දණ්ඩනයෙන් හික්මවීම


41391

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය පැනවීම ගැන සංවාදය තවමත් කෙරේ. එහි හොඳ නරක ගැන බොහෝ දේ කතා වෙයි. මේ ලිපියේ අරමුණ ඊට තරමක් වෙනස් ය. අප උත්සහ කරන්නේ එම කාරණය කළමනාකරුවෙකුගේ කෝණයෙන් බැලීමට ය. මේ සංවාදයෙන් කළමනාකරුවෙකුට ගත හැකි පාඩම් කවරේදැයි විමසීමට ය.

පසුගිය බදාදා (ජූලි මස 18 දින) මව්බිම පුවත් පතේ පළව තිබූ ප්‍රවෘත්ති කිහිපයක් මෙසේ ය. “පාන්දර යාමයේ ලක්ෂ 18 ක හෙරොයින් අරගෙන යතුරු පැදියේ ගිය කත මාට්ටු“. “කුඩු පැකට් 22 ක් තිසර පටේ හංගාගෙන ගල්කිස්ස උසාවියට ආ එක් දරු මව දැලේ“. කෙසෙල් වත්තේ ‘ලසාගේ‘ ගෝලයෙක් ලක්ෂ 24 ක හෙරොයින් සමග මාට්ටු“. “මත්කුඩු පැකට් කළ මව, පියා සහ දියණිය අගෝස්තු 1 දා තෙක් රිමාන්ඩ්“. “ලක්ෂ 2 ක් වටිනා කුඩු සමග බොරැල්ලේ දී අයෙක් අත් අඩංගුවට“. මේ එක් දිනක ප්‍රවෘත්ති ය. ඊට අමතරව ගරු ගාම්භීර ලෙස කුඩු සඳහා මරණ දඩුවම පවරණ බව ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලදුව, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලදුව, කිසිම බලපෑමක් නිසා වෙනස් නොකරන්නේ යැයි කියූ, ජී එස් පී සහනය නැතිව ගිය ද අකුලා ගන්නේ නැතැයි කියූ, සියල්ලට පසුව සිදු වූ දේ ය.

මේ නිශ්චිත සාක්කිවලින් අප බැස ගත යුතු නිගමනය කුමක් ද? මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා යැයි කළ ප්‍රකාශය මත්ද්‍රව්‍ය පාලනයට කිසිදු බලපෑමක් කර නැති බව ය.

එක හේතුවක් විය හැක්කේ කිව්වාට කරන එකක් නැතැයි සිතීම විය හැකි ය. එහෙත් එය ම ද? කළමනාකරණය පිළිබඳ සංවාදයකින් මෙය විමසිය හැකි ය.

අභිප්‍රේරණය සම්බන්ධ අතිශයින් ප්‍රාථමික, එහෙත් ශත වර්ෂ ගණනාවක තිස්සේ පැවත එන නියාමයක් වෙයි. ඒ යහපත් චර්යාවට යහපත් ප්‍රතිඵලත්, අයහපත් චර්යාවට අයහපත් ප්‍රතිවිපාකත්, ලැබෙන ලෙස වග බලා ගන්නේ නම් මිනිසුන් අයහපත් ක්‍රියාවලින් ඈත් කර යහපත් දෙයෙහි නිරත කළ හැකි බව ය. බැලූ බැල්මට මෙහි විවාද කළ යුතු යමක් නැත.

මෙහි ම දිගුවක් ලෙස අපට තව නියාමයක් හමුවේ. ඵල විපාක වැඩි වූ විට, එනම් තෑග්ග විශාල වූ විට හා දණ්ඩනය තිරශ්චීන වූ පමණට, මිනිසුන් මේ නියාමය ඔස්සේ මෙල්ල කිරීම වඩාත් පහසු වන බව ය.

මරණ දණ්ඩනය පනවන්නේ ද, මේ වඩාත් ප්‍රසාරණය කරන ලද, දෙවැනි නියාමය ප්‍රයෝජන ගනිමිනි. අප කලින් දැක්වූ ප්‍රවෘත්තිවලින් පමණක් නොව ලෝකයේ අනෙත් රටවල අත්දැකීම් වලින් ද පෙනෙන්නේ මේ නියාමය ද සරල වැඩි බව ය. දණ්ඩනය වැඩි කළ පමණින් සියල්ල හරි නොයන බව ය. ලොව වඩාත් ම අපරාධ සිදුවන රටවල් දහයෙන් හයකම මරණ දඩුවම ක්‍රියාත්මක වේ. අපේ නියමය හරි නම් එය එසේ විය නොහැකි ය.

