රාජ්‍ය කළමනාකරණය ෆේල් ය


Political Exclusion Breeds Extremism, and Inhibits Respect ...

පාස්කු ඉරිදා ඛේදවාචකය රාජ්‍ය කළමනාකරණයේ පැහැදිලි බිඳ වැටීමක් පෙන්නුම් කරන්නේ ය. අපේ කම්පාව දෙගුණ තෙගුණ වන්නේ කළමනාකරණයේ එවැනි බිඳ වැටීමක් නොවුනේ නම් මේ ඛේදවාචකය වැළැක්විය හැකි ව තිබුන බව පෙනෙන නිසා ය.

පළමු බිඳ වැටීම සිදු වන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය නම් වූ තීරණාත්මක ආයතනයට නිශ්චිත ආයතනික ව්‍යුහයක් නොමැති වීම හේතුවෙනි. කැඳවිය යුත්තේ කවුද නොකැඳවිය යුත්තේ කවුද යැයි නියමයක් නොතිබීම හේතුවෙනි. අප එසේ කියන්නේ ඒ බව වාර්ථා වන සිද්ධි වලින් හැගෙන නිසා ය. වාර්ථා වන පරිදි පසුගිය සය මස තුළ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ එකම වතාවකවත් ඊට අගමැති හෝ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට ආරාධනා කොට නැත. සිද්ධිය වූ දා පවා අගමැති සමග එක්ව සාකච්ඡා කරන්නට එහි සාමාජිකයන් ඉහලින් අවසරයක් ලැබෙන තුරු ඉදිරිපත් වී නැත.

එය ජනාධිපති තුමා හා අගමැති තුමා ද අතර පුද්ගලික කෝන්තරයක් නිසා ඇති වුනාය යන සමාජ මතයට තවම රජය පැත්තෙන් අභියෝගයක් එල්ල වී නැත. ජාතික ආරක්ෂාව පුද්ගලික කෝන්තර හේතුවෙන් පරදුවට තැබිය හැකි දෙයක් නොවේ. එසේ වුව ද එය සිදු වූයේ ඒ නිසා ම යැයි කීමට තරම් තොරතුරු තවමත් අප සතුව නැත. ඒ නිසා ඒ නිගමනයට බැස චෝදනා එල්ල කිරිමට අපි අපේක්ෂා නොකරමු.

එසේ වුව ද එය කෙසේ වූයේ දැයි පැහැදිලි කරන කෙනෙක් නොවන නිසා අපට අපේ නිගමනවලට බැසීමට සිදු වේ. ඒ කළමනාකරුවෙකුගේ කෝණයට සීමා වෙමිනි. මුලින් ම බැස ගත හැකි නිගමනය වන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලයට අහවල් අහවල් අය සිටිය යුතු යැයි නියමයක් තිබි නැති බව ය. එය වඩාත් සනාථ වන්නේ අගමැති හෝ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට ආරාධනා නොලැබුනේ වුව ද විපක්ෂයේ මන්ත්‍රිවරු දෙපලක් ද ඊට සහභාගි කර ගෙන ඇති නිසා ය. එයින් එක් අයෙකු ගරු තිලංග සුමතිපාල මන්ත්‍රීතුමා බව ද අනෙකා ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා බව ද සඳහන් වී තිබිණි. ඔවුන්ගේ පසුබිම බැලූ විට ඔවුන් ජාතික ආරක්ෂක මණ්ඩලයට සම්බන්ධ කර ගැනීමට තරම් කාරණයක් අපට පෙනෙන්නේ නැත. එයින් ද පෙනෙන්නේ මේ වැදගත් ආයතනික ව්‍යුහයට කවුරුන් ඇතුළත් දැයි පිළිගත් සම්මතයක් තිබී නැති බව ය. එය රාජ්‍ය නායකයාගේ අභිමතය පරිදි සිදු වන්නට ඇති බව ය. රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය නායකයාගේ පෞද්ගලික අභිමතය අනුව කරන කටයුත්තකට වඩා බරපතල එකක් නිසා ඒ සම්බන්ධයෙන් සම්මතයන් තිබිම වැදගත් ය.

මේ වැරැද්ද දෙගුණ වන්නේ අගමැතිතුමා හෝ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට ද එය ප්‍රශ්නයක් වී නොතිබිම ය. තමන් ආණ්ඩු කරන්නේ නම් එම ආණ්ඩුව වගකියන රාජ්‍ය හා ජාතික ආරක්ෂාවට අදාළව තමන්ට කැඳවීමක් නොලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අර්බුදයක් මතුවන තුරු මුණිවත රැකිම නායකයන්ට තරම් නොවන නිසා ය. ඒ ප්‍රශ්නය රාජ්‍ය නායකයා වෙත පමණක් නොව ජනතාවට ද එසේත් නැත්නම් අඩු වශයෙන් ජනතා නියෝජිතයන් සිටින පාර්ලිමේන්තුවට ද යොමු කළ යුතු ව තිබූ නිසා ය.

ඊළග ප්‍රශ්නය නම් රාජ්‍ය නායකයා රටින් බැහැරව ගොස් ඇත්තේ වැඩ බැලීමට කෙනෙකු නැතිව විම ය. එපමණක් නොවේ. ආරක්ෂාක ඇමතිවරයා පමණක් නොව නීතිය හා සාමය බාර ඇමතිවරයා ද වන රාජ්‍ය නායකයා රටින් බැහැරව ගොස් සිටියේ ඒ කිසිදු පදවියකට අනුප්‍රාප්තිකයන් නැතිව ය.

