තහංචි දැමීම


පොල් ගණන් ය. ඉතින් මේ සම්බන්ධයෙන් කුමක් හෝ කළ යුතු යැයි සිතන අයට පහසුවෙන් මුණ ගැසෙන විසඳුමක් තිබේ. ඒ පොල් ඉඩම් කට්ටි කර විකිණීම තහනම් කිරීම ය. දැනටමත් එහෙම ප්‍රතිපාදන තිබේ යැයි අපේ විශ්වාසය ය. එසේ නම් මේ ඉල්ලීම තුළින් කියවෙන්නේ ඒ නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව විය යුතු ය.

කොස් ගස හඳුන්වන්නේ බත් ගස කියා ය. ඒත් කරුමයකට වාගේ කොස් ලීයට ද හොඳ ඉල්ලුමක් තිබේ. ඒ නිසා කොස් ගස් කැපෙන බැවින් ආණ්ඩුවේ ඇත්තන් අපූරු ක්‍රමයක් සොයා ගත් හ. ඒ ද අප මුලින් කී එකම ය. ඒ කොස් ගස් කැපීම තහනම් කිරීම ය. වෙනත් ලෙසකින් කියනවා අවසර ගෙන මිසක කොස් ගසක් කැපීමට බැරි වෙන විදිහට නීති සම්පාදනය කිරීම ය.

මෙසේ තහනම් කරන ලද ඒවායේ ලයිස්තුවක් අපට තිබේ. ගබ්සාව තහනම් ය. ගණිකා වෘත්තිය තහනම් ය. මත්පැන් ලයිසන් නැතිව විකිණීම් තහනම් ය. පෝය දාට ලයිසන් ඇතුවත් තහනම් ය.

දැන් මේ තහනම් නිසා මේ එකක් වත් අවසන් වී ඇත් ද? දන්නෝ දනිති. ඒ එසේ වී නොමැති බව.

ඒ වෙනුවට සිදු ව ඇත්තේ මේ නියාමනය සිදු කරන මිනිසුන්ට ගරානා පාරක් දැමීමට ඒ හරහා මාර්ගයක් විවෘත වීම ය. ඊට අමතරව අතිශය දරුණු ප්‍රතිවිපාක ගණනාවකට මුහුණ දීමට රටට ද වෙනත් පාර්ශවයන් ටද සිදු වීම ය.

මිනිසුන් දැන් බැරි වෙලාවත් කොස් ගසක් වැවෙන්නට දෙන්නේ නැත. ඒ අටමගලය වැඩුනොත් එය ඉවත් කිරීමට යන ක්‍රියාවලිය දුෂ්කර නිසා ය. ඒ නිසා වෙනදා කොස් ගසක් වැවෙන්නට ඉඩ හළ කෙනෙකු වුව දැන් ඊට ඉඩ දෙන්නේ නැත. පොල් ඉඩම් කට්ටි කැඩීම තහනම් නිසා ද පොල් නොවවා අත් හැර දැමීමට තීරණය කළ ඉඩම් ද ගණනාවක් මේ විදිහට ම තිබේ.

ගබ්සාව තහනම් නිසා ගබ්සා කරන සායනයන් පවත්වා ගෙන අය ද ඒවායේ කටයුතු සිදුකරන වෙද හෙද හා හොර වෙද කාර්යය මණ්ඩලයන් ද සුපිරි ලාභ උපයා ගන්නෝ ය. ඒ ගැබිණි ම්ව්වරුන්ගේ ජීවිතය අවදානමේ තබා ගෙන ය. ගණිකා වෘත්තීයේ තහනම ද මේ සමාන විපාක, ගණිකා වෘත්තීය කරන්නට විවිධ හේතු නිසා බල කෙරුණු, කාන්තාවන් හට අයත් කර දෙන්නේ ය. ඔවුන් තව බොහෝ අකරතැබ්බයන්ට හා දරුණු ඉරණමකට යොමු කර ඇත්තේ ය.

