ආසයි බයයි. ඒ වෙනසේ හැටියි.


වෙනසක් සම්බන්ධයෙන් මිනිසුන්ගේ ප්‍රතිචාරය දෙආකාරය ය. වෙනසට මිනිස්සු කැමති ය. ආදරේ ය. ඒ වගේ ම අකමැති ය. බය ය. ඒ කියන්නේ ආසයි බයයි යන දෙකම ඒ සම්බන්ධයෙන් පවතින බව ය.

හැමදාම එක ම දේ දකින එක වස කම්මැලි වැඩකි. නිතර දකින කුකුළාගේ කරමලයත් සුදු යැයි කියන්නේ ඒ නිසා ය. මිනිසුන් සංචාරයට කැමත්තේ ද අලුත් අලුත් දෑ දැකිය හැකි නිසා ය. වෙනසට කැමති නිසා ය.

එහෙත් මේ ආසාව සමග අත්වැල් බැඳ ගෙන එන තව දෙයක් තිබේ. ඒ බය ය. අලුත් දෑ හුරු නැත. ඒ සමග කෙසේ ගනුදෙනු කළ යුතු දැයි දන්නේ නැත. අවිනිශ්චිතතාවය හැමවිටම බියට හේතු වේ. යන මං නොදැන අතරමං වූවෙකුට එන සිතුවිලි වලින් සිත පිරේ.

ඒ නිසා ම බොහෝ මිනිස්සු සිය ආසාව යටපත් කර ගෙන වෙනස මග හරිති. හුරුපුරුදු කම්මැලි ජීවිතයට ම කොටු වෙති. දන්න යකා නොදන්නා දෙවියාට වඩා යහපත් යැයි කියමින් තමන් ගත් පියවර සාධාරණීකරණය ද කරති.

තමන් වෙනස් කිරීම මෙසේ මග හරින ඇතැම් මිනිස්සු බොහෝ විට සෙසු මිනිසුන් වෙනස් විය යුතු යැයි අදහති. වෙනත් ලෙසකින් ඔවුන් කියන්නේ අවදානම ගත යුත්තේ තමන් නොවේ, අනෙකා කියා ය. ඒ තමන්ගේ වාසිය පිණිස ය. කවුරු වෙනස් වුනත් ඔවුන් නම් මේ කපේ දී කෙසේ වත් වෙනස් වන්නේ නැත. වැඩි දෙනෙක් අනුන් වෙනස් වෙනවාට පවා කැමති නැත. ඒ එවිට තමන්ට ද වෙනස් වන්නට සිදු විය හැකි යයි සිතීම ය. ඒ නිසා ම එහෙම වෙනස් වන්නට හදන අයට සමාජය ලවා දඩුවම් දීමට ද මේ දෙවැනි කී පිරිස සැදී පැහැදී සිටිති.

වරායේ නැංගුරම් ලූ නැවක් මහ සයුරේ රුදු රළ සමග පොරබදන නැවකට වඩා සුරක්ෂිත ය. වරාය කොහොමටත් සන්සුන් ය. හිතට නිවනක් ලැබීමට පවා ඒ සන්සුන් බව උදව් වේ. එහෙත් නැව් තිබෙන්නේ නැංගුරම් ලා තැබීමට නොවේ. මහ සයුරේ අභියෝගයන් ජය ගෙන ගමනාන්තයට යෑමට ය. ත්‍රාසය මුසු ඒ ගමන ජයගැනීම ම සතුට ගෙන එන වැඩකි. එහෙත් වෙනසකට බය මිනිස්සු නැංගුරම් ලා එක තැන රැඳීමත් මහා දෙයක් ලෙස සළකා එයින් සෑහීමකට පත් වෙති.

වෙනසට බය මේ මිනිස්සු අනාගතය මග හරිති. ඔවුන් ඒ වෙනුවට ඉන්නේ අතීතයට වහ වැටිලා ය. ගෙවී අවසන් වූ අතීතයට වහ වැටිලා ය. ඒ තුළ අභියෝග නැත. තලු මර මරා රස විඳිනවා හැරෙන්නට බය විය යුතු කිසිවක් අතීතය තුළ නැත. ඉතින් රාවණා ගැනත් දෙදහස් පන්සියක මහගු අතීතය ගැනත් වන වනා සිටිය හැකි ය. ඒ තුළ පිනුම් ගසන්නට වුව බය වෙන්නට දෙයක් නැත. රාවණා උදහස් වී නැගිට විත් කරදර කරන එකක් නැත.

