නායකයෙකු ද? කළමනාකරුවෙකු ද?


හැම දෙයක්ම හොඳින් සිදු වෙනවා නම් නායකයෙකු වුවමනා නැත. අවශ්‍ය වන්නේ කළමනාකරුවෙකි. නායකයෙකු අවශ්‍ය වන්නේ එසේ නොවන විට ය. පැවති සාමකාමී තත්වය අවසන් ව අර්බුදයක් මතු වූ විට ය. අලුතින් ඇති වෙමින් තියෙන වටපිටාවට අනුව ප්‍රයෝජනයට ගත හැකි නව අවස්ථාවන් විවෘත වන විට ය. පවතින විදිහටම කර ගෙන යෑමෙන් පාඩු වන විට ය. ලාභයක් නොලැබෙන විට ය. ලාභ ලැබිය හැකි අවස්ථා මග හැරෙන විට ය.

වටපිටාව වෙනස් නොවේ නම් සාමකාමී අයුරින් වැඩ කෙරී ගෙන යන්නේ නම් කළමනාකරුවෙකුට ආයතනය ගෙන යා හැකි ය. ඔහු කළ යුතු වන්නේ පවතින නීති අනුගමනය කිරීම ය. තිබෙන සම්ප්‍රදායන් අනුගමනය කිරීම ය. අතීතය පවත්වා ගෙන යෑම ය.

කළමනාකරුට තිබෙන්නේ පොරොන්දු ප්‍රකාර ගනු දෙනුව කර ගෙන යෑම ය. ගිවිස ගත් ගණන ගෙවීමට ය.

ඔහුට අලුතෙන් මිනිසුන් පුහුණු කිරීම හෝ නව මග පෙන්වීමක් ඔවුන්ට දීමට හෝ සිදු නොවේ. ඔහුට තිබෙන්නේ දැනටමත් පුරුදු පුහුණු කර ඇති අයගෙන් වැඩ ගැනීමට ය. දැනටමත් කර ඇති මගපෙන්වීම තුළ ඔවුන් ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම ය.

පරිසරය වෙනස් වෙන්නේ නම් අලුත් අභියෝග මතු වන්නේ නම් මිනිසුන් ඒ අලුත් තත්වයන් සඳහා සූදානම් කළ යුතු ය. පුහුණු කළ යුතු ය. මග පෙන්විය යුතු ය. නායකයෙකු අවශ්‍ය ඒ සදහා ය. ගනුදෙනුවකින් එහා ගිය මිනිසුන් බලාත්මක කරන ඔවුන්ගේ සම්පූර්ණ ධාරිතාවට ඉඩ හසර සළසන නායකත්වයක් අවශ්‍ය ඒ සඳහා ය.

අර්බුදයක දී එක් අයකුගේ ඇස් මදි ය. එක් අයකුගේ මනසක් මදි ය. එක් අයකුගේ කන් මදි ය. කිසි දෙයක් ස්ථිර නැත. මෙතැන ඇත්තේ අත්හදා බැලීමකට නිමිත්තක් පමණි. ඒ අත් හදා බැලීම විශ්වාසයෙන් යුතුව කැප වීමකින් යුතුව කළ යුතු ය. බොක්කෙන් කළ යුතු ය. ගනුදෙනුවක ආකාරයේ සම්බන්ධයකින් මිනිසුන් මෙහෙයවීම තුළ ඒ කැප වීම අපේක්ෂා කළ නොහැකි ය.

ඒ අත්හදා බැලීම වැරදිය හැකි ය. එවිට වෙනත් අත්හදා බැලීමක් කරන්නට සිදු වේ. වැරදි කිරීමට ඉඩ නැති වතාවරණයක එවැනි අත්හදා බැලීම් කරන්නට කිසිවෙකු සිතන්නේ නැත. නායකත්වයක් අවශ්‍ය මිනිසුන්ට ඒ සඳහා (වැරදි කිරීමට ද) ඉඩ හසර සළසා දීමට ය. කළමනාකරුවෙකුට වැරදි පේන්න බැරි ය. ඔහුට අවශ්‍ය මිනිසුන් වැරදි නොකර වැඩ කරනු දැකීමට ය.

