කේලාම් කීම හා ඇහීම


 

කේලාම් කීම අයහපත් බව දැන සිටිය ද එසේ නොකර සිටීමට බොහෝ දෙනෙකුට බැරි ය. කේලමකින් බොහෝ විට කියවෙන්නේ යම් පුද්ගලයෙකුගේ අකටයුත්තක් ගැන ය. කවුරුන් හෝ කරන වැරැද්දක් ගැන ය. එය කාට හෝ විරුද්ධව, චුදිතයා විසින් කරන යම් කටයුත්තක් අරබයා ද විය හැකි ය. ආයතනයට එරෙහිව කරන කටයුත්තක් ද විය හැකි ය.

ඒ නිසාම එවැන්නක් පිළිබඳව තමන් දැනුවත් වූ පසු එය අදාළ පුද්ගලයාට කියා නිදහස් වන තුරු බොහෝ දෙනෙකුට එය බරකි. අදාළ පුද්ගලයා තම හිතවතෙකු නම්, ආයතනයේ නායකයා තම හිතවතෙකු නම්, ඇතැම් විට එසේ නොකියා සිටීමෙන් ඔහුට හෝ ඇයට කරන්නේ නපුරක් කරන්නේය යන සිතිවිල්ල හිතට කරදර කරයි. ඒ නැතත් නිරපරාදේ අමාරුවේ වැටෙන්නට යන මිනිසෙකුට උදව් වීම, කේලාම් කීම හරහා වුව උදව්වීම, නපුරක් හැටියට ගැනෙන්නේ නැත. ඒ නිසා, ආගම ධර්මයේ කෙසේ කියා තිබුන ද, කේලාම් කීම හැම විටම නරක දෙයක් ලෙස බොහෝ අය විසින් සළකන්නේ නැත.

කේලාම් ඇහීම ද මේ හේතුව නිසා ම වරදක් හැටියට නොසැළකේ. කේලමකින් සපයන්නේ තොරතුරකි. තීරණ ගැනීමට තොරතුරු හැකිතාක් දැන ගෙන සිටීම අවශ්‍ය ය. ඒ තොරතුරුවල විශ්වාසනීයත්වය සැක සහිත වුව ද එය නැවත පරීක්ෂා කිරීමෙන් පසු පමණක් භාවිතා කළ යුතු වුව ද පළමු වටයේ එයින් වැසුණු දොරක් විවර කෙරෙන නිසා වැදගත් ලෙස සැළකෙන්නේ ය.

කාට හෝ විරුද්ධව කරන යම් අකටයුත්තක්, ඒ පුද්ගලයාට, කියා සිටීම කේලමකි. එයම තැන තැන කතා කරන විට එය ඕපාදූපයක් බවට පත් වේ. කේලාම් වල මූලාශ්‍රය ඇතැම් විට මෙසේ කටින් කට යන ඕපාදූපයක් ද විය හැකි ය. ඒ වුනාට එසේ ඇහිඳ ගත් තොරතුර කේලාම් කියන්නා ඇතැම් විට වචනයට නගන්නේ තමන් ම ඇසින් දුටු, තම කණටම ඇහුණු, දෙයක් හැටියට ය. බොහෝ කේලාම් භයානක වන්නේ ඒ නිසා  ය. ඒ තුළ ඇත්තේ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නය ය.

කළමනාකරණ සාහිත්‍යයේ ආයතනය තුළ සැරිසරන ඕපාදූප හැඳින්වෙන්නේ grape vine යන නාමයෙනි. විවෘත සන්නිවේදනයකට ඉඩක් නැති, එවැන්නක් සිදු නොවන, ආයතන වල ඕපාදූප වලට වැඩි තැනක් ලැබෙන්නේ ය. එය නිල මාධ්‍ය තොරුතුරු වාර්ථා කිරීම මග හරින විට මූණු පොත එහි තැන ගන්නවා වැනි ය. ඒ නිසා ම කේලාම් ද වැඩි ඉඩක් එවැනි ආයතන තුළ ලබා ගන්නේ ය.

කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් කුමන අස්ථානයක් ගත යුතු ද? ඔහු / ඇය කේලාම්වලට ඇහුම් කන් දිය යුතු ද? ඒවා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක් ද? අද ලිපියට විෂයය වන්නේ ඒ ප්‍රශ්නයන් ය.