අනාගතය එසේ නොවේ. එය නිර්මාණය කර ගත යුතු එකකි. එසේ කිරීම සඳහා සිහින දැකිය යුතු ය. සිහිනයන් සැබෑ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් සැළසුම් කළ යුතු ය. ඒ ක්‍රියාමාර්ගයන් තුළ වැඩ කළ යුතු ය. අතීතය වෙනස් ය. ඒ සම්බන්ධයෙන් කළ යුතු යැයි කියා දෙයක් නැත. තිබෙන්නේ කළ හැකි දේ පමණ ය. ඒ එක්කෝ එයට තඩි බෑම ය. නැත්නම් එය උඩ දැමීම ය.

ඒ අතරිනුත් උඩ දැමීම ලෙහෙසි ය. තඩි බෑවොත් වෙනසක් කිරීමට තල්ලු වන්නේ ය. බල කෙරෙන්නේ ය. ඒ සඳහා වගකීමක් ඇති වන්නේ ය. උඩ දැම්මොත් වැඩේ ලෙහෙසි ය. කළ යුත්තේ තියෙන දේ පවත්වා ගෙන යෑම ය. ඒ සඳහා උඩ ගෙඩි දීම ය. ඒ වෙනුවෙන් අමතරෙන් කරන්නට දෙයක් නැත. කළ යුතුව ඇති එකම දෙය සියලු ආකාරයේ වෙනස්කම් වලට එක හෙලා විරුද්ධ වීම ය. ඕනෑම අලුත් දෙයකට විරුද්ධ වීම ය.

ඒ නිසා ම ඔවුන් පාසල් නිල ඇඳුම වෙනස් කරනවාට විරුද්ධ ය. පාසලේ ඩෙස්ක් බංකු පුටු වෙනස් කරනවාට විරුද්ධ ය. මාර්ග නීති කඩ කිරීම සම්බන්ධයෙන් ඉහළ දඩ ගහනවාට විරුද්ධ ය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරනවාට විරුද්ධ ය. මුහුදේ අතරමං වූ සරණාගතයන්ට තාවකාලික හව් හරණක් දෙනවාට විරුද්ධ ය. අතුරුදහන් කර වීම නීති විරෝධි කරනවාට ද විරුද්ධ ය.

යමක් කරනවාට වඩා විරුද්ධ වීම ලෙහෙසි ය. ඕනෑම බූරුවෙකුට වී බිස්සක් කඩා දැමිය හැකි ය. එහෙත් එවැන්නක් ගොඩ නගන්නට දක්ෂ වඩුවෙකු ඕනෑ ය. ඒ සෑම් රේ බර්න් විද්වතා විසින් කියා ඇති ඉතා වටිනා කියමනකි.

අනාගතයට බිය, වෙනසකට විරුද්ධ, මේ අතීතකාමී මිනිසුන් සියලු දෙනාම මුකුත් නොකර ඉන්නවා යැයි කියන්නට බැරි ය. බොහෝ දෙනා යමක් කරන්නේ ය. ඒ ඉතිහාසය පුරා ම මිනිසුන් කළ දෙය ඒ විදියටම නැවත නැවතත් කිරීම ය. එය පහසු ය. ඒ තුළ අලුතෙන් ඉගෙනගන්නට දෙයක් නැත. එහි විපාක පැහැදිලි ය. ලැබෙන්නේ සොච්චමකි. ඒ සොච්චමෙන් සෑහීමකට පත්වුනා නම් ඒ ඇති ය. ඒ සඳහා කළ යුත්තේ සරල ජීවිතයක සැනසුම ගැන කතා ගෙතීම ය. ගී ගායනා කිරීම ය.

