ශුභවාදී, අශුභවාදී සහ යථාර්ථවාදී


201208-omag-quiz-half-empty-glass-600x411

හැම විටම ශුභවාදී වෙන්න. වීදුරුවක ජලය බාගයට ඇති විට එහි භාගයක් අඩුවෙන් ඇතැයි සිතනවා වෙනුවට එය භාගයක් පිරී ඇතැයි සිතන්න. ඕනෑම දෙයක් කළ හැකි යයි සිතන්න. ඕනෑම අරමුණක් ජයගත හැකි යයි සිතන්න. අශුභවාදී වන්න නම් එපා. එය ඔබව අකර්ණම්‍ය කරනු ඇත. ඔබට කළ නොහැකි දෙයක් නැතැයි සිතන්න.

ධනාත්මක චින්තන ගුරුවරුන් විසින් නිතර වහරනු ලබන මේ උපදෙස් දෙස ඔබ විමසිල්ලෙන් බලා තිබේ ද? ඒවා ඇත්ත ද? ඒවා ඒ හැටියෙන් ම ගත හැකි ද? මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව විමසීම ය. ශුභවාදීත්වය, අශුභවාදීත්වය පමණක් නොව යථාර්ථවාදීත්වය ද ගැන කරන විමසුමකින් අපට ඒ සඳහා ප්‍රවේශ විය හැකි ය.

සියල්ල යහපත් අතට හැරෙනු ඇතැයි ශුභවාදියා සිතයි. ඒ පිළිබඳව විශ්වාසයෙන් යුතු ව ඔහු ජීවිතය දෙස බලයි. ඒ නිසා ම වැඩි ආතතියකින් තොරව හේ ජීවත් වෙයි. සියල්ල සිදුවන්නේ හොඳට යැයි ද ඔහු සිතයි. ඉතාමත් අයහපත් දෙයක් දෙස බලා වෙන මොකක්වත් නැතත් අඩුවශයෙන් ඉන් ඉගෙනීමට යම් දෙයක් ඇතැයි ඔහු සිතයි. ඒ නිසා කුමක් සිදු වුව ද එයින් නොසැලී සිටින්නට ඔහුට පුළුවන. ඔහුට තිබෙන වඩාත් ම වැදගත් වාසිය නම් කිසිම කෙනෙකුට හෝ කිසිම අභියෝගයකට ඔහුව නැවැත්වීමට පුළුවන් නොවීම ය.

ඔහුට තිබෙන ගැටළුව නම් සූදානම් නැති කම ය. අවදානම් පිළිබඳ තැකීමක් නැති කම නිසා අවදානමට මුළුමණින් නිරාවරණය වී එහි ප්‍රතිවිපාක විඳින්නට සිදු වීම ය.

අශුභවාදියා එහි දී දිනුම් ය. ඔහු අවදානම් ගැන අපමණ සංවේදිත්වයකින් පසුවන නිසා ම ඒ සඳහා සූදානම් විමට ඔහුට හැකි නිසා ය.

අශුභවාදියා හැම විටම සිතන්නේ කුමක් හෝ මතුව අවුත් තමන්ගේ පැතුම ඉටු නොවෙනු ඇතැයි කියා ය. ඔහුට පෙනෙන්නේ ම එසේ මතු විය හැකි බාධා ය. අශුභවාදිත්වය වැඩි වන තරමට පෙනෙන බාධා ප්‍රමාණයෙන් (ගණනින්) ද විශාලත්වයෙන් ද වැඩි ය. එය පමණ ඉක්මවා ගිය විට සිදු වන්නේ ඔහුට මුකුත් නොකොට පසු බෑමට ය. එහෙත් එක්තරා ප්‍රමාණයකට තිබීමෙන් සිදු වන්නේ ඒ අවදානම් පිළිබඳ තක්සේරුවක් කිරීමටත් ඒවාට සූදානම් වීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් ඔහු උනන්දු වීම ය.

එසේ බැලූ විට පෙනෙනුයේ ශුභවාදියාත් අශුභවාදියාත් සතුව සාධනීය මෙන්ම නිශේධනීය ලක්ෂණ ද ඇති බව ය. ඒ අන්ත දෙකම මුළුමණින් ම කළු හෝ සුදු නොවන බව ය.

යථාර්ථවාදියා ශුභවාදීත් නැත. අශුභවාදීත් නැත. ඒ නිසා එ දෙදෙනාම සතු යහපත් ලක්ෂණ ද අයහපත් ලක්ෂණ ද දෙකම ඔහු උරුම කර නොගනී.

මිනිසුන් දෙදෙනකු එකතුව පැයත් ඇතුළත කළ හැකි වැඩ ප්‍රමාණය කොතෙක් දැයි මේ තුන් දෙනාගෙන් ඇසුවොත් ශුභාවාදියා කියනු ඇත්තේ එක් කෙනෙකු පැයකින් කරණ ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉක්මවන වැඩ ප්‍රමාණයක් ඔවුන් කරනු ඇති බව ය. දෙවැන්නා, එනම් අශුභවාදියා, කියනු ඇත්තේ තනි මිනිහෙකු පැයකින් කරණ ප්‍රමාණය මෙන් දෙගුණයක් නම් කිසිසේත් නොඉක්මවන බව ය. යථාර්ථවාදියා කියනු ඇත්තේ එය දෙගුණයකට ආසන්න වශයෙන් සම විය හැකි බව ය.

ශුභවාදියා වැඩි අගයක් ඇතැයි සිතන්නේ දෙදෙනෙකු වැඩ කරන විට එම වැඩය සංවිධානය කිරීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කළ හැකි ය යන අස්ථානයේ පිහිටා ය. දෙදෙනෙකු වැඩ කරන විට ඔවුන් අතර ඇති වන මත භේද, ඒ කාර්යයට අහිතකර ලෙස බලපානු ඇතැයි යන්න ඔහුගේ මනසට නොනැගේ. එය නැගෙන්නේ අශුභවාදියාගේ මනසට ය.

