එක හිත දෙතැනක නොව දස අත ය


ඇතැම් කළමනාකරුවන්ට ඉස්පාසුවක් නැත. ඔවුන් අද එකක් කියන්නේ ය. හවසට කල්පනා වන්නේ එය නොව වෙන එකක් කළ යුතු බව ය. පසු දා පාන්දර ඔහු පැමිණ තවත් යමක් කියන්නේ ය. තමන් ඊයේ කී දෙය සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි නොකියාම ඔහු මේ නව උපදෙස් දෙන්නේ ය. එදින ම හවස් වන විට ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියන්නේ ය. උදේ කී දෙය සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි දැන් නොකියන්නේ ය.

මේ උපදෙස් ලබන අනුගාමිකයාට දෙවියන්ගේ පිහිට ය. ඔහු හසරක් නොදැන නොදැක අතරමං වන්නේ ය.

අද ලැබූ උපදෙස් අනුව නැගෙනහිර දෙසට ගිය ඔහු පසු දා උදෑසන ලබන උපදෙස් අනුව නැවතත් පළමු ස්ථානයට පැමිණ බටහිරට ගමන් අරඹන්නේ ය. හවසට උපදෙස් ලැබෙන්නේ උතුරට යන ලෙස ය. ඔහුට සිදුවන්නේ  නැවතත් ආරම්භක තැනට පැමිණ උතුරට ගමන් ඇරඹීමට ය.

ටික දිනක් ගත වන විට අනුගාමිකයාට පෙනෙන්නේ තමන් විසින් ගොස් ඇති නිරපේක්ෂ දුර විශාල වුව ද ශුද්ධ දුර  ඉතාම අඩු බව ය. ඒ නිසා දැන් ඔහුට චකිතයක් ඇතිවේ.

සතිය අවසානයේ පැමිණෙන නායකයා විමසනු ඇත්තේ තාමත් මෙතැන ද කියා ය. වැරදි කාරයා වන්නේ නායකයාගේ උපදෙස් අනුව හතර අතේ ගිය එකා ය. නායකයාට, එයට වගකිව යුත්තේ තමන් යැයි ඇතැම් විට තේරෙන්නේ නැත. තේරුණත් පිලිගන්නේ නැත.

මෙසේ වන්නේ එක හිත දෙතැනක නොව, හතර අත නොව, දසත යන නිසා ය. මේ සංසිද්ධිය අත් විඳින අනුගාමිකයා නායකයාගේ උපදෙස් මෙසේ දසත දුවන බව නායකයාට අමාරුවෙන් වුව පෙන්වා දිය යුතු ය. ඒ අවසානයේ ප්‍රගතිය සම්බන්ධයෙන් නායකයා නොව අනුගාමිකයා වගකිව යුතු වන නිසා ය.

එවැනි උපදෙසක් දීම අපට පහසු වුව ද නායකයෙකුට තමන් වැරදි යැයි කියා සිටීමට අනුගාමිකයෙකුට බැරි ය. අඩුම තරමින් අපහසු ය.

නායකයාගේ මගට හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිවිසෙනවා වෙනුවට අනුගාමිකයා විසින් තමන් ගත යුතු මග නිර්ණය කළ යුතු ය. එහි වගකීම තමන් බාර ගත යුතු ය. නායකයාගෙන් විමසිය යුත්තේ ඔහු අපේක්ෂා කරන ගමනාන්තය පමණකි. ඒ ගමනාන්තයට යෑමේ වගකීම බාර ගෙන, ඊට පසු ඒ සඳහා යන මාවත නිගමනය කිරීමේ වගකීම අනුගාමිකයා විසින් දැරිය යුතු ය. මාර්ගය සම්බන්ධයෙන් නායකයාගෙන් ලැබෙන උපදෙස් සළකා බැලුවාට කමක් නැත. එහෙත් එය දේව භාෂිතය ලෙස නොගත යුතු ය. එය තවත් එක විකල්පයක් ලෙස පමණක් ගත යුතු ය.

නායකයා දසත ගියාට අනුගාමිකයා එසේ නොකිරීමට ප්‍රවේසම් විය යුතු ය. වග බලා ගත යුතු ය.

එය කියන තරම් පහසු කාර්යයක් නොවේ. වැරදුනොත් එහි වගකීම පැටවෙන්නේ තමන්ට නිසා ය. ඒ නිසා ම නායකයා කියන කියන විදිහට යන මග තීරණය කරන්නට බොහෝ අනුගාමිකයෝ වග බලා ගනිති. අවසානයේ  සිදු වන්නේ නායකයා තරමට තමන් ද අතරමං වීම ය. එහි වැරැද්ද අප කලින් ද කී පරිදි අවසානයේ අනුගාමිකයා  මත්තේ කඩා වැටීම ය.

