අනාරක්ෂිත බව සහ පක්ෂපාතිත්වය


46980

ඇතැම් නායකයින්ට බරපතල අනාරක්ෂිත බවක් දැනේ. ඒ උඩ ඉන්නා විට සිය පැවැත්ම පහළ ඉන්නා අය මත රඳන නිසා ය. අනුගාමිකයන් නැති දවසක, නායකයෙකු ද නැති වන නිසා ය. මේ ප්‍රශ්නය, විශේෂයෙන්, තමන්ගේ සුදුසුකම් හෝ හැකියාවන් ගැන විශ්වාසයක් නැති නායකයින්ට මෙන් ම, දිගින් දිගට බලයේ සිටීමට වුවමනා නායකයන්ට ද ඇති වන්නේ ය. රටක නායකයන් සම්බන්ධයෙන් පමණක් නොව ආයතනික නායකයන්  සම්බන්ධයෙන් ද මෙය එකසේ බලපාන්නේ ය.

එවැනි අය තම අනුගාමිකයන්ගෙන් තමන්ට පෞද්ගලික පක්ෂපාතිත්වය ඉල්ලා සිටින්නෝ ය. ඔවුන් වඩා කැමති ඔවුන්ගේ ප්‍රතිපත්ති වටා සිය අනුගාමිකයන් රඳවා ගැනීමට නොව තමන්ගේ පෞද්ගලික ප්‍රභාව වටා අනුගාමිකයන් රඳවා ගැනීමට ය. එක් හේතුවක් නම් ප්‍රතිපත්ති බලය වෙනුවෙන් ගනුදෙනු කිරීමට යොදා ගැනීමට ඔවුන්ට ඉඩ තබා ගැනීමට වුවමනා නිසා ය. අනිත් හේතුව නම් ඒ ප්‍රතිපත්ති ම වඩා හොඳින් ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වන කෙනෙකු සිටියොත් තමන් විස්ථාපනය වන බව දන්නා නිසා ය. පෞද්ගලික බැඳීම එසේ ඉවත් කිරිම අපහසු යැයි ඔවුහු සිතති.

ඒ නිසා තමන් වටා රැස් වළල්ලක් පවත්වා ගෙන යෑමට ඔවුන් කැමති ය. ඔවුන් මිනිසුන් සමග පෞද්ගලික මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට කැමති ය. ඔවුන් සමග කෑම ගැනීමට, පින්තූර ගැනීමට, ඔවුන්ට ඇඟලුම් කම් පෙන්වමින් කතා කිරීමට ඔහු කැමති ය. නායකයා තමන්ට හිතේෂී බව දැක්වීම ම සමහරුන්ට වෙන මොකක් නොකරත් ඇති ය. එසේ සිතන අයට නායකයා කැමති ය. ඔවුන්ට අවශ්‍ය, ඒ හැඟීම, දැන වීමට ඔහු සූදානම් ය.

ඊට ප්‍රතිපක්ෂව වෙනත් පාර්ශවයන්ට පක්ෂපාතිත්වය පෙන්වන අයට පමණක් නොව අපක්ෂපාතිත්වයක් පෙන්විමට උත්සහ කරන අයට ද ඔහු අකමැති ය.

ඔහුට ආයතනික ධුරාවලිය අදාළ නැත. ඉහළ නිලධාරියා හරහා නොයා අවශ්‍ය තැනක අතිශය පහළ තැනකට ඍජුව ම කතා කර නියෝග දෙන්නට ඔහු පැකිලෙන්නේ නැත.

තමන් දෙන නියෝගය නීත්‍යානුකූල ද නැද්ද යන බව පවා පිරික්සීමට ඔහු කටයුතු කරන්නේ නැත. නියෝගය නීත්‍යානුකූල නොවේ නම් එය නීත්‍යානුකූල කර ගැනීමේ වග කීම ද පැවරෙන්නේ, ඊට අවශ්‍ය ගොනු සකස් කර එයට නීත්‍යානුකූල පෙනුමක් දීමේ වගකීම ද පැවරෙන්නේ, නියෝගය ලබන නිලධාරියාට ය. ඒ කටයුත්ත ගැස්සිලා ගියොත් නීතිය ඉදිරියේ වග උත්තර බඳින්නට සිදු වන්නේ ද නියෝගය ලද නිලධාරියාට ය. එසේ වුව ද තවත් නීත්‍යනුකූල නියෝගයක් දෙමින් එවැන්නෙකු නිදහස් කර ගැනීමට ද ඉඩ ඇත්නම් මේ නායකයා ඒ සඳහා හැකි සෑම දෙයක් ම කරනු ද ඇත්තේ ය.

එවන් නායකයෝ සවන් දීමට කාලය කා නොදමති. තමන් ම අසන ප්‍රශ්න වලට තමන් උත්තර දෙමින් “දෙබස“ ගෙන යෑමට ඔවුන් කැමති ය. ඔවුන්ට අවශ්‍ය තමන් කියන කරන සෑම දෙයක් ම අනුමත කරන එහෙයි කියන මිනිසුන් ය. යම් හෙයකින් ඔහුගේ මතයට විරුද්ධ මතයක් පල වූයේ නම් සම්බන්ධය එතැනින් අවසන් ය. වහලුන් මිසක ප්‍රශ්න නගන්නන් අනුගාමිකයන් හැටියට තියා ගන්නට ඔහුට වුවමනා නැත. ප්‍රශ්නය නැගූ තැනැත්තා ඉවත් කෙරෙනු ඇත. එක් විදිහකට බැරි නම් තව විදිහකට ඉවත් කෙරෙනු ඇත.