අපට නිවැරදි යැයි දැනෙන මේ නියාමයේ ඇති වැරැද්ද අප විසින් විමසිය යුතු ය.

මේ නියාමය තුළ ඇති පළමු වැරැද්ද නම් කෙනෙකුට දඩුවමක් වන දෙය තව කෙනෙකුට වරප්‍රසාදයක් විය හැකි වීම ය (වරප්‍රසාදයක් දඩුවමක් ද විය හැකි ය). ආඥාදායක පාලකයෙකුගෙන් ලැබෙන සිර දඩුවමක් දේශපාලකයෙකුට පදක්කම් ලෙස පැලඳිය හැකි වීම මේ සඳහා දිය හැකි එක් උදාහරණය කි. තෑග්ගක් ලෙස ලබන සීනි කෑමක් කෙනෙකුගේ දිය වැඩියාව උත්සන්න කළ හැකි වීම තව එකකි. උසස්විමක් සමග ලැබෙන ස්ථාන මාරුවක් කෙනෙකුට ජිවිතයේ වටිනා දෙයින් තමන් දුරස්ථ කරන උරචක්‍රමාලයක් විය හැකි වීම තව එකකි. දැනටත් ජිවත් වන්නේ ගිනි ගෙන දැවෙන මානසික වටපිටාවක නම් මරණය පවා කෙනෙකු සහනයක් ලෙස දැකිය හැකි විම තව උදාහරණයකි.

නියාමයේ ඇති දෙවැනි වැරැද්ද නම් දඩුවම, දඩුවමක් ලෙස ම සැලකුවේ වූව ද, ඊට තමන් අසුවීමේ ඉඩකඩ අඩු නම්, එසේ අසු වූ විටක පවා ගැලවීමේ ඉඩකඩ වැඩි නම්, දඩුවමේ ප්‍රමාණය වැඩි කිරීමෙන් වැඩක් නැති වීම ය.

නියාමයේ ඇති තෙවැනි වැරැද්ද නම් තමන් කරන ක්‍රියාව මග හැරීමෙන් තමන්ට අයත් වන පාඩුව ඉහළ නම් දඩුවම ගැන මිනිසුන් නොසළකා හැරීම ය. ඒ ලාභය වෙනුවෙන් අවදානමක් ගැනීමට ඉදිරිපත් විම ය. මත්ද්‍රව්‍ය නීති විරෝධී කර ඇති තත්වය තුළ එයින් ලද හැකි ලාභය අති විශාල ය. නීති තද කිරීම නිසා ද දඩුවම ඉහළ යෑම නිසා ද ඒ සඳහා ඉදිරිපත් වන මිනිසුන් අඩු වූ කල ද එයින් ලද හැකි ලාභය තවත් විශාල වන්නේ ය.

ඒ නිසා දඩුවම කෙනෙකු යමකින් ඉවත් කිරීමට දායක වන ප්‍රමාණය අපට පහත සමීකරණය ඇසුරෙන් දැක්විය හැකි ය.

දඩුවමේ බලපෑම = දඩුවම දඩුවමක් ලෙස සැළකීමේ ප්‍රමාණය x දඩුවමක් ලැබීමේ ඉඩකඩ / තමන් ලබන පාඩුව

මේ නිසා යම් බලපෑමක් දඩුවමක් විසින් ඇති කළ යුතු නම් කළමනාකරු මේ සමිකරණය අනුව ක්‍රියාත්මක වීමට වග බලා ගත යුතු ය. දැන් අපි මුලින් ගත් උදාහරණය ම ගෙන මේ සමීකරණය විමසමු.

මත්කුඩු ජවාරමට සම්බන්ධ කර ගන්නා බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අමාරුවකට වැටුණු අය ය. සාමාන්‍ය ආදායම් මාර්ගයකින් පමණක් ජිවිතය ගොඩ දා ගත නොහැකි අය ය. ඒ තරමට ණය බරිත වී සිටින අය ය. එවැනි කෙනෙකු දැනටමත් ජීවිතයෙන් ගොඩ ඒමට මගක් නැතිව සිය දිවි නසා ගැනීම ගැන සිතන අයෙකු නම් මරණ දඩුවම හෝ මරණය කොහොමටත් තිගැස්මක් ඇති කරන්නේ නැත.

