අන්තවාදය පරාජය කිරිම


How Have Attitudes Toward Extremism Changed Over Time?

රට තුළ අන්තවාදය පරාජය කිරීම අද දවසේ මාතෘකාව වී තිබේ. රට තුළ පමණක් නොව ආයතනයක් තුළ ද අන්තවාදය හිස ඔසවන අවස්ථාවක එය පරාජය කළ යුතු ය. මුල් කටයුත්තේ වගකීම රජයට හිමිවන විට දෙවැනි වගකීම හිමි වන්නේ ආයතනයක කළමනාකාරිත්වයට ය. පොදුවේ අන්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ගය මේ ලිපියට මාතෘකා කර ගන්නේ ඒ දෙකෙහිම වැදගත් කම සළකා ය. එමෙන්ම ඒ දෙක තුළම තිබෙන පොදු බව ද සළකා ගෙන ය.

සමාජය තුළ මේ සම්බන්ධයෙන් මත දෙකක් තිබේ. එකක් අන්තවාදයේ “සැපයුම“ පාලනය කිරීම ගැන ය. එහි දී වැඩි බරක් දෙන්නේ අන්තවාදීන් සොයා මෙහෙයුම් දියත් කර ඔවුන් අල්ලා දඩුවම් පැමිණීම කෙරෙහි ය. දෙවැන්න අන්තවාදයේ “ඉල්ලුම“ පාලනය කිරීම ගැන ය. එහි දී ප්‍රමුඛතාවය හිමිවන්නේ අන්තවාදය ඇති වන සමාජ සාධක වෙනස් කිරීම කෙරෙහි ය. එහි දී සිදු වන්නේ අන්තවාදයට මැදිහත් මිනිසුන් තල්ලු කරන සමාජ සාධක මුලිනුපුටා දැමීම කෙරෙහි ය.

සංවාදයට සම්බන්ධ බොහෝ අය කරනුයේ මේ උපාය මාර්ග දෙකින් එකක් තෝරාගැනීම ය. එයට හේතුව එක් උපාය මාර්ගයක් අනුගමනය කිරීමේ දී අනික් උපාය මාර්ගයට ඒ මගින් අවහිරතා ඇතිවන නිසා ය.

අප සැක කටයුතු අය අල්ලා ඔවුන් පරීක්ෂා කිරීමට වැඩි බරක් දීම හරහා සිදු විය හැක්කේ අහිංසක අය ද හිරිහැරයට පත් වීම ය. ඔවුන්ගේ මානව හිමිකම් කඩ කරන්නේ යැයි චෝදනාවලට ද මුහුණ දීමට ය. ඒ හිරිහැරය තුළ ඔවුන් ද අන්තවාදීත්වයට තල්ලු කර දැමීම ය. අනෙක් අතට අප එසේ කියා සැක කටයුතු මිනිසුන් අල්ලා ගැනීමට අදිමදි කරන්නේ නම් සිදුවන්නේ ඒ අය රිසි සේ සිය සංවිධාන කටයුතු කර ගැනීම ය. අන්තවාදීන් හුරතල් කරන්නේය යන චෝදනාවලට ද මුහුණ දීමට ය.

බොහෝ දෙනෙකු දෙකින් එකක් තෝරා ගත යුතු යැයි කියන්නේ මේ කරුණු හේතුවෙන් දෙක ම එකවර කිරීමට නොහැකි වෙතැයි හඟින නිසා ය.

අන්තවාදී අදහස් උපත ලබන්නේ හිරිහැර කිරීම නිසා ම නොවේ. උදාහරණයක් ලෙස මුස්ලිම් අන්තවාදය උපත ලබන්නේ බොදු බල සේනා හෝ වෙනත් එවැනි සංවිධාන මුස්ලිම් මිනිසුන්ට එරෙහිව ගෙන ගිය අකටයුතුකම් නිසා ම නොවේ. අප එවැනි දෙයක් කීමෙන් පවා කරන්නේ මුස්ලිම් අන්තවාදීන් මුළුමණින් වගකීමෙන් නිදහස් කිරීම ය. පසුගිය සිද්ධියේ වගකීම ඔවුන් උසි ගැන්වූයේ යැයි සිතන සංවිධානයන්ට පවරා මුස්ලිම් අන්තවාදීනට පැන යා හැකි ඉඩක් විවර කර දීම ය. එවැනි අදහස්, අකටයුතුකම් නැතුව ද ඉපදිය හැකි ය. පෙනෙන පරිදි මේ අදහස් උපත ලැබුවේ ලංකාවේ ද නොවේ. මැද පෙරදිග ය. පෙනෙන්නේ ඒවා ලංකාවට ආනයනන කරන ලදුව ලංකාවේ පසුව පැලපදියම් වූ බව ය.

බොදු බල සේනාව හා සමාන සංවිධාන බිහිවීමට ද මේ උපත බල පෑවා විය හැකි ය. ඒ මුස්ලිම් අන්තවාදයට උත්තරයක් ලෙස ය. එයින් අදහස් කරන්නේ අපට බොදුබල සේනාව හා සමාන සංවිධාන ද අහිංසක යැයි කියා නිදහස් කළ හැකි බව ද? කොහෙත් ම නැත. ඔවුන් උත්පාදනය වීමෙන් පසු කළේ මේ බීජයට අවශ්‍ය පොහොර සපයා මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් කිරීම ය. මැදිහත් මුස්ලිම් මිනිසුන්ගෙන් කොටසක් ද, විශේෂයෙන් ආවේගශීලී තරුණයන් ද, අන්තවාදීන්ගේ ගොඩට තල්ලු කර දැමීම ය.

