ප්‍රතිචාරය වැදගත් ය


කෙනෙකුගේ නරක ක්‍රියාවක් අඩුපාඩුවක් අපට ලොකුවට පෙනේ. එවැනි විටක ඒ ගැන තමන්ගේ විරෝධය දැක්වීමට ඇතැම් දෙනෙක් පසුබට නොවෙති. ඇතැම් විටක ඒ විරෝධය වඩාත් හොඳින් කළ හැක්කේ කෙසේ දැයි නොසිතා මුලට නැගෙන සිතුවිලි වලින් මෙහෙයවනු ලැබ එකවර විරෝධය පල කරන්නට පවා එවන් අය පෙළඹෙති. ඇතැම් විට ඒ විරෝධය සම්බන්ධයෙන් ඔවුහු අතිශය නිර්දය ද වෙති.

අයහපත් ක්‍රියාවක් ඉදිරියේ මුවින් නොබැණ සිටීම වැරදි ය. බොහෝ විට එසේ නිහඩව සිටින අය සිතන්නේ තමන්ගේ මැදිහත් වීම නිසා තමන්ට අනවශ්‍ය කරදරයන්ට මුහුණ දීමට සිදු වෙතැයි කියා ය. ඊට අමතරව ඒ ක්‍රියාව සිදු කළ පුද්ගලයා තමන් සමග පුද්ගලිකව අමනාප වෙතැයි කියා ය. මේ පසු බෑම නිසා අයහපත් ක්‍රියා දිගින් දිගට සිදු වේ.

ඒ නිසා ම අප එවැනි ක්‍රියාවන්ට විරෝධය දැක්වීම වැදගත් ය. අවශ්‍ය ය. සාධාරණ ය.

එහෙත් ඒ විරෝධය පළ කළ යුත්තේ කෙසේ දැයි යන ප්‍රශ්නය අප සැළකිල්ලෙන් කාලය ගෙන විමසිය යුතු ය. ප්‍රතිචාරය සැළසුම් කළ යුතු ය. පස් මහ බැලුම් බැලිය යුතු ය. ඒ ප්‍රතිචාරය දැක්විය යුත්තේ කුමන වෙලාවක, කුමන පිරිසක් ඉදිරියේ ද, නැතිනම් පෞද්ගලිකව ද, යන්න විමසිය යුතු ය. ඒ ප්‍රතිචාරය කෙසේ විය යුතු ද, ඒ සඳහා කුමන මාධ්‍යයක් භාවිතා කළ යුතු ද, කෙසේ සංකේතකරණය කළ යුතු ද, කුමන වචන භාවිතා කළ යුතු ද, කෙසේ කරුණු පෙලගැස්විය යුතු ද, කුමන උපක්‍රම භාවිතා කළ යුතු ද, යන්න ගැන සිතිය යුතු ය. ඒ සන්නිවේදනය තුළ කුමක් කළ යුතු ද යන්න පමණක් නොව කුමක් නොකළ යුතු  ද යන්න ගැන ද අවධානයට යොමු විය යුතු ය. කෙටියෙන් කියතොත් ක්ෂණිකව ප්‍රතික්‍රියා කරනු වෙනුවට හිතා මතා ප්‍රතිචාර දැක්විය යුතු ය.

අප බොහෝ විට කරන්නේ විවේචනය ය. ඒ බොහෝ විට අප පුරුදු ව සිටින විදිහ අනුව ඉබේ සිදු වන එකක් වන්නට ඉඩ තිබේ. ඒ වෙනුවට විචාරයක් කළ හැකි දැයි සොයා බැලිය යුතු ය. විවේචනයක ඇත්තේ ඍණ කරුණු පමණ ය. විචාරයක ඍණ හා ධන දෙකම අඩංගු ය. පළමුවෙන් ධනත් දෙවනුව ඍණත් ඉදිරිපත් වේ නම් එය අසා සිටීමට ඇති ඉඩ විශාල ය.

