නැත.

හොඳින් ඇහුම් කන් දෙන අයගේ පෞර්ෂය වෙනස් ය. ඔවුන් දැනටමත් අභිමානයක් ඇති අය ය. ඔවුන්ට අමතරෙන් කතා කොට පෙන්වන්නට දෙයක් නැත. අනෙකා පරදා ජයගන්නට වුවමනාවක් නැත. දැනටමත් ඔවුන් ජිවිතය ජය ගෙන හමාර ය. ඒ නිසා ම ඔවුන් ප්‍රදර්ශනය කරන්නේ නිහතමානිත්වය ය. ඔවුන් කතා කරන්නේ අවශ්‍ය තරමට ය. අත්‍යවශ්‍ය වචන පමණක් මුදා හරිමිනි. ඒ නිසා ඔවුන් පිට කරන හැම වචනයකට ම වටිනාකමක්, බරක්, ඇත. ඔවුන් කතා කරන තැනැත්තාට නිදහසේ කතා කරන්නට ඉඩ හරිති. උත්තර දෙන්නේ කතාව ඉවරවුනු පසු කුඩා විරාමයක් ද තබමිනි. ඒ තවත් යමක් කියන්නට ඇත්නම් ඉඩ හසර සලසමිනි.

ඔවුන්ගේ ශරීර භාෂාව ද පල කරන්නේ ඇහුම් කන් දීමට ඇති වුවමනාව ය. ඔවුහු නෙත් කතා කරන තැනැත්තාගෙන් නෙත් ඉවත් කර ගන්නේ විරාමයකට පමණ ය. ඒ හේතුවෙන් ඔහුට අනෙකා තේරුම් ගැනීම පහසු ය. වචන වලින් අනෙකා කියන කතාව පමණක් නොව ශරීර භාෂාවෙන් ඇය නොකියන කතාව ද තේරුම් ගැනීමේලා ඔහු සමත් ය .

ඒ නිසා ම අනෙකාට වඩා හොඳින් ප්‍රතිචාර දීමේ ඔහු සමත් ය. අනෙත් තැනැත්තා පිළිබඳ ඔහු හෝ ඇය ඉදිරිපත් කරන කාරණය සම්බන්ධ සමස්ථ පින්තූරය දැන ප්‍රතිචාර දැක්වීමට ඔහුට එයින් අවස්ථාවක් ලැබෙන්නේ ය. ප්‍රතිචාර දැක්වීමට පෙර අවශ්‍ය නම් තවත් ප්‍රශ්න නැගීමට ඔහු සූදානම් ය. නොදන්නා දේ දැන ගැනීමට ඇති ස්වරය ඒ ප්‍රශ්නයන් නගන ආකාරය තුළ ප්‍රදර්ශනය වේ. ඒ නිසා අනෙකාට ද ඔහුට උදව් කිරීමට සිත් දෙන්නේ ය.

කතා කිරීමට එක කටක් ලැබෙන විට අපට අසා සිටීමට කණ් දෙකක් ම ලැබෙන්නේ ඇහුම් කණ් දීමේ වැදගත් කම කියන්නට ය.

ප්‍රශ්නයක් විසඳා ගැනීමේ වුවමනාවට වඩා තමන් මුදුනා වීමේ වුවමනාවෙන් කෙනෙකු පෙළෙන විට මේ කතා ඔහුට හෝ ඇයට අමතක වන්නේ ය.

සමහරු ඇහුම් කන් දීමට මැලි වන්නේ එයින් වෙලාව අපතේ යන නිසා ය. අනෙත් තැනැත්තා ප්‍රස්තූතය මග හැර අපව වටේ එක්කර ගෙන යන නිසා ය. ඔහුට මුදුනා වීමේ වුවමනාව තිබෙන නිසා ඔහු අපට සවන් නොදෙන නිසා ය. එවන් විටක අප කළ යුත්තේ කුමක් ද?

සුළු වේලාවකට අපට හමුවන ඒ චරිතය හදන්නට අපට නොහැකි ය. සමාජ පිළිගැනීම සම්බන්ධයෙන් දරිද්‍රතාවයෙන් ඔවුන් පෙළෙන නිසා ඔවුන් ඒ අංශයෙන් පොහොසතුන් කිරීමට එක හමුවකින් නොහැකි ය. පළමුව කළ යුත්තේ ඇති වෙන්නට කතා කරන්නට ඉඩ දීම ය. මතු කරන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැතිව ඒවා පළමුව ලියා ගැනීම ය.

එසේ වුව ද ඔහුට දිගින් දිගටම ඉඩ දී බලා සිටිය යුතු නැත. කළ යුත්තේ නිශ්චිත ප්‍රශ්නයන් ඔහුට යොමු කිරිම ය. ඒවා ට උත්තර ඉල්ලා සිටීම ය. වටේ යන සෑම විටක ම, සංවාදය නවතා, නැවත අප මතු කළ ප්‍රශ්නයන්ට නිශ්චිත උත්තර ඉල්ලා සිටීම ය. ඔහු හෝ ඇය ඉල්ලා සිටින්නේ, උදව් ඉල්ලා සිටීමෙන් තමන්ට අහිමි වූ, තමන්ගේ තත්වය නැවත නගා සිටු වීම නම්, ඒ ගැන අපේ අවධානය යොමු විය යුතු ය. එය සම්පූර්ණ නොවෙනතාක් අපට මේ ආඩම්බර බැලීමට සිදු වන නිසා ය. කළ යුත්තේ ඒ පිළිබඳව ඒ තැනැත්තාගේ කැප වීම උලුප්පා දක්වමින්, නැති වූ තත්වය නැවත ඇති කර දීම ය.

හැම විටම මතක තබා ගත යුත්තේ, අපේ ජයග්‍රහණය ඇත්තේ අනෙකා නිවැරදිව තේරුම් ගැනීම තුළ බව ය. අනෙකාගේ ජයග්‍රහණය ද සාක්ෂාත් කර දිය හැකි තත්වයන් නිර්මාණය කිරීම තුළ බව ය.

එවැන්නකට කාල වේලා නොමැති නම් කළ යුත්තේ සියල්ල ඉක්මණින් ඉවර කර දැමීම නොවේ. කාල වේලා ඇති අවස්ථාවකට කල් දැමීම ය.

නොකඩවා කියවන බොහෝ අය එයට ද සූදානම් නැත. ඔවුන් අවසන් කිරීමට කාලය පැමිණ ඇතැයි අප දක්වන සංඥා කිසිවකට ප්‍රතිචාර දක්වන්නේ ද නැත. ඇතැම් විට සමුගැනීම පිළිබඳ වචනයෙන් කරන ප්‍රකාශනයන් පවා ඔවුන් විසින් නොසළකා හරිනු ඇත. එවිට කළ යුත්තේ ඔවුන්ගේ කතාවට අප ද ප්‍රතිචාර නොදක්වා සිටීම ය. වෙන අතක් බැලීම ය. ගැලවීමේ මගක් සෙවීම ය. අදාළ ප්‍රශ්නය වෙනුවට ඊළඟට නැවත හමුවන අවස්ථාව ගැන කතා කිරීම ය. ඒ ගැන පමණක් සංවේදී වීම ය.

අවසාන වශයෙන් ඊළග වටයේ ඔහු හෝ ඇය හමුවන විට ඒ චරිතයට සුදානම් ව උපාය මාර්ගයන් සැලසුම් කොට පැමිණීමට වග බලා ගැනීම ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s