මකන කෑල්ල


Schools Around New York Watching Out For 'Eraser Challenge'

මකන කෑල්ල අවශ්‍ය වන්නේ වැරදි කරන මිනිසුන්ට යැයි මැක්ස් මුලර් නම් ජර්මන් විද්‍යාර්ථියා කියන විට, ඊට පිළිතුරු දෙන ස්වාමි විවේකානන්ද කියන්නේ, එය අවශ්‍ය වන්නේ තමන් වැරදි යැයි හැඟී ගිය විට ඒ බව පිළිගෙන නිවැරදි වීමට අවශ්‍ය මිනිසුන්ට කියා ය.

වැරදි කර නැති මිනිසුන් කිසි දිනෙක අලුත් කිසිවක් කර නැතැයි කීවේ අයින්ස්ටයින් ය. අලුත් යමක් පමණක් නොව තමන් කලින් කර ඇති දෙයක් වුව ද නැවත කිරීමේදී නොවැරදී කිරිම පහසු නැත. වැඩේ සමාන වුනාට එය කරන පසුබිම, සන්දර්භය හා එය කරන්නට තිබෙන තත්වයන් වෙනස් නිසා ය. ඒ අර්ථයෙන් ගත් විට අප කරන හැම දෙයක් ම අලුත් ය.

අලුත් යමක් කරන හැම විටම අසාර්ථක වීමේ, වැරදීමේ, අවදානමක් තිබේ. වැරදි යනු අප පදම් කරන අත්දැකීම් ය. ඉගෙනීමේ වැදගත් ම මෙවලම ය. එය මග හැර යා හැක්කේ කිසි දෙයක් නොකරන මිනිසුන්ට ය.

වැරදි නොකරන මිනිසුන් සොයා ගැනීම, නොමල ගෙයකින් අබ මිටක් සොයා ගන්නා වැනි, නොකළ හැකි කටයුත්තකි. ඒ නිසා ම මිනිසුන් සතුව මකන කෑල්ලක් තිබිය යුතු ය. මකන කෑල්ලක් තිබිලා මදි ය. මකන්නට අවශ්‍ය තැන මකන්නට ද සිත, කැමැත්ත, තිබිය යුතු ය.

මකනයක් ඇතත් මකන්නට සිතක් හදා ගැනීම බොහෝ දෙනෙකුට අමාරු ය. ඒ ලියා ඇත්තේ, ඇඳ ඇත්තේ, අමාරුවෙන් නිසා ය. එයට කාලයෙන් පමණක් නොව ශ්‍රමයෙන් ද ආයෝජනයක් කර ඇති නිසා ය. වෙහෙස මහන්සි වී ඇති නිසා ය. අත් හැරීම අමාරු යැයි බුදුන් වහන්සේ කීවේ ඒ නිසා ය. එය පුරුදු පුහුණු කළ යුතු දෙයක් ලෙස බුදු දහමේ දක්වා ඇත්තේ ද ඒ නිසා ය.

ඊට අමතරව මකන්නට යෑමෙන්, තමන් කර ඇත්තේ වැරැද්දක් යන්න ලෝකයා දැන ගැනීම ද, මකන්නට අදි මදි කිරීමට හේතුවකි. ඒ කියන්නේ මැකීමට හිත හදා ගැනීම සඳහා ලෝභයට අමතරව, මාන්නයෙන් ද අප නිදහස් විය යුතු බව ය.

එය අත් හැරීමට ද වඩා අමාරු ය. එයින් මානසික පසුබෑමක් ඇති වන නිසා ය. තමන් වැරදි කළ කෙනෙකු ලෙස හංවඩු ගැසෙන නිසා ය. ඒ නිසා ම බොහෝ අය කරන්නේ තමන් වැරදි බව දැන දැන, ඒ වැරැද්දම දිගින් දිගට කිරීම ය. ඒ වෙනුවෙන් පෙනී සිටිම ය. එසේ කරන අතරතුර එය වැරැද්දක් නොවන බව දහ අතේ කියා සිටිම ය.

ලංකාවේ මිනිසුන්ගේ වැඩි අවධානයට ලක්වන්නේ වැරදි ය. ඒ නිසා ම ඇතැම් මිනිසුන් ප්‍රසිද්ධිය සඳහා කරන්නේ ද වැරදි ය. ඒවා වැරදි බව පිළිගෙන මකන සිරිතක් ඔවුන්ට නැත. ඒ වෙනුවට ඒ වැරැද්දට අමතර වටිනාකමක් ඔවුන් විසින් දෙනු ලබන්නේ ය. ඒ හරහා වැරැද්දකුත් කර, කීර්තියත් දිනාගෙන, දිගටම ඒ වැරැද්ද නොමකා කිරීමට ලයිසමක් ද උන් ගන්නෝ ය.

වැරැද්ද, වැරැද්දක් ලෙස සමාජ ගත වුවහොත් දඩුවම් ලැබෙන්නේ ය. ඒ සියල්ල මකන්නට යෑමේ ප්‍රතිඵලය ය. නොමකා හිටියහ ම වැඩේ ඉවර ය.

බටහිර නත්තල් සීයා මෙන්, හොඳ ළමුන්ට තෑගි දීමට අප හදා වඩාගත් සමාන්තර චරිතයක් නැති නමුත්, නත්තල් සීයාට ප්‍රතිපක්ෂව, වැරදි කරන ළමුන් අල්ලා ගෙන, ගෝනියක දමා ගෙන යෑමට හැකි, ගෝනි බිල්ලෙක් අපට ඇත්තේ ඒ නිසා ය.