ශුභවාදියා වැඩ නව ආරකින් සංවිධානය කිරීම ගැන බර තබා වැඩ කරන අතරතුර අශුභවාදියා ඇති විය හැකි මත භේද ගැන සිතා ඒවාට පිළියම් යෙදීමට මුළු බර යොදන්නේ නව ආරකින් වැඩ කළ හැකි ය යන කාරණය අමතක කර දමන්නේ ය.

යථාර්ථවාදියා මේ දෙක ම දකින නිසා ඔහුගේ අවධානය දෙකටම බෙදී යන්නේ ය.

දැන් මේ තුන්දෙනා ගැන ම වෙන වෙනම දන්නා අපගේ තෝරාගැනීම කුමක් විය යුතු ද? විශේෂයෙන් කළමනාකරුවෙකු හැටියට අප මේ අස්ථාන තුනෙන් කවරක් ගත යුතු ද?

උත්තරය සරල ය. ඔහු මේ අස්ථාන තුනටම පිවිසිය යුතු ය. ඒ තුනෙන් ම උපරිමය ගත යුතු ය.

ශුභවාදී විමෙන් ආත්ම විශ්වාසය ද අශුභවාදි වීමෙන් සූදානම ද ලබා ගත යුතු ය. යථාර්ථවාදි වීමෙන් අන්ත දෙකෙන් ම අගතියට නොයෑ සිටීමේ ශක්තිය ලබා ගත යුතු ය. සමබරව සිටීමේ හැකියාව ලබා ගත යුතු ය.

කළමනාකරුවෙකුගේ සාර්ථකත්වය ඇත්තේ මේ අරුම පුදුම එකිනෙකට වෙනස් බලවේග තුන ම බැඳ වැඩ ගැනීමට ඇති හැකියාවේ ය. ඒ නිසා එකක් තෝරාගැනීමට කරන නිර්දේශය එතරම් ඵලදායක වන්නේ නැත.

ජීවිතයේ ඉලක්ක ඇති කර ගැනීමට ශුභවාදීත්වය අවශ්‍ය ය. ඒ ඉලක්කය කරා යන ගමනේ උපාය මාර්ග තීරණය කිරීමට අශුභවාදියෙකු ලෙස ඇතිවිය හැකි බාධා කවරේදැයි පිලිවිසීම අවශ්‍ය ය. ඉලක්ක ජය ගත හැක්කේ එ්වා ගැන දැන ගියොත් ය.

ජීවිතය මුහුණ දෙන ඇබැද්දියක දී ඉන් ගැලවීමට ශුභවාදිත්වය අවශ්‍ය ය. ඒ ගැලවීම සඳහා ගත යුතු මග තීරණය කිරීමට අශුභවාදී ලෙස ඇති විය හැකි බාධා ගැන අවදියෙන් සිටීම අවශ්‍ය ය. ඒවා ඉක්මවීය හැක්කේ කල්තියා දැක  එසේ සූදානම් විමෙන් පමණක් නිසා ය.

වැඩක් ආරම්භ කිරීමේ දී ශුභවාදිත්වය අවශ්‍ය ය. ඒ අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලබා ගන්නට ය. ඒ අවස්ථාවේ අශුභවාදිත්වයට මැදිහත් විමට ඉඩ නොහල යුතු ය.

වැඩය සැලසුම් කිරීමේ දී අශුභවාදී ලෙස සියලුම අවදානම් ලයිස්තු ගත කිරීම අවශ්‍ය ය. වැරදිය හැකි සියලු තැන් කල් ඇති ව හඳුනා ගැනීම අවශ්‍ය ය. වැරදිය හැකි හැම තැනකම වැරදෙනු ඇත යන මර්ෆිගේ නියමය මෙහි දී සැළකිල්ලට ගත යුතු ය. හැම දෙයක් ම හොඳින් සිදුවනු ඇතැයි යනුවෙන් සිතා අවශ්‍ය සූදානම නොගෙන සිටීමෙන් වැළකීමට එවිට පුළුවන.

වැඩය සංවිධානය කිරීමේ දී අවදානම වැඩි කවර සාධක වල දැයි බලා ඒ අවදානම්වලට විශේෂයෙන් සූදානම් වීම අවශ්‍ය ය. අවධානමේ ප්‍රමාණය ද එම අවදානම සිදු වීමේ සම්භාවිතාවය ද යන දෙකම මෙහි දී සැළකිල්ලට ගත යුතු ය. වඩාත් ම වැරදීමට ඉඩකඩ තිබෙන හා එවැනි වැරදීමක දී වඩාත් වැඩි විපාක ඇති කරන අවදානම් සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලක් දැක්විය හැකි ය.

වැඩය ක්‍රියාත්මක කිරීමේ දී මහපොළොවේ සියල්ල දිග හැරෙන හැටි දෙස බලමින් යථාර්ථවාදී වීම අවශ්‍ය ය. ඒ වැඩය පසුවිපරම් කිරීමේ දී මේ තුන් බලවේගයන්ගේ භූමිකාවන් කෙසේ බලපෑවේදැයි බලා එයින් පාඩම් උගෙනීමට ද වග බලා ගත යුතු ය.

අවසාන නිගමනය මෙසේ ය. වැඩ ගත හැක්කේ දෙවියන්ගෙන් පමණක් නොවේ. යක්කුන්ගෙන් ද බැඳ වැඩ ගත හැකි ය. ඒ අප දක්ෂ වෙතොත් ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s