අලුත් දේ සම්බන්ධයෙන් එසේ නොවේ. අලුත් දේ කිරීමට අලුතෙන් ඉගෙන ගත යුතු ය. අලුතෙන් සිතිය යුතු ය. අලුත් දේ කළ විට කුමන ප්‍රතිඵලයක් අත් වේ දැයි හරියටම කියන්නට බැරි ය. ඒ තුළ පැහැදිලි අවදානමක් තිබේ. අසාර්ථක වීමේ ඉඩ කඩ ද තිබේ. ඒ නිසා ම උත්සහය වතුරේ යන්නට හෝ ඇතැම් විට අනිසි විපාක අත් කර දෙන්නට ද ඉඩ කඩ තිබේ. අලුත් දේ මග හරින අපේ අතීතකාමී මිත්‍රයන් පැරණි ජීවිතය තුළ රැඳෙමින් එහි සුන්දරත්වය වනන්නට ඉදිරිපත් වන්නේ ඒ නිසා ය. ඔවුන්ගේ වෑයම, තමන්ගේ සැබෑ කම්මැලිකම හා බිය සගවා, සිය ආරක්ෂණවාදී උපායයන් සාධාරණීකරණය කරන්න ය.

ඉතින් මේ මිනිසුන් බොහෝ විට තමන්ගේ ගම් පළාතෙන් එලියට යන්නේ නැත. ඒ ගියත් ඉක්මණින් නැවත ගමට යන තුරු නිවනක් ඔවුන්ට නැත. තමන් කරන රැකියාවෙන්, එය කොතරම් පීඩාකාරී වුව ද, අස්ව යන්නට හිතන්නේ නැත. ඇතැමුන් තමන් වැඩ කරන ආයතනය තුළ වුව ද වෙනත් ස්ථානයකට භෞතිකව විස්ථාපනය වනු දැකීමට පවා අකමැති ය. තමන්ගේ සහකාරිය වධක බාරියක් වුව වෙන්වන්නට ඔවුන් හිතන්නේ නැත. තමන්ගේ සහකරුවා හිංසකයෙකු වුව ද ඔහුගෙන් ඉවත්වන්නට හිතන්නේ නැත.

ඔවුන් හැමදාමත් කියවන්නේ එකම පත්තර ය. අහන්නේ එකම රේඩියෝ චැනල් එකම ය. කියවන්නේ එකම ජාතියක පොත් ය. කැමති එකම ගායක සෙට් එකක ගීතවලට ය. එයින් පිට හැම දෙයක්ම ඔවුන්ට අරහං ය. කරන්න දන්නේ ටිකකි. ඒ හැමදාමත් කළ කී දෑ ය. සිය මුතුන් මිත්තන් ද අඩු වැඩි වශයෙන් කළ කී දෑ ය.

ඔවුන් කැමති තමන් කුඩා කල ජීවත් වූ විදිහට තමන්ගේ ළමයින් ද ජීවත් වෙනු දැකීමට ය. එසේ නොවන කල ඒ සොඳුරු අතීතය ගැන කියවමින් ඔවුහු සිය ළමුන්ට ඒවා නොලැබීම ගැන පසුතැවෙති.

පෞද්ගලික ජීවිතයේ දී පමණක් නොව රට ගැන කතිකා වල ද ඔවුන්ගේ බිය නිරූපනය වෙයි. ව්‍යවස්ථාව කොතරම් සීමා සහිත වුව ද එය වෙනස් කළ යුතු යැයි ඔවුන් සිතන්නේ නැත. උතුරේ ජනතාවට බලතල දීම ඔවුන් සළකන්නේ ජාතිය පාවා දීමක් හැටියට ය. ඒ තුළ කුමක් වේ දැයි ඔවුන් හරි හැටි දන්නේ නැත. ඒ නිසා විය හැකි ඔවුන් සිතන නරක ම දේ හිතේ මවා ගෙන එක දොයිතුවක්වත් දෙන්න එපා යැයි ඔවුහු හඩ නගන්නෝ ය. ආණ්ඩුවක් අනුගමනය කර ඇති පැරණි ක්‍රමෝපායන් කෙතරම් යල් පැන ගිය ද සීමා සහිත ප්‍රතිඵල ඇති කළ ද ඒවා වෙනස් කළ යුතු යැයි සිතන්නේ නැත. ඔවුන් කැමති පැරණි අතීතයේ සිටි රජවරුන්ට ය. දැන් පාලකයන් ද එසේ වනවා නම් ය.

