කණ්ඩායම් වැඩ අගතියක් නොවන්නට…


කණ්ඩායමක් ලෙස වැඩ කිරීමෙන් අමතර ශක්තියක් ජනනය කළ හැකි බවට විවාදයක් නැත. ඒ ගැන ඇති තරම් කළමනාකරණයේ දී කතා කෙරේ. එවැන්නක් සාර්ථක කර ගත හැක්කේ කෙසේ ද යන්න ගැනත් කළමනාකරණ සාහිත්‍යයේ බොහෝ දේ ලියැවී ඇත.

එහෙත් සාර්ථකව වැඩ කරන කණ්ඩායමක් යනු රෝසමල් යහනාවක් ද? එය ආයතනයේ අට අනූවක් රෝග නිවාරණය කරන කෝකටත් තෛලයක් ද? එයින් සිදුවිය හැකි අනර්ථයක් ඇත්තේම නැද්ද? එය නැවත කැරකී අවුත් අප විනාශ කර දමන බූම රංගයක් බවට පත් විය නොහැකි ද? එවැනි ප්‍රශ්න අපි මග හැර යමු. මක්නිසා ද යත් කණ්ඩායමක් ගැන අහිතක් කීම පමණක් නොව සිතීම පවා පාපයක් ලෙස සැළකිය හැකි බැවිනි.

කණ්ඩායමක වැඩ කිරීමේදී වුව බොහෝ විට එහි බර කරට ගන්නේ ටික දෙනෙක් බව අපි අමතක කරමු. බොහෝ විට එයට හේතුව කණ්ඩායමක් තුළ පවා යම් දෙයකට දක්ෂයන් සිටින්නේ අතලොස්සක් බැවිනි. එවැනි දක්ෂයෙකු පැකිලීමකින් තොරව කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් වැඩ කිරීම තවත් දුර්ලභ ය. කණ කැස්බෑවා විය සිදුරින් අහක බලන වෙලාවටම සඳ අහසේ පැහැදිලිව පායා තිබෙන්නාක් මෙනි. එසේ සිදුවන්නේ නම් කණ්ඩායම ගොඩ ය.

එවැන්නෙකු (එකවර දක්ෂයෙකු හා කණ්ඩායම වෙනුවෙන් එම දක්ෂතාවය කැප කිරීමට සූදානම් අයෙකු) ගැන දැන ගත් විට ආයතනයේ හැම කණ්ඩායමකටම ඔහුගේ හෝ ඇයගේ සහභාගිත්වය ඉල්ලා සිටීමට ඒ නිසාම බොහෝ අය පෙළඹෙති.

කණ්ඩායමකට සිය දායකත්වය සපයන්නේ තොරතුරු සැපයීමෙන් නම් තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍ර සැපයීමෙන් නම් හෝ එවැනි මූලාශ්‍රයන්ට ප්‍රවේශයක් ලබා දීමෙන් නම් එවැනි දායකත්වයක් සඳහා අප කලින් කී තැනැත්තාගේ කාලයෙන් විශාල කොටසක් වැය නොවේ. එහෙත් සිය දායකත්වය සපයන්නේ තමන්ට අයත් රාජකාරි කිරීමට ඇති කාලයෙන් විශාල කොටසක් කැප කර වැඩක යෙදීමෙන් නම් තත්වය වෙනස් ය. එවැනි අවස්ථාවක බොහෝ විට සිදු වනුයේ ඔහුට හෝ ඇයට තම භූමිකාව කර ගෙන යාමට කාලයක් නැති වීම ය. වැඩ ගෙදර ගෙන ගොස් කිරීමට සිදු වීම ය. අතිකාල නැතිවත් අතිකාල වැඩෙහි යෙදීමට සිදු වීම ය.

ආයතනය ප්‍රතිලාභ පිරිනැමීමේදී වැඩි සැළකිල්ල දක්වන්නේ එක් එක් පුද්ගලයාට අයත් භූමිකාවට අයිති රාජකාරියේ ප්‍රගතිය ගැන නම් ඔහුට හෝ ඇයට එවිට අවැඩක් සිදුවීමට ද ඉඩ තිබේ. එහි අවසාන ප්‍රතිඵලය වැඩත් වැඩියෙන් කර ලැබිය හැකි ව තිබූ තුට්ටු දෙකත් අහිමි කර ගැනීඹ ය. සමහර විට කාලයක් මෙසේ කටයුතු කිරීම නිසා ඔහුට හෝ ඇයට ආයතනය ගැනත් තමන් ගැනත් කළකිරීමක් ඇති විය හැකි ය. අසනීපයට පත් විය හැකි ය. අවසාන ප්‍රතිඵලය ආයතනයට ඔහු හෝ ඇය එක්කෝ භෞතිකව අහිමිවීම ය. නැතිනම් භෞතිකව සිටියත් අධෛර්යයට පත් කෙනෙකු ලෙස ආයතනය තුළ ඉතිරි වීම ය.

