තීන්දු ගැනීම වෙනුවට තීන්දුවලට පැනීම


How Warren Buffett Makes Decisions - Secret to His ...

කළමනාකරුවෙකුගේ මූලික කාර්යය තීන්දු ගැනීම ය. ඉන්පසු ඒ තීන්දු ක්‍රියාත්මක කිරීම ය. එහි දී ද බොහෝ සෙයින් සිදුවන්නේ තවත් තීන්දු රැසක් ගැනීම ය. ඉන්පසු තීන්දු වල ප්‍රතිවිපාක විමසීම ය. ඒ අනුව තීන්දු වෙනස් කිරීම ය. එතැන දී ද සිදු වන්නේ නැවත නැවතත් තීන්දු ගැනීම ය. මේ නිසා ම හැකිතාක් දුරට මේ තීන්දු නිවැරදි වීම අවශ්‍ය ය. ප්‍රතිවිපාක අවම කර ගත හැක්කේ ඒ මගිනි. අද අප විමසන්නට අදහස් කරන්නේ මේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ය.

සමහරු තීන්දු ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ තීන්දු වලට පැනීම ය. ඒ ඇතැම් විට තමන්ගේ පරණ අත්දැකීම් ආශ්‍රයෙන් ය.

තීන්දු වලට පණින ඇතැමුන් එසේ කරන්නේ අතිශය සරල තර්කයක් භාවිතා කර ගෙන ය. හැමෝම කරන්නෙ එහෙමයි, ඒ නිසා ඒක හරි වෙන්න ඕන. අහවලාත් කළා. ඒ නිසා ඒක හරි වෙන්න ඕන.

තවත් සමහරු තීන්දු වලට පනින්නේ හැගීම් වලින් මෙහෙයවනු ලැබීමෙන් ය. ඒ තව කෙනෙකු සමග ඇති තරහක් පිරිමහ ගන්නට ය. කාට හෝ පාඩමක් උගන්වන්නට ය. අවස්ථාවෙන් තවත් ප්‍රයෝජනයක්, අතුරු ප්‍රයෝජනයක්, ලබා ගැනීමට ය.

ඇතැම් අවස්ථාවල තමන්ට හෝ හිතේෂියෙකුට හෝ තමන්ට ලාභයක් ලබා දෙන තෙවැනි කෙනෙකුට වාසියක් අත් කර දෙන්නට ය. කෙනෙකුගේ හිත සතුටු කරන්නට ය. ඒ ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ය.

ඇතැමෙක් තීන්දුවලට පනින්නේ තමන් අදහන කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නිසා ය. එවැන්නකින් මෙහෙයවනු ලැබීමෙනි. එක්කෝ එය සනාථ කිරීමේ අරමුණිනි. නැතිනම් ඊට තල්ලුවක් දීමේ අරමුණිනි. නැතිනම් එයින් කියවෙන වෙනත් දෙයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි.

තවත් අය ඇඟ බේරා ගැනීමට ය. බහුතරයේ පීඩනයෙන් ඝෝසාවෙන් ගැලවීමට ය. ඒ හරහා ජනයා ඉදිරියේ තමන් සුදනා වෙන්නට ය.

තවත් අවස්ථාවක තීන්දුවට පනින්නේ මේ සියල්ලේ හෝ කීපයක එකතුවක ප්‍රතිඵලයක් හැටියට ය.

මේ කවරෙකුට වුව තීන්දු වලට එළඹීමේ ප්‍රශ්නයක් නැත. ඒ සඳහා දත්ත කරුණු එහෙමකට එකතු කිරීමක් හෝ තිබෙන ඒවායේ නිරවද්‍යතාවය පරීක්ෂා කර බැලීමක් කිරීමට හෝ අවශ්‍ය නැත. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනත් අය විසින්, වෙනත් ආයතන හා රටවල් විසින්, අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගයන් වත් පිළිවිසීමට අවශ්‍ය නැත. ඒ නිසා සිදු විය හැකි දිගු කාලීන ප්‍රතිවිපාක විමසීමට ඔවුන් ඉස්පාසුවක් නැත. වෙනත් පාර්ශවයකට සවන් දීමට, තීන්දුව පිළිබඳ සෙසු අයගේ අදහස් විමසීමට, ඔවුන්ට ද තීරණය සම්බන්ධයෙන් දායකත්වයක් ලබා දෙන්නට ඉඩ හසර දීමට, ඔවුන් සූදානම් නැත.

“පළමුව දඩුවම්, තීන්දුව පසුවට“ ඇලිස් දුටු විස්මලන්තයේ ඇලිස් ගේ ඇස් පුදුමයෙන් උඩ ගිය රැජිනගේ කතාව අපට සිහිගන්වන්නේ මේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය ය.