මේ වර්ගයට අයත් මිනිසුන්ගේ බය අවස්ථාවාදීන් විසින් අපූරුවට ප්‍රයෝජන ගනු ලැබේ. ඒ ඔවුන්ගේ ආරක්ෂකයින් හැටියට පෙනී සිටීම හරහා ය. දේශපාලනඥයින් විසින් මේ බිය දේශපාලන බලය ගැනීම සඳහා භාවිතා කරන විට වංචනික ශාස්ත්‍රකරුවන් පේන කියන්නන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන්නන් විසින් තමන්ගේ බඩ ගෝස්තරය සඳහා එය ම භාවිතයට ගැනේ. ආගමික පූජකවරු ද ආගම පසෙකලා මේ ගලා යන දිය දෝතෙන් තමන්ගේ ද පිපාසය නිවා ගැනීමට බොහෝ උප්පරවැට්ටි යොදති. මේ බයෙන් පෙළෙන මිනිස්සුන්ගේ සාක්කුවට බසිති. ඒ ලබන ආත්මය සඳහා දෙන දහසක් පොරොන්දු සමග ය.

රට තුළ කිසිදු දෙයක් අලුතෙන් කිරීමට ඔවුන් ඉදිරිපත් නොවෙනවා පමණක් නොවේ. එසේ ඉදිරිපත් වන අය මොනවා හෝ උප්පරවැට්ටියක් යොදා නැවැත්වීමට ද ඔවුහු ඉදිරිපත් වෙති. ඒ රටේත් ජනතාවගේත් ආගමේත් ජාතියේත් ආරක්ෂාවේ නාමයෙනි.

මොවුන් මූණ සෝදන බේසමේ කිඹුලන් සිටිය හැකි යයි කියන විට බිය වෙන්නට හිත හදා ගෙන ඉන්නා අයට ඇත්තටම ඒ තුළ කිඹුලන් පෙන්නුම් කරන්නේ ය.

ඒ නිසාම වෙනසක් කරන්නවුන්ට මේ කියන අයට අකීකරු වීමට සිදු වේ. යල් පැන ගිය සම්ප්‍රදායයන්ට එරෙහිව යාමට සිදු වේ. ඒ සඳහා මේ බියගුල්ලන්ගේ හා ඔවුන්ගේ ආරක්ෂකයින්ගේ විරෝධයට මුහුණ දෙන්නට, එය අතික්‍රමණය කරන්නට, සිදු වේ.

වෙනසක් පතන්නවුන්ට පවා වෙනසක් කරන්නට ඉදිරිපත් වීමට පෙර ඒ නිසා දෙවරක් සිතන්නට සිදු වේ. අකීකරු වීම සමාජය දකින්නේ යහපත් ආකාරයකින් නොවීම ද මේ පැකිලීමට හේතුව ය. එය වරදක් ලෙස කුඩා කල සිට අපේ ඔලු ගෙඩි වලට ඇතුළු කර තිබේ. පාසලේ දී අධ්‍යයන කටයුතු පවා ඉක්මවන තැනක් විනය පවත්වාගෙන යෑමට ලැබී තිබෙන්නේ ම මේ නිසා ය. ඉතාම සිල්ලර දේවල් මහා බැරෑරුම් දේ ලෙස සළකා නීති පනවා ඒ නීති කැඩු විට දණ්ඩෙන් පහර කෑ නයෙකු ලෙස පුප්පන්නට පාසල් පරිපාලනය ඉදිරිපත් වන්නේ මේ කීකරු කම ඇති කිරීම ට ය. සිල්ලර නොවටිනා දෙයකට කීකරු කර ගත් විට මහා දේවල්වලට කොහොමටත් කීකරු කර ගත හැකිය යන්න පසුබිමේ දිවෙන තර්කය ය.

ඒ නිසා වෙනසක් ඇති කිරීම සඳහා අකීකරු වීම යහපත් දෙයක් ලෙස සමාජ ගත කළ යුතු ව තිබේ. ඒ සඳහා අපමණ උදාහරණ මේ වෙනසට බිය වි සිටින මිනිසුන් අගයන අතීතය තුළින් ඔවුන්ගේම පරමාදර්ශයන් තුළින් අපට සොයා ගත හැකි ය. ඒ අතර ඉදිරියෙන් ම ඉන්නේ සිදුහත් කුමරු ය. හෙතෙම සිය පියාණන්ට අකීකරු විය. ඔහුට නොකියා ම වනගත වුනේ ය. සක්විති රජ කෙනෙකු කිරීමට වූ පියාගේ බලාපොරොත්තුව බිඳ දැම්මේ ය. බුදු වූ පසු ද සිය පියාගේ ඇතැම් අණ හෝ උවදෙස් පිළි නොපැද්දේ ය. පිඩු සිගා නොවඩින්නැයි කළ ඉල්ලීම සිය පිය පරම්පරාවෙන් තමන් වෙනස් බව කියමින් බිඳ දැම්මේ ය.

