ටැබ් එකක් ද වැසිකිලියක් ද?


iRULU 16GB 7" Google Android 4.4 Quad Core 1024*600 HD Screen Tablet PC w/ Case | eBayපසුගිය දිනයක මිතුරෙකු මුහුණු පොතෙන් අසා තිබුනේ, කළ යුත්තේ පාසල් සිසුන්ට ටැබ් දීම ද නැතිනම් පාසලට වැසිකිලි පහසුකම් සපයා දීම ද යන ප්‍රශ්නය ය. මට මුලින්ම මතු වූ ගැටළුව වූයේ මේ දෙකින් එකක් තෝරාගත යුත්තේ ඇයි ද යන්න ය. ඒ දෙකම පාසලකට අවශ්‍ය යැයි මට හැඟුන නිසා ය.

කෙනෙකු මා වළකා අතුරු ප්‍රශ්නයක් නැගිය හැකි ය. දෙකකට මුදල් වෙන්කරන්නට ආණ්ඩුවට ශක්තියක් නැත්නම් ප්‍රමුඛතාවය දිය යුත්තේ කුමකට ද යන්න ය. බොහෝ තැනක සම්පත් සීමිත නිසා කළමනාකරුවෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා නොහැකි ය.

වැසිකිලි රහිත පාසල් තිබේ නම් ඒ දුෂ්කර පළාත්වල ය. වැසිකිළියක් ඉදිකර ගැනීම මෙතෙක් සිදු කර නැත්නම් එයට හේතු විය හැක්කේ ඒ සඳහා එහෙමට අවශ්‍යතාවයක් නොවීම ය. සමහර පළාත්වල මේ කටයුත්ත කර ගැනීමට සිසුන් පමණක් නොව වැඩිහිටියන් ද සරණ පතන්නේ ළග තියෙන කැලෑවක මුවාව ය. ඒ නිසා ඔවුන්ට වැසිකිලියක අවශ්‍යතාවය නගරයට තරම් නොදැනෙනවා විය හැකි ය. ඇතැම් තැනක මිනිසුන් සඳහා බාහිර ආයතන විසින් සාදා දුන් වැසිකිළි ඒ මිනිසුන් විසින් යොදා ගැනුණේ වටිනා දේ ආරක්ෂාකර ගැනීම සඳහා ඉබි යතුරු යොදා භාවිතා කළ හැකි ගබඩා කාමර ලෙස ය. එවන් වටපිටාවක වැසිකිළියක් එහෙමට ප්‍රමුඛතාවයක් වන්නේ නැත.

වැසිකිළි ප්‍රමුඛතාවයක් වන්නේ වැසිකිළි පහසුකම් නැති නිසා බෝවෙන රෝග පැතිරෙන්නේ නම් ය. එයින් අදහස් කරන්නේ ක්‍රමවත් වැසිකිළි ඈත පළාතක වුව ප්‍රවර්ධනය නොකළ යුතුය යන්න නොවේ. එය ඇතැම් තැනක කාලයක් තිස්සේ කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩ පිළිවෙලක එක අංගයක් විය යුතු බව ය.

මේ සියල්ල දැක් වූයේ ප්‍රමුඛතාවය පිළිබඳ තීරණයක් ගැනීමේ දී සන්දර්භය විමසිය යුතු බව කියන්නට ය.

මා වෙත දමා ගැසූ ප්‍රශ්නය වූයේ මේ දෙකින් තෝරාගත යුතුවන්නේ කුමක් ද කියා ය. මට වෙනත් අදහසක් පල කරන්නට ඉඩක් ඒ ප්‍රශ්නය තුළ නැත. ඇත්තේ දෙකින් එකක් තෝරා ගන්නට ය.

