රට දියුණු කළ නොහැකි කළමනාකරණ කාරණා


අපේ රට දියුණු කළ නොහැක්කේ කුමක් නිසා ද යන්න කළමනාකරුවෙකුගේ ඇසින් බලා උත්තරයක් ගොනු කරන ලෙස මිත්‍රයෙක් මට ආරාධනා කළේ ය. මේ බ්ලොග් අඩවියේ හැම සටහනක්ම වෙන්වුනේ ඒ සඳහා වුව ද සියල්ල සාරාංශ ගත කොට එක් සටහනකට ගොනු කිරීමේ වැදගත් කමක් ඇතැයි ඔහු මට නොකියා කිව්වේ යැයි මම සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි. මගේ අදහසේ හැටියට ඒ කාරණා පහත තේමා යටතේ ගොනු කළ  හැකි ය.

  1. කිසිදු තාර්කික පදනමක් නැති පිළිගත හැකි අපක්ෂපාත සාක්ෂි නැති මිත්‍යාවන්හි එල්බ ගෙන සිටීම (ඉර හඳ තරුවල පිහිටීම ද හූනන්ගේ චුක් චුක් ගෑම ද රාහුගේ අපලය ද ඇතුළත් මේ ලයිස්තුව දිග ය.)
  2. එදා වේල කා ජීවත් වීමේ දැක්ම නොහොත් දැක්මක් නැති කම (උපයා ගන්නා හැම සතයක්ම පරිභෝජනයට යොදනු වෙනුවට තමන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් කිරීමට නොයෙදවීම සහ එදිනෙදා ලබන සරල විනෝදය ප්‍රඥාව වැඩීම හරහා ආනන්දයට යෑම වෙනුවට තෝරා ගැනීම)
  3. මහන්සි වී වැඩ කිරීම වෙනුවට මහන්සි වී යමක් නිර්මාණය කරනු වෙනුවට අනියම් ක්‍රම හරහා ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම (ලොතරැයි, හාස්කම්, දේශපාලන හා මිත්‍ර සබඳකම්, වංචාව, බොරුව ආදිය හරහා)
  4. තමන්ගේ සිල්ලර වැඩ ටික කර ගැනීම සඳහා ප්‍රතිපත්ති ක්‍රමවේද හෝ නීතිය මායිම් නොකරන නායකත්වයක් අපේක්ෂා කිරීම (බලය අයුතු විදිහට භාවිතා කිරීමට නම් දරා ඇති නායකයින් මන්ත්‍රීවරුන් නැවත නැවතත් බලයට ගෙන ඒමෙන් ඔවුන් ලවා තමන්ගේ සිල්ලර වැඩ ටික කර ගත්තොත් ඇතැයි යන හැගීම)
  5. යල්පැන ගිය ඉවත දැමිය යුතු සංස්කෘතික වටිනාකම් හිස මත තබා ගෙන සිටීම සහ ඒ ගැන කරන සංවාදයන් පවා ප්‍රතික්ෂේප කිරීම (තනතුරට ගරු කළ යුතු බව කියමින් අගරු කළ  යුතු මිනිසුනට ගරු කිරීම, කීකරු කම උත්කර්ෂවයට නැංවීම හරහා දීන වීම උත්තර ගුණාංගයක් ලෙස දැක්වීම ඇතුළු)
  6. විවිධ වර්ගයේ භේද වපුරමින් කණ්ඩායම් කල්ලි තනමින් ඒවා වෙනුවෙන් කැප වීම තුළ පොරත්වයක් නිර්මාණය කර ගැනීම හරහා සතුට අපේක්ෂා කිරීම (පටු බේද නිසා අර්ථාන්විත කණ්ඩායමක් ආයතන තුළ ද ශ්‍රී ලාංකිකත්වයක් රට තුළ ද ගොඩ නැගීමට අපොහොසත් වීම)
  7. කුඩා හෝ අවදානමක් ගැනීමට ඇති බිය (කිසිම නව දෙයක් අත් හදා බැලිය නොහැකි පැරණි සුවපහසුව තුළ ම රැඳෙන්නට කැමති වීම)
  8. අසරණ කම නැතිබැරි කම ආභරණයක් කර ගැනීම, ඔවුන් ව සෙසු මිනිසුන් විසින් බලා ගත යුතුය යන්න ශික්ෂාපදයක් කර ගැනීම හා දක්ෂ ඇති හැකි මිනිසුන් දෙස ඊර්ශ්‍යා පරවශව බැලීම (තරගය ප්‍රතික්ෂේප කිරීම, රජයෙන්ම සියල්ල සිදු විය යුතු යන අපේක්ෂාව, තමන්ගේ ඉරණමට වගකිව යුතුවන්නේ සෙසු මිනිසුන්ය යන හැගීම වැනි ආකල්පයන් ජනිත කරවන යැපුම් මානසිකත්වය)
  9. ව්‍යාපාරිකයන් දෙස ද ස්වයං රැකියාවල යෙදෙන ශිල්පීන් දෙස ද අවඥාවෙන් බැලීම (ස්ථිර රැකියා රජයේ රැකියා වලට අනවශ්‍ය වටිනාකමක් දීම)
  10. තමන්ගේ වැයික්කියෙන් එහා තමන්ගේ කුඩා දූපතෙන් එහා ලෝකයක් තිබෙන බව අවබෝධ කරගන්නට අසමත් වීම (ඒ නුපුරුදු පැත්ත පළාත දේශය හා ඒවායේ ඉන්නා පරයින් අපව ගිලගන්නට බලා සිටින බිල්ලන් ලෙස දැකීම නිසා ලබා ගත හැකි අවස්ථා සියල්ල අහිමි කර ගැනීම)
  11. එකිනෙකට ප්‍රතිපක්ෂ රැසක් එකට තබාගෙන ජීවත් වීම තුළ ශක්තිමත් අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම (නගරයේ ජීවත්වෙමින් ගමට ආවැඩීම හා බටහිර රටකට පැන ගෙන හෝ පැන යන්නට බලන ගමන් ඒ රටවලට පලු පැලෙන්නට බැණීම)
  12. ආගම ධර්මය වැරදි කොණෙන් අල්ලා ගැනීම (බුදු පිළිම වඩම්මන ගමන් වෛරය පැතිරවීම)
  13. යමක් දෙස විචාරශීලීව බලන්නට බැරි කම (තමන්ගේ දේ හිස් මුදුණින් පිළිගැනීම සහ අනුන්ගේ දෙය නොවිමසාම බැහැර කිරීම)
  14. නිර්මාණශීලිත්වය අල්ප වීම (හුරු පුරුදු දෙයින් සෑහීමකට පත් කිරීම සහ වැඩිම වුනොත් අමු අමුවේ කොපි කිරීමට පමණක් යොමු වීම)