අපේ ජාතිය ආරම්භ වූවා යැයි මහාවංශය කියන්නේ විජය කුමාරයාගෙනි. ඔහු අකීකරු වූ නිසා සිය රටෙන් ද පිටුවහල් කරනු ලැබූවෙකි.

අපේ රට එක්සත් කළේ යැයි කියන, මහාවංශයේ පරිච්ඡේද දහසයක් පුරාම උත්කර්ශත්වයට නගා ඇති, දුටු ගැමුණු කුමරු ද පියාට එරෙහිව ගියා පමණක් නොව ඔහුට කාන්තා ඇඳුම් යවා අවමන් ද කළ බවට වාර්ථා වී ඇති කෙනෙකි.

ආගමත් රටත් ජාතියත් සම්බන්ධ චරිත තුනක් ම අකීකරු වී ඇති බව දන්නා අපට ඒවා අමතක කර වීම සඳහා කීකරු කම ගැන ලොරි ටෝක්, ඒ අතීතය ගැන ම ඇල්මෙන් කතා කරන අයගෙන්, ලැබෙන්නේ කුමක් නිසා ද? ඒ වෙනසට ඔවුන්ගේ ඇති බිය නිසා ය. කෙනෙක් අකීකරු වෙනවා යැයි කියන්නේ තියෙන දේ අභියෝගයට ලක් කිරීමට ය. ඒවා වෙනස් කිරීමට කටයුතු කිරීමට ය. ඊට ඉඩ දිය නොහැකි ය.

හැම අලුත් දෙයක් ම නිවැරදි හෝ යහපත් යැයි මේ කතිකාවෙන් අදහස් නොවන බව ද කිව යුතු ය. අප නව දේ පිළිගත යුත්තේ විචාරශීලීව ය. එයින් ඇති විය හැකි යහපත් මෙන්ම අයහපත් විපාක පිළිබඳ සිහිකල්පනාව හා අවධානය ඇතිව ය. මේ පිළිබඳව වඩාත් තුලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ මහත්මා ගාන්ධී ය. “මම නව වාතය ඇතුළු වීම සඳහා මගේ නිවසේ දොර කවුළු ඇර තැබීමට සූදානම් ය. එහෙත් මා සතු වටිනා දෑ ඒ සුළගින් ගසා ගෙන යෑමට මම ඉඩ නොදෙමි.“

අවාසනාව නම් අප කතා කළ අලුත් දේට බිය ඇති මිනිසුන් කරන්නේ තමන් සතු වටිනා දේ ගසා ගෙන යතැයි යන බියෙන් දොර කවුළු වසා තැබීම ය. ඒ නිසා පුස් ගඳින් පිරුණු අපිරිසිදු වාතාශ්‍රය ඇති ගෙවල්වල ජීවිතය ගෙවා දැමීම ය.

ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය අතින් අප ආසියානු රටවල් අතර පනහේ දශකයේදී දෙවැනි වූයේ ජපානයට පමණ ය. දැන් අපේ රටේ මිනිසුන් යන්නට පතන කොරියාවේ එවක ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය අපට වඩා තුන් ගුණයකින් අඩු විය. පසුගිය දශක හය තුළ ආසියාවේ බොහෝ රටවල් අප පසු කර ඉදිරියට ගොස් තිබෙන අතර ඉතිරි රටවල් ද අපව පසු කර යන ලකුණු පෙනෙන්නට තිබේ. යල් පැන ගිය, පැරණි දේ බදා ගෙන සිටින තුරු අපට ගැලවීමක් නැත. කවුළු පියන්පත් හැර දමා නව දේට ඇතුළුවන්නට ඉඩ නොදුන්නොත් වන්නේ මේ ඉන්නා තැනින් තවත් පහළට ම වැටීමට ය.

Advertisements

One thought on “ආසයි බයයි. ඒ වෙනසේ හැටියි.

  1. Ranjith Tilakarathna says:

    සර්…හරියටම හරි ….තව අදහස් පල කරන්න ….රංජිත් තිලකරත්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s