වරෙක දුර ගමනක් ගිය අවස්ථාවක, මගේ රියැදුරු මහතාට මුදල් දී, රාත්‍රී කෑම සඳහා, ඔහුටත් මටත් කන්නට යමක් ගෙනෙන ලෙස මම කීවෙමි. ඔහු පෙරලා මගෙන් ඇසුවේ අවශ්‍ය ෆ්රයිඩ් රයිස් ද බුරියානි ද කියා ය. මට වෙන විකල්පයක් ගැන සළකා බැලීමටවත් ඔහු ඉඩක් ඉතිරි නොකළේ ය. මූණු පොතේ මේ සංවාදය ආරම්භ කළ පුද්ගලයා ද මට කළේ ඒ සංග්‍රහය ම ය.

ඒ සීමාව දැක්වූයේ කළමනාකරුවෙකු විසින් ප්‍රමුඛතාවය ගැන තීන්දුවක් ගන්නේ නම් ඒ සඳහා තිබෙන සියලු විකල්පයන් සළකා බැලිය යුතු බව කියන්නට ය.

තෝරා ගන්නට ඉදිරිපත් කරන්නේ දෙකක් නම් ඔහු විසින් කළ යුතුව තිබුනේ සමාන විසඳුම් දෙකක් ඉදිරිපත් කිරීම ය. කළ යුත්තේ ළමුනට මුද්‍රණය කරන ලද පොත් ලබා දීම ද නැතිනම් ඒ සියල්ල ඇතුළත් ටැබ් එකක් ලබා දීම ද යන්න ය. ඒ දෙක එකම ප්‍රශ්නයකට ඇති විකල්ප විසඳුම් දෙකකි. එ දෙකින් එකක් තෝරා ගැනීමට කීමේ යම් සාධාරණත්වයක් තිබේ. එකක් දෙන්නේ නම් අනෙක සැපයීම අවශ්‍ය නොවන හෙයිනි.

මේ ප්‍රශ්නය පැන නැංගේ ම වැසිකිළි ගැන ප්‍රශ්නයක් තිබුනු නිසා ම නොව අඩු පහසුකම් ඇති පාසලකට ටැබ් දීමේ තේරුම කුමක්දැයි යන සාධාරණ ප්‍රශ්නය කෙනෙකු තුළ පැන නැගි හේතුවෙන් විය යුතු ය. එහෙත් ටැබ් දෙන්නේ වැසිකිළි ප්‍රශ්නයට උත්තර ලෙස නොවේ. මුද්‍රණය කරන ලද පොත් වෙනුවට ය. ඒ නිසා ඒ ටැබ් දීම හරහා මුදල් ඉතිරි කර ගැනීමට ද වඩා හොඳ අධ්‍යාපන අමුද්‍රව්‍ය සැපයීමට ද ඒවා ඉතා ඉක්මණින් යාවත් කාලීන කර බෙදා හැරීමට ද ඉඩ විවෘත වන්නේ ය. ටැබ් ද වැසිකිළි ද යන ප්‍රශ්නය නැගීමෙන් සිදු වන්නේ ඒ පැති කඩ කෙනෙකුට මග හැරී යෑම ය. ඇතැම් විට ප්‍රශ්න නගන්නාගේ උත්සහය ද එය ම විය හැකි ය.

මේවා කළමනාකරුවන්ට හොඳ පාඩම් ය. ඒ කියන්නේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට ඉක්මන් වීමට පෙර කළමනාකරු විසින් ඒ ප්‍රශ්න හරි හැටි තෝරා බේරා ගත යුතු බව ය. එයින් ප්‍රශ්නය පමණක් නොව ප්‍රශ්නය නගන්නා ද තේරුම් කර ගත යුතු ය. එසේ නොකොට ප්‍රශ්නවලට උත්තර දීමට යෑම තේරුමක් නැත.

ඉදිරිපත් කරන ප්‍රශ්නය විසින් මග හැර යන, අමතක කරන්නට බල කෙරෙන, ප්‍රශ්නය කුමක් දැයි ඔහු /ඇය විසින් සොයා බැලිය යුතු ය.