තොරතුරු, තීරණ ගැනීම සඳහා අවශ්‍ය ය. ඒ නිසා කේලාම් වලට ඇහුම් කන් නොදී සිටිය යුතු නැත. එහෙත් අවශ්‍ය නිකම් තොරතුරු නොවේ. අප කලින් ද සඳහන් කළ පරිදි විශ්වාසනීය තොරතුරු ය. ඒ නිසා ම විශ්වාසනීයත්වය තහවුරු කරගන්නා තුරු කේලමක් සැළකිය යුත්තේ බොරුවක් ලෙස ය. ඒ නිසා සාක්කි සෙවිය යුත්තේ කේලමේ සඳහන් දේ බොරුවක් බව ඔප්පු කිරීම සඳහා ය. එසේ නොවුනහොත් වෙන්නේ වැඩි දුර සොයා බැලීමකින් තොරව කේලමට හසු වීම ය.

අප එසේ කියන්නේ අපට බොහෝ විට හමුවන්නේ අප සොයන පැත්ත සනාථ කරන සාක්කි නිසා ය. අනෙත් පැත්තට සාක්කි සෙවිය යුත්තේ ඒ මානසික අගතියෙන් ගැලවීමට ය. උගුලට අසු නොවී සිටීමට ය.

කේලාම් කියන තැනැත්තා මුලින් කරන්නේ “සත්‍යය කේලාම්“ කීම ය. අප විසින් සාක්කි සොයා යෑමේ දී ඔහු/ ඇය නිවැරදි බව පෙනෙයි. දැන් මුල් වටය අවසන් ය. ඒ විශ්වාසය ගොඩ නැගීමේ වටය ය.

දෙවැනි වටයේ කේලාම්වල ඇත්තේ අර්ධ සත්‍යයන් ය. ඒවා ද අර්ධ ලෙස හෝ සනාථ වන නිසා අනෙක්වා නොසොයාම සම්පූර්ණ කතාව නායකයා විසින් පිළිගැනීමට ඉඩ තිබේ.

විශ්වාසය තහවුරු වූ විට පට්ටපල් බොරු ද කේලාම් ලෙස ලැබේ. ඒ එළැඹ ඇත්තේ තුන්වෙනි වටයට ය. දැන් උගුලට අසු වී අවසන් ය. ඒ නිසා ඒවා බොහෝ විට සොයා බලන්නේ නැතිවම පිළිගැනේ. ඒ මත පදනම් ව ගන්නා තීරණ වලින් සිදු වන්නේ වෙනදා හිතවත් වූ අය ද සතුරන් වීම ය. කේලම්කරුවන් ගෙතූ කතාවේ විදිහට, බොරුවට නොව, ඇත්තටම, නායකයාට විරුද්ධව යෑම ය. ඒ හරහා කේලාම් කියන්නා පමණක් අවසානයේ ජය ලැබීම ය.

ඇතැමුන් ඇතැම් විට කේලාම් කියන්නට පටන් ගන්නේ නායකයාට, ආයතනයට, ඇති හිතවත් කමට ය. එහෙත් ඒවා නායකයා නොවිමසා ම පිළිගන්නා බව පෙනෙන විට, ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කේලම්කරුට සිතුනොත් ඒ ගැන පුදුම විය යුතු නැත. පළමුව, තමන්ගේ විරුද්ධ කාරයින්ගෙන් පලිගන්නට කේලම්කරු විසින් මේ නව අවස්ථාව ප්‍රයෝජනයට ගැනේ. දෙවනුව, නායකයාට ඇති හිතවත් කම, ඔහු/ඇය යටත් කර ගැනීමක් දක්වා ද, නායකයා තමන්ගේ පදයට නටන රූකඩයක් බවට පත් කර ගැනීම දක්වා ද, වශයෙන් තවත් අදියර කීපයක් ඉදිරියට යා හැකි ය.

ඇතැම් විට සිදුවන්නේ කේලම් කරුවා බොරු කාරයෙකු බව තේරුම් යන විට සෙසු සියල්ලන් හතුරන් බවට නායකයා විසින් පත් කර ගෙන තිබිම ය. අවසානයේ කිසිවෙකුත් ඔහුට නැති වීම ය. ඔහු තනි වීම ය.