අනිත් අතට කණ්ඩායමේ බොහෝ දෙනෙකුට මේ කණ්ඩායම් හැගීම ඇති පුද්ගලයාගේ භූමිකාව නිසා වැඩ නොකරම ලකුණු වැටේ. ඒ නිසා ඔවුන් වඩ වඩාත් අලස වන අතර ඔවුන් තුළ ඉගෙනීමට ඇති උනන්දුව ද අඩු වේ. තමන්ට කරන්නට තිබෙන වැඩ අනිකා කරද්දී ඒ ගැන වෙහෙසව ඉගෙන ගැනීමට හේතුවක් නැති බැවිනි.

එයින් සිදුවන්නේ වැඩකරු අධෛර්යයට පත් වී ක්‍රියාවලියෙන් වෙන්වන විට ඊට විකල්පයන් ආයතනය තුළින් මතු නොවීම ය.

කණ්ඩායම නිසා ඇති වූ අමතර ශක්තිය දැන් නැතිව ගොස් ඇතිවා මදිවාට එය නැවත ගොඩ නැගීමට අපහසු වන ලෙස ක්ෂය වී ද තිබේ.

කණ්ඩායමක් ලෙස වැඩ කිරීම දිරිමත් කරන ආයතන ප්‍රධානීන්ගේ සැළකිල්ල මේ සිද්ධිදාමය දෙස ද යොමු විය යුතු ය. නැතිනම් වන්නේ මුලදී ඉහළ ගිය වේගයට වඩා වැඩි වේගයකින් පල්ලම් බසින ආයතනයකට උරුම කම් කීමට ය.

Advertisements

9 thoughts on “කණ්ඩායම් වැඩ අගතියක් නොවන්නට…

  1. කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, ආයතනයක ක්‍රියාකාරිත්වයට සම්පුර්ණයෙන් පටහැනි බවත්, ඒ නිසාම ආයතනයක් තුල කණ්ඩායම් ක්‍රියාකාරිත්වයක් තිබිය නොහැකි බවත්……. මගේ අදහසයි..

    කණ්ඩායමක් යනු කිසියම් අරමුනක් ක්‍රියාකාරිත්වයක් උදෙසා ස්වේච්චාවෙන් එක් රැස් වන ජන කොටසකි.
    සාමාජිකයන් එක් රැස් වන්නේ බොහෝ විට පොදු අරමුණක් , ක්‍රියාකාරිත්වයක් නිසාය. පොදු අරමුණ , පොදු ප්‍රතිලාභ ගැන සාමාජිකයන් දැනුවත්ය. පව්ද්ගලික ව එක් එක්කෙනාට ලැබෙන, වැටුප් වැනි ප්‍රතිලාභයක් නැත . කණ්ඩායම තුල සාමාජිකයන් ගේ තරාතිරම් උස පහත් බේද , ලිකිත ගිවිසුම් නැත. විවධ කාර්යයන් හි දක්ෂතා, අත් දැකීම් ඇති අය පෙරමුණ ගෙන ,අනෙක් අයත් සහභාගි කරවා ගනිමින් වැඩ කරති, වැඩ පිළිවෙල මෙහෙයවති.

