ප්‍රතිරූප වන්දනාව


Nordic Sami people worship of Stupa resembling statues on ...

ඕනෑ ම ආයතනයක, රටක, පරපුරක ඉතිහාසය තුළ ඒ ආයතනයට, රටට, පරපුරට අතිශය බලපෑමක් කළ සුවිශේෂී පුද්ගලයන්, සෙසු අය සමග සන්සන්දනයේ දී දැවැන්තයින් යැයි කිව හැකි පුද්ගලයින්, කෙටියෙන් කියන්නේ නම් වීරයන්, සිටිය හැකි ය. එවැනි දැවැන්තයින් දේවත්වයෙන් සළකන්නට, ඔවුන් පරමාදර්ශයන් ලෙස සළකන්නට, ඒ නිසා ම ආයතනයක්, රටක්, පරපුරක් ඉදිරිපත් වීම ස්වභාවික ය. සාධාරණ ය.

ඒ උදෙසා ඉතිහාසය හදාරන්නටත් පරපුරෙන් පරපුරට ඒ දැවැන්තයින් පිළිබඳ සිත් කාවදින කතා වෘත්තාන්තයන් සේ ගෙන යෑමටත් ඔවුන් නිරන්තරයෙන් සැමරිමටත් ඒ හරහා එම ප්‍රජාවට කණ්ඩායමට ශක්තියක් බලයක් ලබා දීමටත් කටයුතු කරනු ලැබේ.

අපේ ඉතිහාසයට අදාළව නම් රාවණා, මහ පැරකුම්බා, මහසෙන්, වළගම්බා, ධාතුසේන, දුටුගැමුණු, එවැනි වීරයන් ය. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, තොටගමුවේ රාහුල හිමි එවැනි වීරයන් ය.

මිනිසුන් දිරිගන්වන සුළු එවැනි වීරයන් සිටීම ඒ නිසා ම ආශිර්වාදයකි.

මේ චරිත වඩාත් ආකර්ෂණීය කිරීම උදෙසා වරින් වර බොරු ද එකතු කරනු ලැබේ. ඒ සියල්ලෙහි අදහස ප්‍රබල ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම ය. වන්දනා කිරීමට සුදුසු තත්වයට වීරයා පුම්බා උඩට ගැනීම ය.

ඇතැම් ආගමික ඉගැන්වීම් වල ශාස්තෘන් වහන්සේලාට ඉන්ද්‍රජාලික හැකියාවන් මවන්නේ ද එසේ උත්කර්ෂයට නැංවීම උදෙසා ය. ප්‍රතිරූපයෙන් වැඩි වැඩක් ගත හැක්කේ අමු අමුවේ චරිතය ඒ ලෙස ඉදිරිපත් කිරීමෙන් නොවේ. ඒ චරිතයට අදාළ නැති ගුණාංග හා හැකියාවන් ද ඊට එක් කිරීමෙනි. ඒ සියල්ලේ අවසාන අපේක්ෂාව වන්දනා කිරීමට සුදුසු තත්වයට විරයා ගෙන ඒම ය.

මේ අපේ ගමේ රටේ සාමාන්‍ය මළ ගෙයක වුව ද අපට අත්විඳිය හැකි කාරණයකි. මැරුණ මිනිසා ජීවත්ව සිටිය මිනිසාට වඩා බොහෝ සෙයින් යහපත් ය. දක්ෂ ය. මිත්‍රශීලී ය. ඒ ගැන කියන කතාවලින් එකිනෙකා පරයා සිය මිත්‍රයා ඥාතියා උඩ දමන්නේ ඒ ප්‍රතිරූපය ගොඩ නැගීම උදෙසා ය. මිය ගොස් ඇත්තේ වචනයේ අර්ථයෙන්ම සත්පුරුෂයෙකි.

ආයතනය ආරම්භ කළ තැනැත්තා, ආයතනය නව මානයකට ඔසවා තැබූ තැනැත්තා ලෙස විවිධ අවස්ථාවල ආයතනය වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් කළ වීරයෝ ආයතනයකට ද සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් වන්දීනය තත්වයේ ලා සළකන්නට ද ඒ සඳහා ඒ තැනැත්තාගේ ප්‍රතිරූපය පුම්බන්නට ද ආයතනයේ කළමනාකාරිත්වය වග බලා ගනිති. එයිනුත් නොනැවතී ඔවුන්ගේ පිළිරූ පවා ආයතන පරිශ්‍රයේ තබන්නට කටයුතු යෙදේ.

ඩී එස්, බණ්ඩාරනායක, ප්‍රේමදාස, එන් එම් පමණක් නොව ඩ්ඒ රාජපක්ෂ ද ප්‍රතිමාවක් බවට පත් වී රට තුළ විවිධ තැන් හි ස්ථාන ගත වන්නේ ඒ අනුව ය. ඒ බුදුන් හා ජේසුස් යන ආගමික නායකයන්ගේ පිළි රූ වලට අමතරව ය.

ප්‍රශ්නය ඇතිවන්නේ ආගමික වටපිටාවක දී මෙන් ම මෙහි දී ද මේ වීරයාගේ ප්‍රතිපත්ති හා දැක්මට දිව්‍යමය බවක් ලැබීම නිසා ය. ඔහුගේ ප්‍රකාශ සර්වකාලීන ලෙස සැළකීම නිසා ය. ඔහු කළ වැඩ එලෙසම කර ගෙන යෑමටත් ඔහු කී දේ එලෙසම පිළිගැනීමටත් පේවීම නිසා ය.

ඒ නිසා ආගමක් මෙන් ම ආයතනයේ දර්ශනය ද වැඩ පිළිවෙලවල් ද කාලානුරූප වෙනස් නොවී එලෙසම පවතින්නට ඉඩ තිබෙන්නේ ය.