නායකයා / කළමනාකරුවා සතුව තොරතුරු ලැබෙන මූලාශ්‍ර එකකට වැඩි ගණනක් තිබිය යුතුවා පමණක් නොව ඔහු තොරතුරු ලබා ගැනීම සඳහා ස්වාධීන උත්සහයන් ද දැරිය යුතු වන්නේ ඒ නිසා ය.

අසන කේලාම් වලින් පූර්ව නිගමනයන්ට බසින්නේ නැතිව, ඒ මත පදනම්ව චුදිත පාර්ශවයට චෝදනා එල්ල කරන්නේ නැතිව, ඒක පාර්ශවිකව තමන් තීන්දු වලට බසින්නේ හෝ දඩුවම් නියම කරන්නේ නැතිව, විවෘත මනසකින් චුදිත පාර්ශවයට සවන් දිය යුත්තේ ඒ නිසා ය.

ඕනෑම කතාවකට පැති කීපයක් තිබේ. කේලමෙන් කියවෙන්නේ එක පැත්තකි. ඉතිරි පැති නැතිව සම්පූර්ණ කතාව බලා ගත නොහැකි ය. කියවා ගත නොහැකි ය.

චෝදනා එල්ල කරන පුද්ගලයාත්, චුදිතයාත්, ගැන නම් වශයෙන් සඳහන් කරන්නේ නැතිව කතාව ගැන තෙවැනි පාර්ශවයන්ගෙන් විමසිය හැකි ය. එවිට පැති දෙකක් නොව තුනක් හතරක් ම නිරාවරණය කර ගත හැකි ය.

බොහෝ නායකයන්ට මේ ඉවසීම නැත. ඔවුන් බොහෝ දෙනෙකු කතාවේ බාගයක් යන විට පරල වන ජාතියේ අය ය. බාගයක් අසන, කාලක් තේරුම් ගන්නා, බිංදුවක් හිතන, දෙගුණයක් ප්‍රතිචාර දක්වන අය ය. අවසානයේ ඔවුන්ට සිදු වන්නේ දහ ගුණයක් පසුතැවිලි වීමට ය.

2 thoughts on “කේලාම් කීම හා ඇහීම

  1. Deshapriya K L A.S says:

    මම ඔබට අවස්ථා දෙක තුනක්ම කේලාම් කියා ඇතිදැයි මට සිතේ. ඒවා කේලම් ද මම නොදනිමි. ඔබ සී එච් පී බී හි පළමු නිලධාරි රැස්වීම පවත්වන්නේ මගේ කේලමකට අනුවය. ඒ කේලම කියු දිනම වීම ද සුවිශේය. පොඩි අයගේ අදහස් වලට ඔබ ගරු කල බව මට හැඟේ. නාන කාමරයක හතරස් මුළු සුද්ද කිරීමේ අපහසු තාවය සනීපාරක්ෂක කම්කරුවකු කියු විට කළමනාකරණය එයට ඇහුම්කම් දී එම මුළු සුද්ද කිරීමට පහසු වන ආකරයට සැකසු බව කීවේ ඔබමය. ඔබද අප කියු දෑ වලට අහුන්කන් දුන් බව මතකය. ඒවා කේලම් ද කියා අදත් නොදනි. ඒවා මොනවා වුවත් කළමනාකරණය ඒවා තේරුම් බේරුම් කර ගන්නවා නම් ප්‍රශ්නයක් නොවන බව මේ බ්ලොක් අඩවිය කියු විට මට හැඟි ගියේය. – දේශප්‍රිය (සී. එච්. පී .බී එදා)

    • දේශප්‍රිය, ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. කෙනෙකු කේලමක් කියන්නට හේතු ගණනාවක් තිබෙන්නට පුළුවන. නරකම එක හිතා මතා බිඳ වීමට ය. ඇතැම් විට තමන්ගේ ආයතනය තුළ තමන් හිතට වද දෙන යමක් තිබීම ද ඒ සඳහා හේතු වන්නට පුළුවන. ඔබ කියූ බොහෝ දේ වැටුනේ ඒ ගණනට ය. එවැනි මතවාදයන් තවදුරටත් පිරික්සා බැලීමට කළමනාකරුවෙකුට උදව් වන්නේ ය. එහෙත් කළමනාකරුවෙකු නොකළ යුත්තේ එය සම්පූර්ණ හා එක ම සත්‍යය ලෙස නොගැනීම ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s