    මෙයට වෙනස් ව ආයතනයක අරමුණක් කරා මෙහෙයවන්නේ ,වගකීම දරන්නේ එහි හිමිකරුවන් /ඉහල කළමනාකාරිත්වය වැනි කිහිප දෙනෙකි. බොහෝ දෙනෙකු ගේ කාර්යය වනුයේ, කළමනාකාරිත්වය විසින් සකස් කල ප්ලෑන් එකකට අනුව ටාගර්ට් එකක් කිසියම් කාලයක දී සම්පුර්ණ කිරීමය. එය නිසියාකාරව ඉටු කරන විට
    සේවකයාට කලින් එකඟ වූ නිශ්චිත වැටුප් ප්‍රතිලාභ ලැබේ. ඉටු කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් සේවකයා අස් කල හැකිය. ආයතන හිමියන් / ආයතනය සහ සේවකයන් අතර සම්බන්දතාවය ,නිශ්චිත ලිඛිත ගිවිසුමක් මගින් තීරණය වේ. .
    ආයතනය අරමුණු පිලිබඳ වගකීම හෝ ක්‍රියාකාරිත්වයේදී , සියල්ලෝම එක සමාන නොමැත. එක එක තරාතිරම්වල උස් පහත්කම් ඇත.
    එක එක තරාතිරම්වල, විශේෂයෙන් ඉහල කළමනාකාරිත්වයේ සහ පොදු සේවකයන් ගේ මුලික අරමුණු සම්පුර්ණයෙන් පටහැනි වීමටද ඉඩ තිබේ. උදාහරණයක් ලෙස, ආයතනයේ ලාභය වැඩි වන විට ඉහල කළමනාකාරිත්වයට ,එයින් යම් කොටසක් බෝනස් / ප්‍රතිලාභ ලෙස හිමි වෙයි. නමුත් ලාභය වැඩි කිරීම සඳහා පහල මට්ටමේ සේවකයන්ට, අඩු ප්‍රතිලාභ යටතේ වැඩි වැඩ කොටසක් කිරීමට සිදු වේ. අනෙක් අතට ලාබ්නය අඩුවන විට / පාඩු ලබන විට , ආයතනය /ඉහල කළමනාකාරිත්වය පැවැත්ම සඳහා , පහල මට්ටමේ සේවකයන් අස් කිරීම ද සිදු වේ. ආයතනයේ සමස්ත සාමාජිකයන් සැලකීමේදී, මේවා ප්‍රතිවිරුද්ධ අරමුණු ය, ක්‍රියාවන්ය.

    මෙම මුලික වෙනස්කම් සලකා බැලීමේදී ආයතනයක් තුල කණ්ඩායම් ක්‍රියාකාරිත්වයක් පැවතිය නොහැකි බව මගේ අදහසයි.

    • මට හිතෙන ආකාරයට ප්‍රශ්නය ඇත්තේ කණ්ඩායමක් පිළිබඳ ඔබ කරන නිර්වචනයේ ය. ආයතනයක් තුළ එහි ධුරාවලියට හා සම්මත ව්‍යුහයට බාහිරින් කමිටු ඇති කිරීම සිදු වේ. මා කණ්ඩායමක් යැයි අදහස් කළේ එවැනි කමිටු වලට ය.

      කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් එක් වන පිරිසක් ලෙස ඔබ දැක්වූ අර්ථ කථනය හැර ඔබ දක්වන (පහත උපුටා දක්වා ඇති) ඉතිරි සියලු ලක්ෂණ මා කියන ආයතනික කණ්ඩායම්වල ද දැකිය හැකි ය.

      “සාමාජිකයන් එක් රැස් වන්නේ බොහෝ විට පොදු අරමුණක් , ක්‍රියාකාරිත්වයක් නිසාය. පොදු අරමුණ , පොදු ප්‍රතිලාභ ගැන සාමාජිකයන් දැනුවත්ය. පව්ද්ගලික ව එක් එක්කෙනාට ලැබෙන, වැටුප් වැනි ප්‍රතිලාභයක් නැත . කණ්ඩායම තුල සාමාජිකයන් ගේ තරාතිරම් උස පහත් බේද , ලිකිත ගිවිසුම් නැත. විවධ කාර්යයන් හි දක්ෂතා, අත් දැකීම් ඇති අය පෙරමුණ ගෙන ,අනෙක් අයත් සහභාගි කරවා ගනිමින් වැඩ කරති, වැඩ පිළිවෙල මෙහෙයවති.“

      ඉහත ඔබගේ ප්‍රතිචාරයෙන් යුතු කොටසේ සංශෝධනයක් අවශ්‍ය නම් ඒ පළමු වාක්‍ය සඳහා පමණ ය. එතැන අරමුණ ආයතනය විසින් දී ඇති එකක් වුව ද සමාජිකත්වය ලැබීමෙන් පසු එය තමන්ගේම අරමුණක් ලෙස ක්‍රියාකරතැයි අපේක්ෂිත ය. බොහෝ දෙනා සම්බන්ධයෙන් එය එසේම සිදු වෙයි.

      ඒ නිසා ආයතනයක් තුළ කණ්ඩායම් ක්‍රියාකාරිත්වයක් නැතැයි යන අදහස හා මම එකග නොවෙමි. මා වැඩ කළ ආයතන තුළ එවැනි කණ්ඩායම්වල සමාජිකයෙකු හැටියට ක්‍රියා කළ අත්දැකීම් මට තිබේ. මේ සටහන තැබීමේ දී අඩු වැඩි වශයෙන් ඒවා ද බල පෑවේ ය.