ඊට අමතරව ඇතැම් අය කුමක් හෝ හේතුවක් නිසා මේ මත් උගුලට හසු වී තිබේ. ඔවුන් මේ මාෆියාවෙන් මිදුනොත් ඔවුන් පසු පස මින් ඉදිරියට හඹා එන්නේ පොලීසිය පමණක් නොවේ. මත් ද්‍රව්‍ය විකුණන ජාලයේ මැරයින් ද ඒ හඹා යෑමට එක් වේ. ඒ ඔවුන් ද්‍රෝහී වනු ඇතැයි යන බිය නිසා ය. මේ හේතු නිසා උසාවියෙන් ලබන මරණ දඩුවමේ අමතර විශේෂයක් ඔවුන්ට දැනෙන්නේ නැත.

ඊළගට අපි දඩුවම් ලැබීමේ ඉඩකඩ විමසමු. ඒ සඳහා පළමුව අසු වන්නට ඕනෑ ය. අසු වූ විටක බේරගන්නට මුදල් වියදම් කරන්නට කැමති හාම්පුතුන් ඉන්නවා නම් එතැන බේරිමේ ඉඩක් තිබේ. දෙවනුව උසාවියකින් වැරදි කරුවන් කිරීමට වුවමනා ය. දක්ෂ නීතිඥයෙකුගේ සේවය හාම්පුතා විසින් ලබා දෙන්නේ නම් එතැනින් ද බේරිමේ ඉඩක් තිබේ. අපරාධ නඩු කොහොමටත් කල් යන්නේ ය. නඩුවක් විසඳෙන සාමාන්‍ය කාලය වසර 17 කි. ඉතින් ඒ අතර තව බොහෝ දේ සිදු විය හැකි ය. මත්කුඩු පවුඩර් විය හැකි ය.

දැන් අපි අවසන් සාධකය දෙස බලමු. දඩුවමින් බේරීම සඳහා මේ මත් ද්‍රව්‍ය රැකට් එකෙන් ඉවත් වන්නේ නම් පාඩුව ඉහළ ය. වෙන කුමක් කළත් මේ ලැබූ ආදායම පහසුවෙන් ලබා ගත නොහැකි ය.

දැන් මේ සියල්ල සමිකරණයට දමා විමසන්න. ඔබට පෙනෙනු ඇත්තේ දඩුවමේ බලපෑම අවම බව ය. කළ යුත්තේ මේ මිනිසුන් පුනරුත්ථාපනය කිරීම ය. ඔවුන්ට අධ්‍යාපනයක් දීම ය. රැකියා හා ව්‍යාපාරික අවස්ථා ලබා දිම ය. මත් ද්‍රව්‍ය වලට යොදා ඇති තහංචි අවම කිරීම ය. එහි මිල පහත හෙලීම ය. එහි අවදානම ඉවත් කිරීම ය.

අප මේ විස්තරය කළේ මේ රටේ දේශපාලනඥයන් මේවා බලා තම තීරණයන් වෙනස් කරනු ඇතැයි යන කල්පනාවකින් නොවේ. අපේ කළමනාකරුවන් මේ සංසිද්ධීන්ගෙන් උගෙන තමන්ගේ කළමනාකරණ ක්‍රමවේදයන් මනාව සකස් කර ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් ය.

ඔබේ ආයතනයෙන් යමෙකු අස් කිරීම, එසේ අස් කරන තැනැත්තාට දඩුවමක් වන්නේ ආයතනය යහපත් වන්නේ නම්, ආකර්ෂණිය වන්නේ නම්, පමණ ය. ආයතනය වැඩකට නැති එකක් නම්, අස් කරනවාය යන තර්ජනයෙන් වැඩක් නැත. එවන් තැනකින් අස් කරනු ලැබීම ම ඔහුට / ඇයට ප්‍රතිලාභයක් වීමට පවා ඉඩ තිබේ. ඊට අමතරව ඔබේ තර්ජනය මිනිසුන් විසින් බාර ගනු ඇත්තේ ඔබ වචනය අනුව වැඩ කරන කෙනෙකු නම් පමණ ය. එසේ වැඩ කොට සාර්ථකත්වය පෙන්වා ඇත්නම් පමණ ය. අමාරුකාරයින් කීප දෙනෙකු හෝ දැනටම අස් කර තිබේ නම් පමණ ය. ඉතින් දැන් ඔබ කළ යුතු හරිය දන්නේ ය. තිබෙන්නේ වැඩ පටන් ගැන්මට ය. අභිප්‍රේරණ නියාමයන් ගැන වැටහීමකින් ආයතනය නැවත සකස් කිරීම ය. ඔබේ වචනය ක්‍රියාවෙන් සනාථ කිරීම ය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s