ආගමකට මෙය වැඩිමනත් ලෙස බල නොපාන්නේ ආගමේ වපසරිය මේ ආත්මයට නොව එළඹෙන ආත්මයට බොහෝ තැනක සීමා වෙන නිසා ය. ඒ නිසා ම කරන කියන දෙයෙහි හරි වැරැද්ද අපට විමසීමට මේ ආත්මය තුළ ඉඩක් අවස්ථාවක් නැත. ආයතනයක තත්වය ඊට හාත් පසින් ම වෙනස් ය. ඒ නිසා ම ආගමකට දැරිය හැකි අවදානමවත් ආගමික නොවන ආයතනයකට ගත නොහැකි ය. එය ඊළග භවයේ නොව මේ භවයේ ම ඊළඟ මොහොතේ සිට එය කරන කියන දෑ පරීක්ෂාවට ලක් වන නිසා ය.

ඒ නිසා ම ආයතන තුළ ප්‍රතිරූප වන්දනාව නොකළ යුතු ය. ඉතිහාසය තුළ කිසිවෙකු හෝ කළ මැදිහත් වීම ඒ යුගයට සාපේක්ෂව මිස සර්ව කාලීනව අදාළ වන දෙයක් ලෙස නොගත යුතු ය. එසේ ප්‍රතිරූප ගත වන චරිතයක දැක්ම විචාරය කරන්නට ඉඩක් ආයතනයට තිබිය යුතු ය. ප්‍රශ්න කරන්නට ඉඩක් තිබිය යුතු ය. එවන් චරිතයක දැක්ම ආයතනයක ඉදිරිමග අවුරා නැගෙන හෙවනැල්ලක් වීමෙන් වළක්වා ගත යුතු ය.

මාඕ සේතුං චීනයේ ගොඩ නැගුණු එවැනි දැවැන්ත ප්‍රතිරූපයකි. මාඕ සේතුංගේ ප්‍රතිරූපය විසින් චීනය මත හෙලා තිබූ හෙවනැල්ල ඉවත් කිරීම ඔහුගේ මරණයෙන් පසු ද පහසු වූයේ නැත. ඩෙන්සියාඕ පිං ඒ විසින් ඒ හෙවනැල්ල ඉවත් නොකරන්නට චීනය අතීතය තුළ හිර වී ඝණීභවනය වන්නට ඉඩ තිබුනේ ය. උතුරු කොරියාව තවමත් කිම්ඉල්සුංගේ හෙවනැල්ල යට අතීතය තුළ හිර වී ඇති රටක් ව ඇත්තේ ඒ නිසා ය.

ප්‍රතිරූප හදා ගත්තාට පසු ඒවාට වන්දනා මාන කරන නිසා ම ඒවා ගලවා දැමීම අමාරු ය. ඒවා දෙස මැදිහත් සිතින් බැලීම අපහසු ය. ඒ නිසා වඩා වැදගත් වන්නේ ඒවා නොසාදා ඉන්නා එක ය.

එසේ වුව ද වටිනාකමක් නැති බොහෝ මිනිසුන් තමන්ගේ වටිනාකම ගොඩ නගා ගන්නේ ප්‍රතිරූප පිම්බීමට ඔවුන් දරන දායකත්වයෙනි. ඒවා උස්සාගෙන කර ගසා ගෙන සිටීමෙනි. ඒ නිසා මේ කටයුත්ත අමාරු ය. වීරයාගේ ලේ උරුමකාරයන් සිටිනවා නම් ඒ වැඩේ තවත් අමාරු ය. ඒ තම ඥාතියාගේ කීර්ති කදම්බයෙන් තමන්ට ගොඩ යෑමට ඉඩක් සාදා ගත හැකි යැයි ඔවුන් වෙසෙසින් සිතන නිසා ය. සෙසු අය ද ඔහුට / ඇයට අනුබල දෙමින් ඒ හරහා එම උරුමයට පංගුකාරයන් වීමට කැස කවන නිසා ය. උතුරු කොරියාවට අද සිදු ව ඇත්තේ එය ය.

ලේ උරුමක්කාරයින්ට අමතරව මතවාදයක උරුමක්කාරයින් ද මතවාදයේ ආදි කර්තෘන් වන්දනාවේ යෙදීම ස්වභාවය ය. මාක්ස්ගේ ලෙනින්ගේ අනුගාමිකයන් ඔවුන්ගේ එම මතවාදයන්ගේ නායකයින්ගේ ප්‍රතිරූප වන්දනාවේ යෙදෙන්නේ ඒ බව අපට කියන්නට ය. බොහෝ රටවල අත්දැකීම් අපට කියන්නේ මේ අනුගාමිකයන් බොහෝ දෙනා මේ ප්‍රතිරූපවලට මුවා වී ජනතාවගේ ඇස් වලට වැලි ගැසූ බව ය. ඔවුන්ව මුලා කළ බව ය.

කළමනාකරණ ගුරුවරුන් ද සිටින නිසා කළමනාකරුවන් ද ඒ ගුරුවරුන්ගේ ඉගැන්වීම් දෙස විචාරශීලිව බලන්නට අමතක නොකළ යුතු ය. පරිසරය වෙනස් වන නිසා ම ඒ පැරණි ඉගැන්වීම් වල වලංගු භාවය ප්‍රතිරූපයන්ගෙන් අන්ධ නොවී විමසිය යුතු ය. නැතිනම් සිදු වන්නේ හිර වීමට ය. නොගැලපෙන අතීතයක් තුළ හිර වී ඝනීබවනය වීමට ය. ඒ හරහා අතීතයට එක් වීමට ය. ආයතනය ද සමග අතීතයට එක්වීමට ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s