විශේෂයෙන් ම තම පෞද්ගලික න්‍යාය පත්‍රයට විරුද්ධ වන්නන්ට කොහෙත්ම ඉඩක් නැත. එතැනින් නොනැවති තම න්‍යාය පත්‍රයට එකඟව කටයුතු කරන අයට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අවස්ථාව ද ඔහු ලබා දෙන්නේ ය. අප කලින් ද සඳහන් කළ පරිදි ඔවුන්ගේ බේරීමට ද ඉදිරිපත් වන්නේ ය. ප්‍රශ්නයක් ඇති වන්නේ නායකයා නැති දවසක නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සිදු වුනොත් ය. ඒ නිසා ම මෙසේ නිතී විරෝධී වැඩ කරන්නට බල කෙරුණු මිනිසුන් නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ද පෞද්ගලිකව ම පෙනී සිටිනු ඇත්තේ ය. ඔහුගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සියල්ල කරනු ඇත්තේ ය. නායකයා සිය අනාරක්ෂිත භාවයෙන් සෑහෙන කොටසක් මෙසේ සෙසු අය සමග බෙදා ගෙන සිටින නිසා තම අනාරක්ෂිතභාවය සෑහෙන දුරකට සමහන් කර ගන්නේ ය.

ඔහු විශ්වාස කරන ඇත්ත යනු ඔහු විසින් නිර්මාණය කරන ඇත්ත ය. ඒ තුළ පැහැදිලි බොරු ද ඇතුළු කරනු ලැබේ. ඒ නිර්මාණය කරනු ලබන ඇත්ත එලෙස ම පිලිගන්නේ දැයි බැලීමට ය. එම බොරුද ඇතුළත් නිර්මාණය කරන ලද ඇත්ත පිළිනොගන්නා කෙනෙකුට ඔහු ළඟ සිටිය නොහැකි ය.

තමන් කෙරෙහි දක්වන පක්ෂපාතිත්වයට එහා ගිය එය ඉක්මවා යන ප්‍රතිපත්තියක් අනුගාමිකයෙකුට තිබිම ඔහු රුස්සන්නේ නැත.

එවැන්නෙකුගේ දිගු පාලනයක් අවසානයේ ඇතිවන්නේ හිස් බවකි. මක් නිසා ද යත් රටේ හෝ ආයතනයේ ප්‍රතිපත්තිය කුමක් දැයි ඒ වන විට හඳුනාගත නොහැකි තරමට විකෘතිව ඇති නිසා ය. නායකයාගේ වචනය හැරුණු විට වෙනත් ප්‍රතිපත්තියක් ඉතිරිව නැති නිසා ය. ඒ නිසා ඇතිවන අරාජිකත්වය දරා ගැනීමට අමාරු ය. ඇති කරන රික්තය නැවතත් එවැනි ම ප්‍රභාවක් ඇති කෙනෙකුගෙන් පිරවීමට ඒ වන විට දෙවැනි පෙළ නායකත්වයට ඒ අනුව සිදු වන්නේ ය. නැතිනම් ඔවුන්ට ද යන එන මං නැති නිසා ය.

එහෙම වටපිටාවක අනාරක්ෂිත වන්නේ නායකයා පමණක් නොවේ. ඔහුගෙන් යැපෙන දෙවැනි පෙල ද අනාරක්ෂිත ය. ඔවුන් ද අනාරක්ෂිත බව මග හැර ගන්නේ පැරණි නායකයාට සමාන ප්‍රභාවක් ඇති නායකයෙකු සොයා ගැනීමෙනි. නැත්නම් නිර්මාණය කර ගැනීමෙනි.

උතුරු කොරියාව අතිශයින් ලාබාල කොළු ගැටයෙකු නායකයා ලෙස තෝරාගන්නේ ඒ නිසා ය. කොමියුනිස්ට් පාලනය පෙරලා දැමූ රුසියාව පුටින් කෙනෙකු සොයා ගන්නේ ඒ නිසා ය. කියුබාවේ මෙන් කෙතරම් වයසට ගිය ද නායකත්වය පහසුවෙන් ඉවත් කරන්නේ නැත්තේ ඒ නිසා ය. එහෙම කෙනෙක් නැති වුනහම ඒ රටවල් කඩා වැටෙන්නේ ඒ නිසා ය. ආයතන බංකොලොත්වන්නේ ඒ නිසා ය.

නිශ්චිත ප්‍රතිපත්ති හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයන් තිබෙන රටක හෝ ආයතනයක, එවැනි කඩා වැටීමකට ඉඩක් නැත. නායකයා තීරණාත්මක නැති නිසා ය. සියල්ල සංවිධානය වී ඇත්තේ ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන් වටා නිසා ය. නව නායකයෙකුට දැනටමත් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හා ක්‍රමවේද අනුගමනය කරමින් පාලනය පහසුවෙන් ගෙන යා හැකි නිසා ය. නායකයාට කෙසේ වෙතත් මිනිසුන් ප්‍රතිපත්ති හා ක්‍රමවේදවලට පක්ෂපාත වන නිසා ය. ඒවා ගැන විශ්වාසය තබන නිසා ය.

Advertisements

One thought on “අනාරක්ෂිත බව සහ පක්ෂපාතිත්වය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s