සාමාන්‍ය ආයතනයක පවා දිනක දෙකක නිවාඩු ගන්නා සිල්ලර සේවකයෙකු වුව ද තමන් නැති කළ අහවලා වැඩ බලන්නේ යැයි දැක්විය යුතු යැයි නියමයක් පවතී. එය අප දන්නා පරිදි ඇමති පදවි සඳහා ද රාජ්‍ය නායක පදවිය සඳහා ද අදාළ ය. එහෙත් මෙවර ඒ කිසිවක් සිදු ව නැත. එය එසේ සිදු වූයේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් අප ඇගිල්ල දිගු කළ යුත්තේ කාට ද?

මේ සියල්ලෙන් කියන්නේ ගුල්ලන් ගසා ඇත්තේ ආයතන ව්‍යුහයට පමණක් නොව ඒවා හොබවන අයට ද බව ය.

ඊළග ප්‍රශ්නය නම් යම් ආයතනික ක්‍රියාවලීන් පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් රටේ ඉහළම පාලන යන්ත්‍රය තුළ නොමැති බව ය.

අපට එසේ නිගමනය කිරිමට සිදු වන්නේ මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු අප්‍රියෙල් මස 4 දින ආසන්න දවසක බුද්ධි අංශයට ලැබී තිබුනේ වුව ද එම තොරතුරු පිළිබඳව රාජ්‍ය නායකයා හෝ අගමැති වරයාට දැනුවත් කර නැතැයි වාර්ථා වන නිසා ය. ඒ දෙදෙනාම තමන්ට ඒ බව නොදැන්වූ බව කියන නිසා අපට එය එසේම වන්නට ඇතැයි පිළිගන්නට සිදුවන නිසා ය.

ඊළග ප්‍රශ්නය වන්නේ එවැනි තොරතුරක් ලැබී තිබිය දී ද ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා ඔවුන් දැනුවත් නොකළේ කුමක් නිසා ද කියා ය. ඒ කියන්නේ ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවන්නේ කුමකට ද යන්න පිළිබඳ නිශ්චිත නිර්ණායකයන් තිබී නැති බව ය. එය කැඳවිය හැක්කේ කාට ද යන්න පිළිබඳව ද ක්‍රමවේදයක් තිබි නැති බව ය. නැතිනම් ඒ සියල්ල තිබිය දී ද ඒවා අනුගමනය කර නැති බව ය.

වගකිව යුත්තන් විසින් රට ඉදිරියේ සිදු වූයේ මේ දෙකින් කුමක් ද යන්න කිව යුතු ය.

ක්‍රමවේද නැත්නම් ක්‍රමවේද හදා ගත යුතු ය. නිර්ණායක හදා ගත යුතු ය. ඒ ඉදිරියේ මෙවැන්නක් වීමෙන් වළක්වා ගැනීමට ය. එ් සම්බන්ධයෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කළ යුතු ය. මේ වන විට අතිශයින් පලුදු වී ඇති රජය පිළිබඳ විශ්වාසය ගොඩ නගා ගත හැක්කේ ඒ මගිනි.

ක්‍රමවේද තිබිය දි ද ඒවා අනුගමනය කර නැත්නම් ඊට වගකිව යුත්තේ කවුද යන්න රටට හෙලිදරව් කළ යුතු ය. මේසා විශාල විනාශයක් ව තිබිය දී එසේ වගකිව යුතු අයට දඩුවම් නොදෙන්නේ නම් ඉදිරියේ දි ද මෙවැන්නක් නැවත ඇති විමේ ඉඩක් එවිට ඇතිවන නිසා ය.

සියලුම පව් ආරක්ෂක ලේකම් වරයාගේ අස්කර දැමීමෙන් හෝදා ගත නොහැකි ය. ආරක්ෂා ලේකම් කළ වැරැද්ද කුමක් දැයි රටට කිව යුතු ය. අස් වෙන්න යැයි කියා තිබුන ද තවම පොලිස් පති අස්වී නැත. වාර්ථා වන ආකාරයට පසුගිය සමයේ පොලිස්පති ද ආරක්ෂක මණ්ඩලයට කැඳවා නැත. ඒ තත්වය යටතේ පොලිස් පති වැරදි කරුවෙකු කළ හැකි ද ඒ කවර ප්‍රමාණයකින් ද යන අතුරු ප්‍රශ්න නැවතත් මතුවන්නේ ය. ඒ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය පිළිබඳ ප්‍රශ්නයට අමතරව ය.

මේ ඉහත කී වැරදි සිදු වූයේ කුමන හේතුවෙන් දැයි, සිද්ධිය සිදු ව දින හයකට පසු ද, රට දන්නේ නැත. එය කවදා හෝ දැනගන්නට ලැබේ දැයි ද අවිශ්වාස ය. එහෙම දන්නා කෙනෙකු ඉන්නවාද යැයි දන්නා කෙනෙකු ද නැත. අප වඩාත් අවාසනාවන්ත යැයි දැනෙන්නේ ඒ නිසා ය.

ව්‍යාසයනය වී අවසන් ය. ඉදිරියටවත් එවැනි ව්‍යාසනයක් නැවත ඇති නොවීමට රාජ්‍ය කළමනාකරණය වග බලා ගන්නේ කෙසේ දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. පලුදු වී ඇති විශ්වාසය නැවත ඇති කර ගත හැක්කේ ඒ අයිතියට ගරු කිරීම මගිනි. ඒ නිසා ම ඒ සඳහා ප්‍රමාණවත් මැදිහත් විමක් රාජ්‍ය කළමනාකරණයෙන් අපේක්ෂිත ය.

Advertisements