මේ තහනම් ලයිස්තුවට අතිශයින් අහිංසක ඒවා ද ඇතුළත් ය. පෙම් යුවලකට උයනක පෙම් කරන්නට තියා එකට වාඩි වී කතාබහ කරන්නට ද බැරි ය. සැමියෙකුට ප්‍රසිද්ධියේ බිරිඳට හාදුවක් දීමට ද බැරි ය. සමහර පන්සල්වලට කෙල්ලෙකුට හා කොල්ලෙකුට එකට පිවිසිය නොහැකි ය. මවකට සාරියක් නොඇඳ සිය දරුවා ඉගෙන ගන්නා පාසලකට ඇතුළු විය නොහැකි ය. ශිෂ්‍යයෙකුට කොණ්ඩය තරමක් දිගට වවන්නට බැරි ය. කොටට කපන්නට ද බැරි ය. මේ ලයිස්තුව තව දිග වුව ද කාරණය අගවන්නට නම් ඔය ටික ඇති ය.

ඇත්තටම කළ යුතුව ඇත්තේ තහංචි ප්‍රමාණය හැකි තාක් අඩු කිරීම ය. අත්‍යවශ්‍යම යැයි හැගෙන්නේ නැති ඒවා හැකිතාක් ඉවත් කිරීම ය. ඉතිරිවා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ය. කප්පරක් තහංචි තිබුණාට බලය ඇත්නම්, අත මිට මෙලවිය හැකි නම්, මේ තහංචි මග හැර කටයුතු කළ  හැකි ය. නීතිය නැමිය හැකි ය. ඒ නිසා ද මේ තහංචි අවම වෙන එක හොඳ ය.

රුපියල් සියයට මේ කාලයේ පොල් ගැනීම ද එක අතකට හොඳ ය. එය අනාගත පොල් නිශ්පාදනයට දිරියක් වෙනු ඇත. ඉල්ලුම ඉහළ යන විට තහංචි නොදැම්මත් සැපයුම වැඩි කිරීමට නිශ්පාදකයා කටයුතු කරනු ඇත්තේ කාගේ වත් බලකිරීමකින් තොරව ම ය.

ඒ නිසා පහසු යැයි එකවර පෙනෙන මෙම තහංචි දැමීමේ උපාය මාර්ගය අත් හළ යුතු ය. බැරිම තැනක දී මිසක භාවිතා නොකළ යුතු ය.

එසේ වුව ද ආයතන වල බොහෝ අලස කළමනාකරුවන් ද කැමති මේ ආයුධය භාවිතා කිරීමට ය. ආයතනයක් තුළ ද විවිධ තහංචි ඒ අනුව පැනවේ. ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් ද මූණු පොත භාවිතය සම්බන්ධයෙන් ද පනවා ඇති තහංචි ඒ අතර තිබේ. මේ මෙවලම් දෙකම ආයතනයක සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සඳහා ද වඩාත් සඵල කිරීම සඳහා ද භාවිතා කළ හැකි මෙවලම් ය. ඒවා තහනම් කළ විට සිදුවන්නේ ඒවාට දුර්වල ආදේශක සොයා ගන්නට සිදු වීම ය. හොරෙන් ඒවා භාවිතා කිරීම ය. ඒ තුළ අමතර ආතල් එකක් ද ගැනීමට හැකි වීම ය. තහංචියට කොචොක් දමන්නට ඉඩ හසර සාදා දීම ය.

බොහෝ ආණ්ඩුවේ ආයතන දැන් වෙනදාට වඩා ලස්සණ ය. ඉඩහසර ඇතිව සාදා නිම කර තිබේ. එහෙත් ඒවාට එන මිනිසුන්ට වාහනයක් නතර කර ගැනීමට ඉඩක් ඒවායේ නැත. ලගපාතක වත් නැත. ඇතුළත ද පිටත ද නතර කිරීමට වැට බඳින දැන්වීම් පුවරු වල නම් අඩුවක් නැත. ඒ හැම එකකම මුඛ්‍ය අරමුණ තහංචි ය. පුද්ගලික ආයතන ද ඊට නොදෙවෙනි ය. ඒ නිසා මිනිස්සු පාරේ සිය වාහන නතර කර දැනටමත් අර්බුදයක් ව ඇති වාහන තදබදය තවත් උත්සන්න කර දමති. පොලීසිය ලග පාතක හිටියොත් වාහන තදබදයට යම් සහනයක් ලැබෙන බව ඇත්ත ය. එවිට වාහන අයිතිකාරයාට අපල ය. පාරේ නතර නොකළ ද ඉඩ තියෙන හැම තැනකම පනවා ඇති තහංචි පුවරු නිසා ම නවත්වන්නට ඉඩක් හොයමින් එහා මෙහා යන වාහන ඇතැම් විට නවත්වා ඇති වාහන වලටත් වඩා වාහන තදබදයට දායකත්වයක් දෙති. ඒ ගැන පොලීසියට කළ හැකි කිසිවක් නැත. ඒකට දාන්න පුළුවන් තහංචියක් ගැන පොලීසිය තවමත් කල්පනා කරමින් පසු වෙනවා වෙන්නට පුළුවන.

