දේශපාලනික නායකයා සහ ආයතනික නායකයා


 

රට තුළ පමණක් නොව, ආයතනයක් තුළ ද, දේශපාලනඥයෝ ද නායකයෝ ද යනුවෙන් ප්‍රධානීන් දෙවර්ගයක් සිටිති. ඒ ඇතැම් ආයතනයක නායකත්ව තනතුර දරන්නන් ද දේශපාලනඥයින් මෙන් ම හැසිරෙන නිසා ය. ඔවුන් ආයතනය තුළ “ආයතනික දේශපාලනයේ“ නියැලෙන නිසා ය. බල මුළු රැස් කිරීමක යෙදෙන නිසා ය. තමන්ගේ සහචරයන් පිරිසකගේ රැකවරණය යටතේ, ඔවුන් යොදා ගනිමින්, ඔවුන්ට විශේෂ අනුග්‍රහ ලබා දෙමින්, ආයතන පාලනය කරන නිසා ය. පුද්ගලයින්ට අනුග්‍රහයන් සැපයීම හරහා ඔවුන් දිනා ගෙන තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ යෙදෙන නිසා ය.

එවැනි නායකයින් නොනායකයින් වගේ ය. ඔවුන්ට ආයතනයේ නීති රීති, ප්‍රතිපත්ති හෝ ආචාර ධර්ම අදාළ නැත. පුද්ගලයින් හිත දිනා ගෙන සිය බල අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඒ සියල්ල නවන්නට ඔවුන් සූදානම් ය.

ළමුන් වඩා ගෙන හුරතල් කරන, ආච්චි අම්මලා සමග තොඳොල් වන, දේශපාලන නායකයන් තරමට ම ඔවුන් ද මිනිසුන් හා කුළුපග ය. බොහෝ විට සෙස්සන් අමතන්නේ නෑකමක් දක්වමිනි. පුතා, දුව, අයියා, මල්ලී ඒ නෑකම් අතර ප්‍රධාන ය.

සුදුසු නොවෙතත් ජනප්‍රිය තීරණ ගැනීමට ඔවුන් සූදානම් ය. බුදු පිළිම ආයතන ඉදිරිපසට වඩම්මන්නේ, දානමාන පිංකම් කරන්නේ, මහපිරිත් සංවිධානය කරන්නේ, මහා දන්සැල් සංවිධානය කරන්නේ, උත්සවාකාරයෙන් ගවයන් නිදහස් කරන්නේ ඔවුන් ය. වෙන කිසිම වැඩකට නොදෙන ප්‍රමුඛත්වයක් ඔවුහු මෙවැනි වැඩ වලට දෙන්නෝ ය. වෙනත් වැඩකදී මුදල් ගැන දහවතාවක් හිතන මොවුහු මෙවන් වැඩ සඳහා ලෝස් නැතිව වියදම් කරති. ඔවුහු හැමවිටම පාහේ ජාතියේත් ආගමේත් ආරක්ෂකයින් හැටියට පෙනී සිටිති.

හැම දෙනෙකුම සතුටින් තැබීම එවැනි අයගේ අරමුණ ය. තමන්ගේ න්‍යාය පත්‍රය හොඳින් ක්‍රියාත්මක කළ හැක්කේ මිනිසුන් සතුටින් සිටින විට ය. ඔවුන් තුළ විරෝධයක් පාන්නට ආත්ම ශක්තියක් නැති කළ විට ය. ඒ සඳහා සෙසු මිනිසුන් කුඩු කෑ මිනිසුන් බවට පත් කිරීමට ද එවැනි නායකයින්ට වුවමනා ය. ඊට පසු කුඩු කෑ මිනිසුන්ගේ ලිපි ගොනු නැතිනම් ජනප්‍රිය ව්‍යවහාරයේ එන ෆයිල් තමන්ගේ භාරයට ගෙන ඔවුන් ඒ නාස් ලණුව හරහා පාලනය කිරීමේ කලාව එැවැන්නන් විසින් ප්‍රගුණ කොට තිබේ.

තමන් ළඟ බෙහෙතකටවත් සොයා ගත නොහැකි ගුණ හා යහපත් චර්යාවන් ඔහු වර්ණනා කරන්නේ අසන්නන් පුදුමයට පත් කරවමිනි. ඔහු බිණිමේ දක්ෂ ය. බණ කිීමේ දක්ෂ ය. බොරු කීමේ දක්ෂ ය. මේ කතා කරන්නේ වෙනත් පුද්ගලයෙකු යැයි සිතන තරමට තමන් ළඟ නැති දේ ඇතැයි කීමට ඔහුට පුළුවන. කළ දේ නැතැයි කීමට පුළුවන. නොකළ දේ කළේ යැයි කීමට පුළුවන. එය කොතරම් ඒත්තු යන විදිහට කියන්නේ ද යත් අසා සිටි අයට ඔහු ගැන නොව, තමන් මෙතෙක් ඔහු ගැන දැන සිටි අසා සිටි දේ ගැන, සැක මතු වන්නේ ය.