අප බොහෝ විට ක්‍රියාව හා පුද්ගලයා පටලවා ගන්නෙමු. අප විවේචනය කළ යුත්තේ නිශ්චිත ක්‍රියාව මිස පුද්ගලයා නොවේ. එහෙත් අප හැගීම් වලින් පරල වී ඇති විටෙක එල්ලය වන්නේ පුද්ගලයාට ය. ක්‍රියාවට නොවේ. පුද්ගලයා පිළිබඳ අනුකම්පාව ඇතිව ක්‍රියාව විවේචනය කළ හැකි නම් ඒ තුළ ලබා ගත හැකි සාර්ථකත්වය වැඩි ය.

අපේ අරමුණ පුද්ගලයා නිවැරදි කිරීම නම් අප විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවේසම් විය යුතු ය. අපේ අරමුණ පුද්ගලයා නිවැරදි කිරීම වෙනුවට සෙසු පුද්ගලයින් නිවැරදි කිරීම නම් විවේචනය නුසුදුසු වන්නේ අඩුවෙනි. එවන් විටක වුව විචාරය යොදා ගත හැකි නම් එය පිළි ගන්නට සෙසු අය තුළ පවා ඇති සම්භාවිතාවය වැඩි විය හැකි ය. ඒ නිසා විවේචනය මග හැරීම බොහෝ අවස්ථාවල හොඳ ය. එය පුරුද්දක් හැටියට පවත්වා ගෙන යෑම ඒ නිසා ම යහපත් ය.

වඩාත් බරපතල ප්‍රශ්නය එය නොවේ. අයහපත් වැඩ මතු කර විවේචනය කරන අපට යහපත් වැඩ මග හැරීම ය. යහපත් වැඩක් නිසා ඒ ගැන අමතරෙන් කටයුතු කිරීම අවශ්‍ය නැතැයි බොහෝ දෙනා සිතති. එහෙත් මේ පරස්පර ප්‍රතිචාරය නිසා යන පණිවුඩය සමාජයට ඇති කරන බලපෑම ඍණ ය.

අවධානය ලැබෙන්නේ අයහපත් වැඩ වලට පමණක් නම් කෙනෙකුට අවධානය ලබා ගැනීම සඳහා ඇති එකම විකල්පය අයහපත් වැඩ කිරීම ය. එයින් ඇති කරන අභිප්‍රේරණය යහපත් නැත. දිරි දෙන්නේ නරක වැඩ කිරීමට නිසා ය.

ඇතැම් දෙනා යහපත් වැඩ නොදුටුවා සේ මග හැර යන්නේ ඒ සඳහා කරන අගැයීමකින් එම පුද්ගලයා නරක් විය හැකි යයි සිතන නිසා ය. සාර්ථකව යහපත්ව වැඩය අවසන් කළ පුද්ගලයා ඒ නිසා ආඩම්බර විය හැකි යයි සිතන නිසා ය. එය භාවිතා කර වැඩි අයිතීන් ඉල්ලතැයි හගින නිසා ය. ඔහුට / ඇයට සෙසු අයට වඩා විශේෂ සැළකිල්ලක් දෙන්නට සිදු වෙතැයි බිය නිසා ය. ඇතැම් විටෙක ඔහු / ඇය තමන්ට වඩා ඉහළට යතැයි සිතන නිසා ය. තමන්ට වඩා ඉහළ පිලිගැනීමක් සෙසු අයගෙන් ඔහුට / ඇයට ලැබෙතැයි කල්පනා කරන නිසා ය. තමන්ට පසු කලෙක ඒ තැනැත්තා අභියෝගයක් වෙතැයි සැකය නිසා ය.