විකල්ප නිර්මාණය කිරීමේ වගකීම බාර නොගෙන ඒ වෙනුවට තහංචි දැමීම තෝරා ගැනීම එසේ කරන තැනැත්තාට පහසු ය. එහෙත් ප්‍රශ්නයට පිළිතුරක් එයින් ලැබෙන්නේ නැත. නැතිනම් සොයා ගැනීමට සිදු වන්නේ පැත්තක ඉඳන් බැට කන අපට ය.

ඇතැම් විට පිළිතුරු බාහිර පාර්ශවයන්ගෙන් ලැබේ. ඒ අප කලින් කී නැවැත්වීමේ තහංචියට උත්තර හැටියට පුද්ගලික රථවාහන නැවතුම් පොළවල් සැපයීම හරහා විය හැකි ය. නැත්නම් නිසි පරිදි සිදු නොවන යම් සේවාවක් ඌණ පූර්ණය සඳහා විය හැකි ය. එහෙමවත් ඒවා සැපයෙන එක හොඳ ය. එහෙත් ඒවායේ ගුණාත්මක භාවය ගැන සහතිකයක් අපට දෙන කෙනෙකු නැත. ඒවායේ නියාමනක් ඇතැම් විට නැත. ඒ සේවාවේ ගුණාත්මක භාවය ලැබෙන මට්ටමින් පිළිගෙන ඉතිරි ටික දරා ගැනීමට අපට සිදු වේ. ඒවා හරියට පෝය දිනෙක හොර පාරෙන් ලබා ගන්නා මත්පැන් බෝතලයක කොලිටිය වාගේ ය. තහංචියට පිටින් ගන්නා වෙනත් ඕනෑම දෙයක් වගේ ය.

ඒ නිසා ම තමන්ගේ ජාම බේරාගන්නට තහංචි පනවා අත පිහදාගන්නා ආයතන කරන්නේ සේවා ලාභීන් අමාරුවේ දැමීම ය. එවැනි ආයතනයක් සම්බන්ධයෙන් යහපත් සිතුවිලි ඇති කර ගැනීම අමාරු ය.

මේ සම්බන්ධයෙන් සිනහ උපදවන සිද්ධියක් වූයේ රජයේ සුප්‍රසිද්ධ පාසලක ය. ඒ දිග අත් සහිත කමිස නවාගෙන පැමිණි ළමයෙකුගේ එසේ නවන ලද කමිස අතක තිබි මත් ද්‍රව්‍ය අහුවීමත් සමග ය. අප මේ කතා කළ තහංචියක් දැමීමෙන් පාසලේ කළමනාකරණය මෙයට වෙන හැමදාමත් වගේ උත්තර දුන්නේ ය. ඒ දිග අත් ඇති කමිස ඇඳීම තහනම් කිරීම ය. ඒ කමිස අත් තුළ කුඩු සෙවීම පහසු නොවූ නිසා ය. එහෙත් ඔවුන්ට අමතක වූ එක් කාරණයක් තිබිණි. ඒ යට ඇඳුම් අස්සේ රඳවා ගෙන කුඩු ගෙන ඒමේ ඉඩක් ද තිබූ නිසා ය. තමන් ඇති කළ විගඩමේ දිග පළල ඔවුන්ට පෙනී ගියේ ඒ ගැන ප්‍රශ්න කර යට ඇඳුම් ද තහනම් කරන්නේ ද යන ප්‍රශ්නය ශිෂ්‍යයන් විසින් නැගූ විට ය. එවැනි පාසල් කළමනාකරණයකට සිසුන්ගේ ගෞරවය රඳවා ගැනීම දුෂ්කර ය.

තහංචි දැමිය යුත්තේ අවසාන පියවර හැටියට ය. එහෙත් එය පහසු ම දේ නිසා බොහෝ අලස කළමනාකරුවෝ එය මුල් පියවර හැටියට යොදා ගෙන මිනිසුන්ගේ සිනහවට ලක් වී සිය ගරුත්වය ද ආයතනයේ හොඳ නම ද හෑල්ලු කර ගනිති.

Advertisements