එවැනි නායකයෙකුගේ අගැයිමට වඩාත් ලංවන්නේ පෞද්ගලිකව ඔහුට පක්ෂපාතිත්වය පල කරන්නන් ය. ප්‍රශස්ති ගි ගයන්නන් ය.

ඒ නිසා ම සෙසු අය, විශේෂයෙන් ආයතනයට සැබෑ දායකත්වයක් දක්වන අය, අධෛර්ය වන්නෝ ය. ඇතැම් අය වෙනත් ආයතන සොයා ගන්නා අතර විවිධ හේතු නිසා එසේ කිරීමට නොහැකි අයට ඔහුට ගොට්ට ඇල්ලීමට බල කෙරෙන්නේ ය. ඒ දෙවර්ගයේ ම පියවර ආයතනය දුර්වල කරන්නේ ය. එහෙත් ඔහුට ඒ පිළිබඳ වගේ වගක් නැත. තමන් එලා ඇති දැල නිසා ම තමන් ඉවත් කිරීම පහසු නොවන බව ඔහු දන්නේ ය. ඒ නිසා ම තවත් කාලයක් ඔහුට ඉඩ හැරීමට අයිතිකරුවන්ට හා පාර්ශවකරුවන්ට සිදු වන්නේ ය.

ආයතනය පමණක් නොව ලෝකය ම කැරකෙන්නේ ඔහු වටා බව ඔහු විසින් හඟවනු ලබන්නේ ය. ඒත්තු ගන්වනු ලබන්නේ ය. ඔහු වටා කතා ගොතා ගැනීමට ද ඔහු විසින් වග බලා ගන්නේ ය. ඒවා සුපර්මෑන් වර්ගයේ කතා ය. ඒ කතා තුල අනභිබවනිය විරයා ඔහු ය.

දෙවැනි පෙලක් නොහැදීමට ඔහු වගබලා ගන්නේ ය. දෙවැනි පෙල තුළ නායකත්ව භූමිකා රඟ පාන්නට දක්ෂ අය සිටිතොත් ඔවුන්ගේ කැපවීම වැඩිමනත් ලෙස ඉල්ලා සිටිනු ලබන්නේ ය. ඒ සඳහා ඔවුන්ගේ තටු කපා දැමිමට ද නායකයා අවසර පතන්නේ ය. නැතිනම් ඔවුන් හෙමින් ම ඉවත් කර දැමීමට වග බලා ගන්නේ ය. වැඩෙන්නට හිරු එලිය මේ රූස්ස ගහ යට නැති වුව ද ඒ ගස යටින් ඉවත් විමට පැල වලට බැරි වන සේ ඔහු විසින් වග බලා ගෙන තිබෙන්නේ ය.

යම් හේතුවක් නිසා දඩුවම් කරනු ලැබ, මෙවැනි නායකයෙකු ආයතනයෙන් ඉවත් ව ගිය ද ඔහු දිගින් දිගට ඊට බලපෑම් කරන්නේ මිය ගිය කෙනෙකු අවතාරයක් වී ගෙදර සියල්ල උඩු යටිකුරු කරන ආකාරයට ය. ඔහු ව නැවත ගෙන්වා ගැන්වීමට අවශ්‍ය කරන වාතාවරණය තම හිතේෂීන් ද සමග එක්ව ගොඩ නගා ගැනීමට, ඔහු ඉවත් කර දා සිට, ඔහු කැස කවන්නේ ය.

මේ හේතු නිසා දේශපාලනඥයෙකු ලෙස හැසිරෙන්නට නායකයෙකු සූදානම් වූ සැනින් ඔහු පාලනය කිරීමට ආයතනයේ අයිතිකරුවන් විසින් කටයුතු කළ යුතු ය. නැතිනම් සිදු වන්නේ ආයතනය ඔහුට ම පවරා අත පිස දා ගන්නට ය.

නායකයෙකු දේශපාලනඥයෙකු ලෙස කටයුතු කිරීමේ අනතුර එකකි. දෙවැනි පෙල නායකයෙකු දේශපාලනඥයෙක් වී නිල නායකයාට අභියෝගයක් වීම තව එකකි. දෙවැනි වර්ගයේ කෙනෙකු නිල නායකයා ඉවත් කිරීමට සිය “දේශපාලන“ ශක්තිය යොදන්නට ඉඩ තිබෙන නිසා ය. ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසු අප කී සියල්ල සිදු විය හැකි නිසා ය.

මේ හේතු ද්විත්වය ම නිසා “ආයතනික දේශපාලනය“ බැහැර කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නීති රීති ඇතුළට ගෙන ආ යුතු ය. ඒවා නමන්නට ඉඩක් නොතැබිය යුතු ය. ඒ සඳහා විමසීමෙන් සිටින දැනුවත් පිරිසක් ආයතනය තුළ ගොඩ නැගිය යුතු ය. එවැනි ප්‍රවණතාවයන් බැහැර කළ හැකි ලෙස ආයතනයේ ආචාර ධර්මයන් ශක්තිමත් කළ යුතු ය. එක් පුද්ගලයෙකු තුළ බලය ඒක රාශී නොවන පරිද්දෙන් බල තුලනයන් නිර්මාණය විය යුතු ය.

Advertisements