යම් වැඩක් අගය කිරීමට ඉදිරිපත් වන අය පවා යහපත් වැඩකට ප්‍රතිචාරය ප්‍රශංසාවකට ලඝු කිරීමට කැමති ය. එය පහසු නිසා ය. ඊට අමතරව එවැනි ප්‍රශංසාවක් හරහා පුද්ගලයා තමන් වෙත දිනා ගැනීමට හැකි වෙතැයි සිතන නිසා ය. ඒ නිසා ම ඒ තැනැත්තා කළ යහපත් වැඩක් තුළ පවතින ඍණ කාරණා අමතක කර දැමීමට එවැනි විටෙක කටයුතු කෙරෙන්නේ ය.

එවැනි වැඩක් දෙස වුව ද විචාරශීලීව බලන්නට හැකි නම් එය වඩාත් අගනේ ය. ඒ තවදුරටත් වැඩි දියුණු කළ හැකි තැන් ගැන අවධානය දක්වමිනි. එවැනි තුලිත විචාරයක් හුදු ප්‍රශංසාවකට වඩා එය ලබන තැනැත්තා විසින් අගයනු ඇත්තේ ය. විශේෂයෙන් දියුණු වීමට කැමති පුද්ගලයන් විසින් අගයනු ඇත්තේ ය. ඒ එවැනි විචාරයක් සත්‍යයට ළග නිසා ය. මූණිච්චාවට කරනු ලබන ප්‍රශංසාවකට වඩා අගයක් ඊට ලැබෙන නිසා ය.

සාධනීය ප්‍රතිචාරයක් ලබා දෙන විට කුමක් නිසා තමන් එය සාධනීය ලෙස දකින්නේ දැයි කීමට බොහෝ දෙනා මහන්සි නොගනිති. එහෙත් ප්‍රතිචාරයේ අගය වැඩි වන්නේ එය හුදු ප්‍රශංසාවකට එහා ගොස් හේතු සාධක මත කෙරෙන අගැයීමක් දක්වා වර්ධනය වන්නේ නම් ය. සාධනීය දෙය කුමක් දැයි වඩාත් නිවැරදිව තෝරා ගැනීමටත් එය වඩාත් තීව්‍ර කර ගැනීමටත් එයින් අගයනු ලබන්නාට ඉඩකඩ ලැබෙන්නේ ය. නැතිනම් ඔහු සාධනීය ලෙස ගන්නේ තමන්ගේ අඩුපාඩුවක් වීමට ද ඉඩකඩක් පොදුවේ හොඳයි කියන ප්‍රතිචාරයක් තුළ ඇති නිසා ය.

වාචික ප්‍රතිචාරයක් දැක්වීමට ඉක්මන් වන සමහරු එය සනාථ කිරීමට හැකි අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නේ නැත. කෙනෙකුගේ කටයුතුවල සඵලත්වය ඉහළින් අගයන කළමනාකරුවෙකු එසේ සඵලත්වය නොපෙන්වූ කෙනෙකුට අර මුල් කී තැනැත්තා පැත්තකට දමා උසස් වීමක් දෙන්නේ නම් එවැන්නෙකු විසින් කරන ලද වාචික ප්‍රතිචාරයට වටිනාකමක් නැති වෙයි.

එයට හේතුව වචන හිස් නිසා ය. ඒවාට තේරුම සැබෑ ලෙස සපයනු ඇත්තේ අපගේ ක්‍රියා මගින් අප විසින් වචනයෙන් කළ ප්‍රකාශ සනාථ කරනවා නම් පමණක් නිසා ය. එසේ නොවන තාක් ඒවා සැළකෙන්නේ ප්‍රලාප ලෙස ය. ඒ නිසා දක්වන ප්‍රතිචාරයන් වචනයට සීමා නොකිරීමට ද කළමනාකාරිත්වය වග බලා ගත යුතු ය. එය යහපත් ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් පමණක් නොව අයහපත් ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් ද සත්‍ය ය.

එසේ නිසි ප්‍රතිචාර නොදක්වන නායකයන් නායකත්වය දෙන්නේ නැත.