      කෙසේ වුව ද කරන ලද මැදිහත් වීම අගයන අතර තවදුරටත් ඔබේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි.

  2. ආයතන තුල, එහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට , බාහිරින් යම් විශේෂිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා කමිටුවක් පත් කිරීම, සමහර විට දැකිය හැකියි. බොහෝ විට මෙය සිදු වන්නේ පරිපාලනමය කටයුත්තක් නියැලී හෝ මහජනයාට සේවාවක් සපයන (ලාභ ඉපයීම වැනි මුදල්මය අරමුණු නොමැති), රජයේ ආයතන වලයි.
    එවැනි ආයතන තුල, එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා හෝ නිශ්චිත සැලසුම් නොමැති වීම, දේශපාලකයන්ගේ / ඉහල නිලධාරින් ගේ අමතර නියෝග උපදෙස් හදිසියෙන්/ කඩිනමින් ඉටු කිරීමට සිදු වීම වැනි කරුණු මෙවැනි කමිටු පත් කිරීමට හේතු විය හැකියි.

    ආයෝජනයක් තුලින් ප්‍රතිලාභයක් ලබා ගැනීම අරමුණු කරගත්,(Return on Investment ) ව්‍යාපාරික ආයතන වලට මෙවැනි හදිසි වැඩ සඳහා කමිටු අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාවලියට පරිබාහිර , අවශ්‍යතා/ ක්‍රියාවලින් ද ඉටු කරනුයේ හදිසියෙන් කලබලයෙන් නොවේ, සෑහෙන අවධානයක් / කාලයක් යොදා මනාව සැලසුම් කිරීමෙන් පසුවයි.
    එවැනි කාර්යයන්ද , වගකීමක් සහිතව /ඉටු කිරීම වෙනුවෙන් ප්‍රතිලාභයක් ද සහිතව , කළමනාකරුවන්ට භාර දීම සිදු වේ.. කාර්යයේ අරමුණු ස්වභාවය සැලැස්ම ,වය වන කාලය කාලය ප්‍රතිලාභ ලිකිතව දැනුම් දීම සිදු වේ.
    එය තව දුරටත් ස්වෙච්චා කණ්ඩායම් කාර්යයක් නොවේ. අමුතුවෙන් කළමනාකරණ මුල ධර්ම /චින්තනයන් අවශ්‍ය නොවේ.

    • පුද්ගලික ආයතනවල ඇති තත්ව පාලන කව කණ්ඩායම්වලට එක් උදාහරණයක්. මා දන්නා ආයතන බොහෝමයක පුද්ගලික ආයතන ද ඇතුළුව මෙවැනි කණ්ඩායම් පවත්වා ගෙන යනව. විශේෂ ව්‍යාපෘතීන් සඳහාත් ඔවුන් කණ්ඩායම් හදනව. ඊට අමතරව වාර්ෂික සැළස්ම උපායමාර්ගික සැළැස්ම වගේ ඒව හදන්නත් එසේ ගොඩනගන තාවකාලික කණ්ඩායම් යොදා ගැනෙනව. එවැනි අවස්ථාවල ධුරාවලිය අමතක කොට දක්ෂ හා වෙනස් විදිහකට හිතන්න පුළුවන් අයට ආරාධනා ලැබෙනව. ඊටත් අමතරව අප කරන වැඩවලින් කොටසක් අපට තනිව කළ හැකි මුත් සමහර වැඩ සඳහා ආයතන තුළ ඉන්න වෙනත් අයගේ අවිධිමත් සහ වක්‍ර සහය අපට ලබා ගන්නට වෙනව.

  3. Senaka says:

    සෘජුවම මෙයට අදාළ නැති දෙයක් අසන්න කැමතියි. කළමනාකරණයේ එන Negotiation යන්නට තනි සිංහල වචනයක් තිබෙනවාද?

    • මම ඒ සඳහා භාවිතා කරන්නට කැමති ‘කතිකාවකින් පසු සම්මුතියකට එළඹීම හෝ සම්මුතියකට එළඹීම සඳහා කරනු ලබන කතිකාව‘ යනුවෙන්. ඒත් maduraonline.com වලට පිවිසුනොත් ඔබට තවත් වචන විමසතෑකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s