මෙය සමාන වන්නේ ගිනි ඇවිලීමට ය. ගින්නක් ඇති වීමට පහසුවෙන් ගිනි ගන්නා සුළු පෙට්‍රල් භූමිතෙල් වැනි ඉන්ධනයක් අවශ්‍ය ය. මුස්ලිම් අන්තවාදීනට අවශ්‍ය එම මූලධර්මවාදී ආගමික ඉන්ධන තෙල් තරමට ම මැද පෙරදිගින් ලැබෙන්නට ඇත. එහෙත් ඒවා තිබූ පමණින් ගිනි ගන්නේ නැත. එසේ ගිනි ගන්නවා නම් පෙට්‍රල් සහිත වාහන ද තෙල් පිරවුම් හල් ද ගිනි ගන්නට ඕනෑ ය. එසේ නොවන බව අපි දනිමු. ගිනි ගැනීමට ගිනි පුළිඟුවක් ද ඉන්ධන වලට අමතරව අවශ්‍ය ය. බොදු බල සේනා හා දේශීය සංවිධානවල ආධාරය ද ඇතිව බේරුවල අලුත්ගම දිගන තෙල්දෙනිය අම්පාර නගර වල ඇති කරන ලද සිද්ධිවලින් එය ජ්වලන (ගිනි ගන්නා) උෂ්ණත්වයට ලං කළ අතර නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට තුළ වෙඩි තැබීමෙන් ජීවිත විනාශ කළ පුද්ගලයා තීරණාත්මක පුළිඟුව ඔවුන්ට සපයන්නට ඇත.

මේ සිද්ධියට වගකිව යුතු නායකයා දැනට අවුරුදු 6 ට පමණ ඉහත දී විකාශණය කළ වීඩීයෝ පටයකින් බෞද්ධයින් ඉලක්ක කර ගෙන දියත් කළ යුතු ප්‍රහාරයක් ගැන කතා කර තිබුණු බව වාර්ථා වන්නේ ය. පසුව ඇතිවන අයිසිස් සම්බන්ධය මත ඉලක්කය වෙනස් ව තිබේ යැයි ඒ නිසා ම අනුමාන කෙරෙන්නේ ය. කවුරු කොහොම කිව්වත් නවසීලන්තයේ මුස්ලිම් පල්ලිය තුළ සිදු වූ දේ ද එ් ඉලක්කයේ වෙනසට හේතුවන්නට ඇත.

ගිනි ගැනීම වැළැක්වීමට තෙල් ඉවත් කිරීම හොඳ ය. අන්තවාදීන් අල්ලා හිරේ ලෑම ඒ නිසා හොඳ ය. ඒත් ඉවත් වන තෙල් නැවත පිරවීමට ඉඩ තිබෙන්නේ ය. එසේ කියා අත් බැඳ ගෙන සිටිය යුතු නොවේ. ඒ සඳහා කළ හැකි සියල්ල අප විසින් කළ යුතු ය. තෙල් නැවත නැවතත් පිරවෙනු ඇත්තේ තෙල් ආනයනය වැළැක්වීම අමාරු නිසා පමණක් නොවේ. අප අන්තවාදීන් ඇල්ලීමේ දී දක්වන සංයමයේ ද අඩුපාඩු නිසා ය. අන්තවාදයේ “සැපයුම“ පාලනය කිරීමට ගන්නා උපාය මාර්ගය තුළ ඒ පිළිබඳව “ඉල්ලුම“ ද ඉහළ යෑමට ඉඩ ඇති නිසා ය.

ඊට අමතරව ගිණි පුළිඟු ඇති වීම ද වැළැක්වීමට අප කටයුතු කළ යුතු ය. ඒ සාමාන්‍ය මුස්ලිම් මිනිසාට සුරක්ෂිතතාවයක් ඇතිකිරීම මගින් ය. ඔවුන් අන්තවාදීන්ගේ ගොඩට තල්ලු කර ගිනි පුළිඟු ඇති කිරීමෙන් වැළකිය යුතු ය.

මෙය ආයතන සම්බන්ධයෙන් ද සත්‍ය ය. ආයතනයක එක් අන්තවාදී ප්‍රවණතාවයක් විය හැක්කේ අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් කළමනාකාරිත්වය බිත්තියට තල්ලු කරන වෘත්තීය සමිති ය. වෘත්තීය සමිති බිහිවන්නේ ආයතනයේ පරිපාලනයේ වරදින් ම නොවේ. ඇතැම් විට බාහිර දේශපාලන ව්‍යාපාරයන් විසින් කරන සංවිධානාත්මක මැදිහත් වීම් නිසා ය. පරිපාලනයේ ඇතැම් අදූරදර්ශී ක්‍රියා නිසා මේ නොවැදගත් වෘත්තීය සමිති නායකයන්ට අනුගාමිකයන් ගොනු කර ගත හැකි වේ. වෘත්තීය සමිතිය විශාල වෙන විට ඒ ගැන බිය වී ඇති කරන්නට යන දඩුවම් නිසා ගිනි පුළිඟු ඇතිවන්නට පුළුවන. මෙය රට තුළ සිදු විය හැකි සිද්ධි දාමයට ම සමාන ය.

කළ යුත්තේ එක් උපායමාර්ගයක් විසින් අනෙත් උපායමාර්ගය පරාජය නොකරනු පිණිස වග බලා ගන්නා අතර උපාය මාර්ග දෙකම සමාන්තරව සංයමයෙන් අනුගමනය කිරීම ය. ලෙඩා මළා වුනත් බඩ සුද්දයි කියන්නට සිදු වන්නේ දෙකින් එකක් පමණක් අනුගමනය කරන්නට ගිය විට ය.

Advertisements