බොහෝ අය වැරැද්ද පටවන්නේ දේශපාලනඥයන් මත ය. මේ  ලයිස්තුවෙන් ඔවුන් නිදහස් කොට තිබේ. එයට අතිශය සාධාරණ හේතුවක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින රටකට ලැබෙන්නේ ජනතාවගේ කැමැත්ත මත පත් වෙන ඔවුන්ගේ සැබෑ නියෝජිතයන් ය. වෙනස් කළ යුත්තේ ආණ්ඩු නොවේ. ජනතාව ය.

ජනතාව වෙනස් කිරීම අමාරු නිසා අප කරන්නේ ආණ්ඩු වෙනස් කිරීම ය. අංක 3 හි සඳහන ඊට දිය හැකි හොඳම හේතුව ය.

මා විසින් පවත්වා ගෙන යන බ්ලොග් අඩවි දෙකේම අරමුණ ජනතාව වෙනස් කිරීම ය. ඒ සම්බන්ධයෙන් මට ලැබෙන සහය අතිශයින් අල්ප ය. එහෙත් දිනෙන් දින එය වැඩෙන බව පෙනීම සතුටට කාරණයකි.

මගේ ජීවිතය තුළ මේ එකක් වත් වෙනස් නොවනු ඇත. එහෙත් ඒ සඳහා අඩිතාලම දැමුයේ යැයි සිතමින් මට දැන් මිය යා හැකි ය.

 

 

Advertisements

11 thoughts on “රට දියුණු කළ නොහැකි කළමනාකරණ කාරණා

  1. ඔබ හා සපුරා එකඟයි. ඒ එක්කම අපේ මිනිස්සුන්ගෙන් සීයට අනූනමයක් මේ ඔබ ඉදිරිපත්කල කාරණා තමන්ගෙ අඩුපාඩු එහෙමත් නැත්නම් වහාම වෙනස් කොටගතයුතු කාරණා හැටියට නොසළකන එකත් යම් සාධනීය වෙනසකට ප්‍රධාන බාධකයක්.

    • ප්‍රතිචාරයට ස්තුතියි මං ඔබේ බ්ලොග් අඩවියට – නිදහස් සිතුවිලි- ගොඩ වැදුනා. ඉතාම නිර්මාණශීලියි. මේක කියවන සෙසු අයටත් එයට පිවිසෙන්නට ආරාධනා කරනව. උඩ ravi ට කෙටීමෙන් ඊට පිවිසෙන්නට පුළුවන්.