වැරදි නොකර ඉන්නවා නම් ලංකාවේ මිනිසුන්ට ඒ හොඳට ම ඇති ය. ගෝනි බිල්ලා ඉන්නේ වැරදි නැවත්වීමට ය. පන්සලට ගිහින් පොරොන්දු වන්නේ ද වැරදි නොකර සිටීමට ය. පන්සිල් පද පහම වැරදි නොකර සිටීමේ පොරොන්දු ය. වළකිමි කියා අවසන් කිරිමේ වාක්‍යය ය. යහපත් දෙයක් සඳහා දෙන පොරොන්දු එහි නැත.

අමතරව අපෙන් ඉල්ලා සිටින්නේ කීකරු කම ය. දානයට අමතරව එක ම යහපත් දේ ඒක ය. එයින් ද අදහස් වන්නේ වැරදි නොකිරිම ය. ඒ සඳහා නොවරදින ක්‍රියාමාර්ගය මුකුත් නොකර සිටිම ය.

පාසලේ ගුරුවරු පවා කියන්නට පුරුදුව හිටියේ හරි හැටි වහරන්නට බැරි නම් ඉංගිරිසිය කතා නොකරන ලෙස ය. හරියට වහරන අයට එහෙමකට තෑගි නැතත් වැරදියට වහරන අයට ඇණුම් බැණුම් නම් අඩුවක් තිබුනේ නැත. ඒ නිසා දෝ වැඩි දෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ලැබුනේ නැත.

වැරදි වලට ලැබුණේ බැණීම් නිසා වැරැද්දක් කළේ යැයි පිළිගන්නට අපට අමාරු වූයේ ය. ඒ නිසා මකනය භාවිතා කළ යුතු තැනක ද පසුබාන්නට අපට සිදුවන්නේ ය.

සමහරුන්ගේ අදහස් ලියා ඇත්තේ කළු ගලේ ය. ඒවා මකනයකින් මකන්නට බැරි ය.

වැල්ලේ ලියන අදහස් ද අප්සෙට් ය. ඒ ඊළග රළෙන් එය සේදී මැකී යන නිසා ය. අපට ඒ ගැන පාලනයක් නැති නිසා ය. එවැනි අයගේ අදහස් මකන්නේ අනුන් ය. බාහිරින් එන රළ පහරෙන් ය. මකන්නට බැරි අදහස් තරමට ම පොඩ්ඩ ඇත්නම් මැකෙන අදහස් ද කමකට නැත.

අවශ්‍ය වන්නේ කඩදාසියක පැන්සලෙන් ලිවිම ය. ඇඳීම ය. වැරද්දක් වූයේ නම් මකන අපේක්ෂාවෙන් ලිවීම ය.
සමහර මිනිසුන් එසේ ලියන අයට කැමති නැත. එහෙම අය චපල සිත් ඇත්තන් යැයි ඔවුහු කියති.

චපල සිත් ඇත්තෝ ද ලියන්නේ මකන්න බලා ගෙන ය. ඒ තමන්ගේ වාසියට ය. ඔවුන් මකන්නේ වැරදි දේ පමණක් නොවේ. හරි දේ ද ඔවුහු මකති. ඔවුන්ට අවශ්‍ය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ය. එහෙත් මකන සැවොම ඒ ගොඩට දැමීම වැරදි ය.

තමන් වැරදි යැයි හැඟී ගිය විට වෙනස් වන්නට මිනිසුන්ට අයිතියක් තිබේ. ඊට සමාන ව එය ඔවුන්ගේ යුතුකමක් ද වන්නේ ය.

වැරදි වැරදී වැඩක් කරන විට එය කරන්නට සිදු වන්නේ ආයායසයක් දරමින් ආතතියකින් ද යුක්තව ය. එහෙත් හුරු වූ පසු වැරදි අඩුවන අතර, එය නිරායාසයෙන් හා සැහැල්ලුවෙන් කරන්නට ද හැකි වේ. ඒ තත්වයට වර්ධනය වන්නට කලක් ගත වේ. එතෙක් නිතර නිතර වැරදි සිදු වීම වළක්වන්නට බැරි ය. මකනයක් නැතුව බැරි ය.

වැරදෙනවා යැයි සිතා කළකිරෙන්නේ නැතිව, පැකිලීමකින් තොරව ලියන්නට අඳින්නට හිත හදා ගත යුතු ය. කුඩා දරුවෙකු නැගිට ඇවිදින්නට ගන්නා විට වැටෙන ගණනේ නිමක් නැත. එහෙත් ඔහු අත හරින්නේ නැත. ඔහු වැටී වැටී ප්‍රගුණ කරන්නේ ඇවිදීමේ කලාව ය. එය සෙසු කලාවන්ටත් කුසලතාවයන්ටත් අදාළ ය.

මකනයට බිය නොවන්න. මකන හැටි පෙන්වන්න. නොමකා ලියන්නට, අඳින්නට, ඇති මඟ ඒක ය.

2 thoughts on “මකන කෑල්ල

  1. Sathi says:

    වැරදීම , වැරදීමක් ලෙස පමනක් දකින ලෝකයදී මකනය දැනට වඩා වැඩියෙන් අවශ්‍ය වනු ඇත.
    එහෙත් අද සාමාන්‍යයෙන් වැරදීම , ජීවිතය ලෙසින් සිතන අය වැඩි බැවින්, මකනයට ඇති ඇවැසි බව සාපේක්ෂව අඩුයි.

    රසවත් ලියවීමකි. සතුටින් කියැවීමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s