කළමනාකරුවෙකුගේ ප්‍රධාන අවධානය තිබෙන්නේ අද දවස ගෙවා ගැනීමට ය. කිසිවක් වෙනස් නොවන පසුබිමක ඊයේ විදිහටම අද ගෙවුනොත් ඇති ය. හෙටටත් තිබෙන්නේ ඒකම ය. ඊයේ කළ විදිහට වරද්දන්නේ නැතුව කළ විට සියල්ල හරි ය.

එහෙත් අර්බුදයක දී හෝ නව අවස්ථාවක් විවෘත වූ විට දී ඉදිරිය බැලිය යුතු ය. ඈත බැලිය යුතු ය. අනාගතය බැලිය යුතු ය. ඊයේ විදිහට නොව, අද විදිහට නොව, හෙට දිනයේ නව විදිහකට කරුණු කාරණා සිදු විය යුතු ය. නායකයෙකු අවශ්‍ය වන්නේ ඒ වෙනස සඳහා ය.

වෙනසක් නැති වටපිටාවක සියල්ල යන්ත්‍රයක් සේ සකස් කළ හැකි ය. යෙදවුම් දැම්මොත් නිත්‍ය ලෙස අපේක්ෂිත නිමැවුම් එලියට ගත හැකි ය. අවුල සිදුවන්නේ වැරැද්දක් වුනොත් විතර ය.

එහෙත් වෙනස් වන වට පිටාවක කුමන යෙදවුමක් දැම්මොත් අපේක්ෂිත නිමැවුම ලැබේ දැයි කිව නොහැකි ය. ක්‍රියාවලිය යාන්ත්‍රික නැත. එය සජීවී ය. සජීවී දෙයක් කෙසේ ක්‍රියාකරනු ඇත් දැයි පුරෝකතනය කිරීම දුෂ්කර ය. එය විවිධ අත්හදා බැලීම් මගින් උගත යුතු ය. ආයතනය දෙස යන්ත්‍රයක් ලෙස බලන කළමනාකරුවෙකු නොව ඒ දෙස සජීවි දෙයක් ලෙස බලන නායකයෙකු ඒ නිසා අවශ්‍ය ය. උද්‍යාන පාලකයෙකුගේ ඉව ඇති නායකයෙකු ඒ සඳහා අවශ්‍ය ය.

අභ්‍යන්තර කාරණා දෙස පමණක් බලනු වෙනුවට බාහිර ලෝකයට ඇස් ඇරුණු කෙනෙකු නායකත්ව භූමිකාව දැරිය යුතු ය. අවට පරිසරය මතු කරන අවස්ථා පමණක් නොව එය ගෙනෙන තර්ජන ද හසුවන්නේ එවැනි ඇසකට ය.

අපේ ප්‍රශ්නය රටේ බොහෝ ආයතනවල කළමනාකරුවන් හිටියත් නායකයින් නොමැති වීම ය. එදා දවස ගෙවා ගත්ත ද හෙට දවස අවිනිෂ්චිත ඒ නිසා ය. වේගයෙන් වෙනස් වන අද වැනි සමයක මෙහි වැදගත්කම විශාල ය.

මෙය වටහා ගත් පසු සමහරු කළමනාකරුවන් අවශ්‍ය නැතැයි ද අවශ්‍ය නායකයන් යැයි ද කියන්නට ඉඩ තිබේ. නායකයින් අවශ්‍ය බව ඇත්ත ය. කළමනාකරුවන් ද ඒ පමණටම අවශ්‍ය ය. ඒ අද දවස ගෙන යෑමට ය. අද නැතිව හෙටක් තිබිය නොහැකි නිසා ය.

ඒ නිසා ම වියදම් පාලනය කරන කළමනාකරුවන්, ආදායම් උපදවන නායකයින් තරමට ම, අවශ්‍ය ය. උපදවන දේ සකසුරුවම් කරන්නේ නැති තැනක උපදවා අවසන් කළ නොහැකි නිසා ය.