ඇතැම් විට කළ යුත්තේ ප්‍රශ්නය වෙනස් කර, ඒ අවස්ථාවට වඩා නිවැරදි හා සියලු පැතිකඩ ආවරණය වන ප්‍රශ්නය කුමක් දැයි සොයා එය මතු කර ගැනීම ය. ඒ හරහා හැමටම මුළු පින්තූරය දකින්නට අවස්ථාවක් දීමට ය. මතු කර ඇත්තේ  වැරදි ප්‍රශ්නයක් බව පෙන්වා දීම ය. උත්තර දිය යුත්තේ ඒ සියල්ලට පසු ය.

සිසුන්ට හා දෙමාපියන්ට දුෂ්කර වැසිකිළියක් සාදා ගැනීම ද ටැබ් ගැනීම ද? යන ලෙස මේ ප්‍රශ්නය නැවත සකස් කළොත් උත්තරය ටැබ් ගැනීම ය. වැසිකිළිය ගමේ සම්පත් වලින් පහසුවෙන් කර ගත හැකි ය. අවශ්‍ය නම් ටැබ් ලබා දීම සඳහා වැසිකිළියක් දෙමාපියන් හා සිසුන් එක්ව සාදා ගත යුතු යැයි නියමයක් වුව පන වන්නට පුළුවන. ඒ හරහා වැසිකිළියක් හදන්නට පෙළඹවීමක් වුව කළ හැකි ය.

මිනිසුන්ට උදව් කළ යුත්තේ ඔවුන්ට කළ නොහැකි කටයුතු කරන්නට ය. කළ හැකි දේ කිරීමට යෑමෙන් වන්නේ ඔවුන් අලසයන් වීම ය. ඔවුන් රජයෙන් යැපෙන්නන් වීම ය. කළ යුත්තේ ඔවුන් බලාත්මක කිරීම ය.

ඇතැම් විට ටැබ් එක හරහා ලෝකය දැකීමෙන් ඔවුන් විසින් ම වැසිකිළියක් හදා ගැනීමට පවා තීරණය කරන්නට පුළුවන. දියුණු වන ලෝකයට පිවිසෙන්නට වැසිකිළි භාවිතය ද අත්‍යවශ්‍ය බවට තර්කයක් නැත. එහෙත් එය ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා තාක්ෂණය, විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණය, අවශ්‍ය ය. ඒ ලෝකය නිපදවන නව දැනුම ද ලබා ගැනීමට ය. එසේ ලබා ගත් දැනුම මිනිසුන් බලාත්මක කරන්නේ ය.

ටැබ් ව්‍යාපෘතියට අවමන් කිරීම සඳහා වැසිකිළියක් ගෙන ඒමෙන් කරන්නේ ඇස්වලට වැලි ගැසීමකි. එය ඇතැම් විට දැන ගෙන විය හැකි ය. තවත් විටෙක නොදැන විය හැකි ය. පළමුවැන්න සැඟවුනු අරමුණකින් කරන විට දෙවැන්නා අහිංසක ලෙස ම ඒ ප්‍රශ්නය මතු කරනවා විය හැකි ය. එහෙත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ ඒ කරණ උත්සහයේ නොවේ. ඒවාට විමසුම් නුවණින් යමක් දෙස බැලීමට පුරුදු විය යුතු කළමනාකරුවන් ද හසු වීමේ ය.

ඒ නිසා ම මතු කරන ප්‍රශ්නයන්ට උත්තර දීමට පෙර ඒ ප්‍රශ්න විමසීමට කළමනාකරුවන් පුරුදු පුහුණු විය යුතු ය. එය අමාරුවෙන් අභ්‍යාස කළ යුතු දෙයකි. අප හුරු පුරුදුව ඇත්තේම ප්‍රශ්නයට ඉක්මණින් පිළිතුරු සැපයීමට මිස එය විමසීමට නොවන බැවිනි.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s