තීරණය ගන්නට මහන්සි නොවුනාට තීරණය විකුණන්නට නම් අපමණ වෙහෙසක් දැරීමට ඔවුහු වග බලා ගනිති. ඒ සඳහා අලෙවි කරණයෙන් සොයා ගත හැකි සියළුම අංගයන් යොදා ගැනේ. එය බහුතරයේ අනුමැතිය ඇති තීන්දුවක් බව ද අසවල් අසවල් ප්‍රභූවරුන්, නායකයින්, පවා එය අනුමත කරන බව ද එහෙමට කරුණු නොදක්වා ම එය මෙතෙක් ගෙන ඇති නිවැරදි ම තීරණය බව ද දක්වා සිටිති. එය එක් වරක් නොව දහස් වර දක්වා සිටිති. එක මාධ්‍යයකින් නොව තම අණසකට ගත හැකි, මිලට ගත හැකි, සියළු මාධ්‍ය යොදා ගෙන දක්වා සිටිති.

එයට එක් හේතුවක් නම් තමන් හදිසියේ පැන බදා ගත් තීරණය ගැන ඇතැම් විට තමන්ට පවා විශ්වාසයක් නැති නිසා ය. එය සෙස්සන් විසින් පිළිගැණෙනු නැතැයි ඔවුන්ට ඇති සැකය නිසා ය.

ඒ සඳහා ඔවුන් යොදා නොගන්නේ තීරණයට පාදක වූ කරුණු පමණ ය. ඒ, එහෙමකට කරුණු නැතිව බැස ගත් තීන්දුවක් ගැන කරුණු ඉදිරිපත් කිරිමට නොහැකි නිසා විය හැකි ය. තීන්දුවට එහෙමට පදනමක් නැති නිසා විය හැකි ය.

අවසාන ප්‍රතිඵලය කිසිදු පදනමක් නැති තීන්දුවක් අතිශය වැදගත් තීන්දුවක් ලෙස සමාජගත වීම ය. ආයතනගත වීම ය.

එවැනි තීරණ වැරදෙන්නට තිබෙන ඉඩ වැඩි ය. එසේ වැරදුනේ වුව ද ඒ සඳහා දිය හැකි කප්පරක් සමාවට කාරණා ද අප සතු ව තිබෙන්නේ ය. නටන්න බැරි වුනේ පොළොව ඇද නිසා යැයි කිව හැකි ය. ඒ සියල්ලෙන් සැපයෙන්නේ පෞද්ගලික ගැලවිජ්ජාවට මාවත ය. එහෙත් ආයතනයට, සංවිධානයට හෝ රටට වූ පාඩුව ඉන් මැකිය නොහැකි ය.

ඒ නිසා ම කළමනාකරුවන් තීන්දුවලට පැනීමෙන් වැළකිය යුතු ය. තීන්දුවක් ගැනීමට පෙර හැකිතාක් කරුණු එකතු කළ යුතු ය. ඒ කරුණුවල නිරවද්‍යතාවය පිරික්සිය යුතු ය. කුඩා කෑලිවලට කඩමින් විස්තර සොයා ගත යුතු ය. ඒ කරුණු එක් ගොඩ නැගෙන මුළු පින්තූරය විමසිය යුතු ය. සියළු පැතිකඩ අල්ලා ගත යුතු ය. විවිධ කෝණ ඔස්සේ තීන්දුවේ ප්‍රතිඵල දෙස බැලිය යුතු ය. එම ආයතනයේ එක් එක් පාර්ශවකරුවාට තම තීන්දුව කෙසේ බලපාන්නේ දැයි සළකා බැලිය යුතු ය. ඒ සියල්ලේ එකතුව විසින් අවසානයේ ආයතනය වෙත කුමන බලපෑමක් කරන්නේ දැයි බැලිය යුතු ය. ඒ සියල්ලෙන් පසුව ද තීන්දුව ශක්තිමත් ව නැගී සිටින්නේ නම් තීන්දුව නිවැරදි යැයි අවසාන තීන්දුව ද ගත හැකි ය.

එය කල් ගත වෙන ක්‍රියාවලියකි. වෙහෙස විය යුතු ක්‍රියාවලියකි. මුදල් ආයෝජනය කළ යුතු, සම්පත් ආයෝජනය කළ යුතු, ක්‍රියාවලියකි. එහෙත් ඒ සියල්ල, නිවැරදි තීන්දුවකට අවශ්‍ය ය. මක්නිසා ද යත් වැරදි තීරණයක් නිසා ලබන අලාභය විශාල හෙයිනි.

එයින් කියවෙන්නේ සියල්ල සොයා ගන්නා තුරු සෑම තීන්දුවක් ම කල් දැමිය යුතු බව නොවේ. ඇතැම් තීන්දු ගැනීම පමා කළ නොහැකි ය. සෑහීමකට පත් විය හැකි කරුණු ප්‍රමාණයක් ඇත්නම් ඉතිරි ඒවා පිළිබඳ යම් උපකල්පනයන් කර පින්තූරය සම්පූර්ණ කර ගෙන තීන්දුවකට එළඹිය යුතු ය.

කොතරම් කාලයක් ගත කර සියල්ල සළකා ගත් තීන්දුවක් වුව ද වැරදිය හැකි ය. ඒ නිසා ම ගත් තීන්දු පිළිබඳව ආපසු හැරී බැලීමක් කළ යුතු ය. එසේ කිරීම ඉදිරි තීරණ ගැනීමේ දී වඩාත් නිවැරදි අස්ථානයන්ට පැමිණීමට අපට උදව් වන නිසා ය. තීන්දුවලට නොපැන තීන්දු ගැනීමට එය ද රුකුලක් විය හැකි නිසා ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s