ඇතැම් අනුගාමිකයන් යා යුතු මග පිළීබඳව නායකයාගේ උපදෙස් වලට වඩා වෙනස් තීන්දු තීරණ ගැනීමට බිය නොවෙති. අඩු වශයෙන් විකල්ප මාර්ග ගැන තමන්ගේම විමසුමක් කරන්නට උකටලී නොවෙති. එහෙත් එසේ කරන හැම වාරයකම නායකයාට ඒ බව දන්වා ඔහුගේ / ඇයගේ අනුමැතිය ලබා ගැනීමට එයින් ඇතැමෙකුට අවශ්‍ය ය. එසේ නොකළහොත් වෙනස් මගක යනු දකින නායකයා විසින් ගමන නවත්වන්නට ඉඩ ඇති නිසා ය. ඒ ඉඩ කෙසේවත් බැහැර කළ නොහැකි ය.

තමන්ගේ උපදෙස් වලට පිටින් ගොස් වැඩ කරන්නට හදන අනුගාමිකයන් නායකයන්ට රුස්සන්නේ නැත. ඒ නිසා ම මෙසේ අනුමැතිය පැතීම සාධාරණ ය. එහෙත් අනුමැතිය ලබා ගත හැක්කේ අතිශය දුර්ලභ අවස්ථාවක පමණ ය. බොහෝ කොට ලැබෙන උත්තරය ඍණ ය. ඒ උත්තරයෙන් එහාට විමසන්නට ද බොහෝ අනුගාමිකයෝ පසුබට වෙති. නැවතත් ඒ ඔබත් මාත් දන්නා සාධාරණ හේතු ඇතිව ය.

අනුමැතිය නොලැබුනොත් සිදුවන්නේ විකල්ප මාර්ග සෙවීමට ගත් උත්සහය හා කාලය අපතේ යෑම ය. ඒ නිසා ඇතැමෙකු කරන්නේ අනුමැතිය නොපතා තනි තීන්දුවක් ගෙන තෝරාගත් මග යෑම ය. එය සාර්ථක වුවහොත් නායකයාට කළ හැකි දෙයක් නැත. මක් නිසා ද යත් නිවැරදිව අවසන් කරන ලද කටයුත්තක් සම්බන්ධයෙන් දොස් පැවරිය නොහැකි නිසා ය.

ඒත් ඇතැම් විට එසේ සිතන අප වැරදි ය. නිවැරදිව අවසන් කළේ වුව ද අනුමැතිය නොගැනිම සම්බන්ධයෙන් උත්තර ඉල්ලන නායකයෝ ද අප අතර සිටිති. ඒ කියන්නේ අත්තනෝමතික නායකයෙකුට හසූ වූ විට කිසිදු අතකින් ගැලවීමක් නැති බව ය.

කෙස් වුව ද වැඩේ නිවැරදිව අවසන් කළේ නම් උත්තර බඳින්නට පුළුවන. ඒ උත්තර පිළිගත්තත් නැතත් තමන් වැඩය නිවැරදිව කළ බවට සතුටවත් අවසානයේ ඉතිරි වන නිසා එහි ලොකු ම අවුලක් ද නැත. එවන් විටෙක නායකයෙකුට අනුගාමිකයෙකු සම්බන්ධයෙන් කළ හැකි එක ම දෙය අවවාදයක් කිරීම පමණක් නිසා තිබෙන්නේ ඒ අවවාදය ඉවසා වැදෑරීම පමණ ය.

ප්‍රශ්නය වන්නේ වැඩේ යම් හෙයකින් හබක් වුව හොත් ය. වැරදුනොත් ය. මුළු මණින්ම සාර්ථක නොවී අඩුපාඩු ඇති වුව හොත් ය. එවන් වෙලාවක උත්තර බැඳීම පහසු නැත.

තමන් කළ විදිහට කටයුතු කළේ නම් වැඩේ හරියන්නට ඉඩ තිබුනේ යැයි නායකයා කියන පම්පෝරි කතාවට දැන් සවන් දෙන්නට ද අනුගාමිකයාට අමතර වශයෙන් සිදු වෙනු ඇත්තේ ය. ඒ නිසා නියම කරන දඩුවම් වලට ද යටත් වන්නට ඔහුට / ඇයට සිදු වනු ඇත්තේ ය.

බොහෝ අනුගාමිකයන් නායකයා කියන දෙයට පිටින් නොයන්නේ, නායකයා විසින් තමන් දස අතේ දිවෙව්ව ද, හති වැටෙන තෙක් දිවෙව්ව ද, ගතු නොකියා මුණිවත රකින්නේ ඒ නිසා ය.

Advertisements