සම්ප්‍රදායික පවුලක් තුළ මේ භූමිකා දෙකේ ම වැදගත්කම තහවුරු වී තිබිණි. ඒ ආදායම් උපදවන පියාත් ඒ උපදවන ආදායම සකසුරුවම් ලෙස කළමනාකරණය කරන මවත් යන භූමිකා හරහා ය. පියා ගෙදර විශාල වෙනස් කම් කළ අතර මව එදිනෙදා නඩත්තු කටයුතු කිරීමේ වගකීම දැරුවා ය. පියා නව නීති පැනවූ අතර මව ඒ පැනවූ නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම කරට ගත්තාය ය. පියා බාහිර සමාජය අධ්‍යයනය කරමින් ඒ හා ගනුදෙනු කළ අතර මව පවුලේ අභ්‍යන්තරයට නෙත් යොමමින් එහි කටයුතු බලා ගත්තීය. පියා අවසර දුන් අතර මවගෙන් තහංචි ලැබුනේ ය. පියා නව කාර්යයන් සඳහා දරුවන් පුහුණු කළ අතර මව ඔවුන්ගෙන් වැඩ ගත්තා ය. පියා අභියෝග ගන්නට දරුවන් පෙළඹවූ අතර මව දරුවන්ට ආරක්ෂා වෙන ලෙස නිරන්තරයෙන් මතක් කළා ය.

පියෙකු අහිමි වූ දරුවන් බොහෝ දෙනෙකු (විශේෂයෙන් ඒ සඳහා වැඩිහිටි ආදේශකයක් නොසිටියේ නම්) හැදෙන්නේ අසමතුලිතව ය. බිය උරුම කර ගෙන ය. ඔවුන් නිරන්තරයෙන් ඉන්නේ පයක් ආපස්සට ගෙන ය. අවදානම් ගැනීමට නොහැකි ව ය.

මව අහිමි වූ දරුවන්ට (ඒ සඳහා ආදේශකයක් නොලැබුනේ නම්) බ්රේක් නැත. ඔවුන් නියාමනයක් කිරීමට අමාරු මිනිසුන් බවට පත් වේ. ඔවුන් ද ඒ අනුව අසමතුලිත ය.

මේ අහිමිවීම් කිසිවක් භෞතිකව විය යුතු නැත. සමහර අම්මලා තාත්තලා හිටියත් නොහිටියා වගේ නිසා ය.

බොහෝ ආයතනවල මේ භූමිකා දෙක සඳහා වෙන වෙනම තනතුරු නිර්මාණය වී තිබේ. අමාත්‍යංශයක ලේකම් නායකයාගේ භූමිකාව ද දෙපාර්තමේන්තු ප්‍රධානියා කළමනාකරුගේ භූමිකාව ද වශයෙනි. පුද්ගලික අංශයේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක නම් සභාපති නායකයාගේ භූමිකාව ද සාමාන්‍යධිකාරී කළමනාකරුගේ භූමිකාව ද වශයෙනි. එහෙත් මේ භූමිකා දෙක වෙන්ව තෝරාගෙන කටයුතු කරන මිනිසුන්ගේ අඩුවක් අපට තිබේ. ඒ නිසා මේ පියවරු හා මව්වරු ද හිටියත් නොහිටියා ගාන ය.

පවුලක දරුවන් හෝ ආයතනයක සේවකයන් සම්බන්ධයෙන් පමණක් නොව රටක රටවැසියන් සම්බන්ධයෙන් ද සත්‍යය එය ය. අතිශය වැදගත් මවගේ (කළමනාකරුගේ) සහ පියාගේ (නායකයාගේ) සෙවන නැතිව ඇතිවන වර්ධනයන් අසමතුලිත ය. විශේෂයෙන් වේගයෙන් වෙනස් වන ලෝකයක මේ දෙවර්ගයේම සෙවන අවශ්‍ය ය.

එසේ නොවුනහොත් ඒ සංවිධාන, ආයතන හෝ රට එක්කෝ කෙටිකාලීනව, නැත්නම් දිගුකාලීනව, අසාර්ථක වීමේ ශාක්‍යතාවයෙන් යුතු ය.