    • GAN Perera says:

      bribe,????? (for eg. if a person want to start his/her own business, to complete the regulatory things he/she has to bribe for gov. institutions)

  2. පෝස්ටුව නිමකරන වැකිය හිත සසල කරන්නක්. ඔබ පමණක් තනිව ඇතැයි නොසිතන්න හිතවත හඬක් නැතිව ඔබ වැනිම පිරිසක් ඔබ සේම තනි කමෙන් පෙළෙති. ඉදිරිපත් කර ඇති කරුණු සමග සපුරා මගේද එකඟත්වය පිළිගන්න

  3. නිර්නාමික says:

    වෛද්‍ය පරිපාලනයට සම්බන්ධ මගේ සිතුම් පැතුම් ඔබේ ඇද හැලෙන දොවොල දෙවොල කියවීමෙන් දැඩි වෙනසකට ලක් විය. මෙයට පෙර එවැනි වෙනසක් කළේ ඒබ්‍රහම් කොවුර් බව මතකය. ඔබේ අදහස් නිසා එකවර ලොකු වෙනසක් නොවන්නේ ස්වභාව ධර්මයේ ස්වභාවය නිසා යැයි හඟිමි. ස්වාභාවික පද්ධතීන් Revolution වලට නොව හැඩ ගැසී ඇත්තේ Evolution වලටය. ඒ නිසා ම නිශාන්ත කමලදාස මහතාගේ නම සඳහන් කරන සියළුම පරිපාලන සේවයේ නිළදාරීන් ඔබ ගැන දන්නා නමුත් ඔවුන් ගෙන් බහුතරය හාමුදුරුවන්ගේ බන අසා සෝක් බන ටික යැයි කියා සෑහීමකට පත්වෙන්නා ලෙස කටයුතු කරතැයි මට සිතේ. ඇද හැලෙන දෙවෙලේ කියා ඇති බොහෝ දේ එක්සත් ජනපදයේ පශ්චාද් උපාධියට ආ විට ප්‍රත්‍යක්ෂ කරගතිමි. කෙසේ වුවද ඔබගෙන් දැන අසාගත් බොහෝ දේ මාවැඩ කළ කොළඹින් දුර පිහිටි මගේ සේවා ස්ථානය ඇසුරින් විශිෂ්ඨ කාර්ය සාධනයක් කර පෙන්වීමට උපකාරී වූ බව කියනු කැමැත්තෙමි. ඒ නිසා අසුභවාදී නොවිය යුතුය. ලංකාව හෙමින් නමුත් ඉදිරියට යන බව කීමට ඇති හොඳම ලකුණ නම් ජනවාරි 8 වෙනසයි. ඒ ජනතාව වෙනුවෙන් ඔබේ අදහස් තවතවත් අවශයය.

  4. Kapila Janaka Bandara says:

    නියම විග්‍රහයක් සර්. බොහෝම ස්තුතියි. මේ ක්‍රමය වෙනස් කිරීමට දැනුවත් කිරීම එක් උපක්‍රමයක් පමණයි. යමක් ලියා තැබීමට වඩා සංවාදයක් කිරීම සුදුසු නැද්ද? ඒ සඳහා සුදුසු සංවාද තලයක් නිර්මාණය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසු බව සිතනවා. මං හොඳින්ම දන්න කාරණයක් තමයි සර් උගන්වන සංවර්ධන පරිපාලන ආයතනය හා වෙනත් ඕනෑම අධ්‍යපන ආයතනයක මේ සංවාදය හැදෙන්නේ නෑ. ඒ වෙනුවට, විකල්ප මතධාරීන් සමග සන්ධානයකට යා යුතුමයි. මොකද, ලංකාවේ ඇකඩෙමියාව තියෙන්නේ උසස් අධ්‍යාපන ආයතනවලින් එළියේ නිසා.

  5. Dimuthu Darshana says:

    100% ඔබතුමා සමග එකගයි!. මේ වගේ කරනා සමාජයට මතු කර, යමක් කිරීමට උත්සහ කිරීමට අපිට අනන්තවත් හිතෙනවා. නමුත් මේක පුදුම සමාජයක්. පුදුමාකාර විදිහට මිනුසුන්ට යථාර්තය තේරුම් ගන්න බැහැ. තෝරලා දෙන්න ගියහම, තියෙන හොඳ හිතත් නැති වෙනවා !

  6. Sashika says:

    Very True!!!
    ඔබලාවන් පුතුන් ලබාපු දෙමව්පියන් වාසනාවන්. ඔබ වැනි පුතුන් ඉපදුනු ලක් මව වාසනාවන්.

  7. ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුමය. මෙරටේ ආකල්ප පිරිහීම විශ්වාස කල නොහැකි තරම්ය. බ්ලොග් ලෝකයෙන් ඊට සැපයිය හැකි උපරිම දායකත්වය සපුරමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s