හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් ය


හැමෝගෙම හිත දිනා ගෙන ඉන්න ඕනෑ. මේ ඔබේ පැතුම නම් ඔබ අමාරුවේ ය. හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් යැයි යන ජනප්‍රිය කියමන පිටුපස තිබෙන්නේ මේ කතාවයි.

කළමනාකරුවෙකුට නම් හැම දෙනාගේ සිත දිනා ගෙන සිටීම අසීරු ය. නොහොබී ය. එහෙම නැති කෙනෙකුට වුවත් මේ අස්ථානයෙන් වැඩක් තිබේ ද? මේ ගැන විමසා බලමු.

හැම කෙනාගේම හිත දිනා ගැනීමේ එකම මග පැත්තක් නොගෙන සිටීම ය. වැට උඩ සිටීම ය. කිසිම දෙයක් ගැන තමන්ගේම මතයක් ඇති කර නොගැනීම ය. හැම දෙයකටම හූ මිටි තැබීම ය. ඔළුව වැනීම ය. එහෙටත් නැති මෙහෙටත් නැති තැනක කකුළ තබා ගැනීම ය. හැමෝම කරන දේ කිරීම ය. හැමෝම නොකරන දෙයින් වැළකීම ය. දඩුවම් දීමෙන් විවේචනයෙන් හොඳ නරක පෙන්වා දීමෙන් වැළකීම ය.

මෙසේ සිතන බොහෝ දෙනෙකුගේ අභිප්‍රාය ජනප්‍රිය වීම ය. කාගේත් හිත හොඳ දිනා ගැනීම ය.

එහෙත් අවසානයේ සිදුවන්නේ කිසිවෙකු කැමති නොවීම ය. මතයක් නැති අස්ථානයක් නැති හැම පැත්තටම නැවෙන හිස් දුබල චරිතයක් ලෙස මතු වීම ය. එවැන්නෙකුගෙන් ලෝකයටවත් තමන්ටවත් වැඩක් නැත. ඔවුන් කපට පුද්ගලයන් විසින් තම අභිප්‍රායයන් මුදුන් පත් කරගැනීම සඳහා යොදා ගනු ලබන ආම්පන්නයන් බවට පමණක් පත් වේ.

මේ හැම දෙනාගේම හිත හොඳ දිනාගැනීමට යාමෙන් මුලින්ම නැතිවන්නේ ඔබේ අනන්‍යතාවය යි. ඔබට කියා ප්‍රතිරූපයක් මතයක් ඇති කර ගැනීමට ඔබට එවිට නොහැකි ය. ඒ ඉන්නා වටපිටාවට අනුව පාට වෙනස් කරගැනීමට ඔබට සිදු වන නිසා ය.

දෙවැනියට ඔබට කිසිවකට හෝ කිසිවෙකුට නැතැයි කීමට බැරි වේ. ඒ එයින් ඔවුන් තරහ වෙතැයි යන බිය ඔබට කරදර කරන නිසා ය.

තෙවැනිව ඔබට ඔබ කවුදැයි තේරුම්ගත නොහැකි වේ. ඔබව ගවේෂණය කිරීමට ඔබට පවා නොහැකි වේ. ඒ අන් අය වෙනුවෙන් ඔබ සියල්ල අතහැර දමා ඇති නිසා ය. ඔබේය කියා කිසිවක් ඔබට නැති නිසා ය. එයින් ඇති කරනු ඇත්තේ පහසුවෙන් සමනය කළ නොහැකි හිස් බවකි.

ඔබ නිසා කිසිවක් කිසිවෙකු වෙනස් වන්නේ නැත. යමෙකුගේ ජීවිතය වෙනස් කළ හැක්කේ ඔහුට ඇයට විරුද්ධ වීමෙනි. ඔහු ඇය නොදකින පැත්තක් පෙන්වා දීමෙනි. එහෙත් අමනාප වෙතැයි යන බිය නිසා එවැන්නක් ඔබට කළ නොහැකි ය.

ඔබේ දියුනුව ඇන හිටියි. විවේචනය කෙනෙකු වෙනස් කරයි. දියුණු කරයි. එහෙත් ඔබ හැමෝගේම හිත දිනා ගැනීම උදෙසා කිසිවෙකු විවේචනය කරතැයි සිතන හැම එකකින්ම මිදෙයි. එවිට විවේචනය ඔබට උදව්වට එන්නේ නැත.

ඔබට නිවැරදි දේ කිරීමට නොහැකි වේ. ඔබ යමක් කළ යුත්තේ එය නිවැරදි නිසා මිසක එයින් ඔබට යමක් අත්වෙතැයි ලැබෙතැයි සිතා නොවේ. අන් අයගේ කැමැත්ත පතන ඔබ කරන්නේ නිවැරදි දේ නොවේ. වැඩි දෙනෙක් කැමති දේ ය. ඒ නිසාම ඔබට නිවැරදි දේ කළ නොහැකි වෙයි.

ඔබට ඔබේ කාලය වඩා ඵලදායී ලෙස යොදා ගත නොහැකි වෙයි. ඒ ඔබ අනුන් කැමති දේට ඔවුන් අනුමත කරන දෙයට කාලය වැය කරන නිසා ය.

ඔබට සතුට අහිමි වේ. ඒ එකකු සතුටු කරන්නට යන විට තවකෙකු අමනාප වන නිසා ය. ඒ අමනාපය ඔබට වද දෙන නිසා ය. ඒ එක අමනාපයෙන් ඔබේ අරමුණ – හැම කෙනෙකුම හොඳින් තබා ගැනීමේ අරමුණ – පරදින නිසා ය.

මේ නිසා හැමෝගෙම හිත දිනා ගෙන සිටීමේ අරමුණින් ඔබ ගැලවිය යුතු ය. එය කිසිදු තේරුමක් නැති අපේක්ෂාවකි. ඉලක්කයකි.

එයින් අදහස් කරන්නේ ඔබ සෙස්සන්ට අසංවේදී විය යුතු බව නොවේ. ඔවුන් උදෙසා ඔවුන්ගේ කැමැත්ත හිත හොඳ උදෙසා ඔබ ඔබව පාවා නොදිය යුතු බව ය. ඔබටත් ලෝකයටත් වැඩක් ඇති කෙනෙකු වීම සඳහා හැමෝගේම හොඳ හිත දිනාගැනීමේ අභිලාශය අත් හැරිය යුතු බව පමණ ය.

මේ කී දෑ ඕනෑම කෙනෙකුට වැදගත් උවදෙසකි. එහෙත් කළමනාකරුවන්ට එය වඩාත් සුවිශේෂ ය. ඔවුන්ට එය මග හැරිය නොහැකිම පාඩමකි.

Advertisements

2 thoughts on “හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් ය

  1. අන් අය කරන වැරදි තමාද කරන බැවින් නිහඩව අන් අය සතුට කරන කලමනාකරුවන්ද සිටිය හැක. එබැවින් මෙය හුදු ජනප්‍රියතාවය බලාපොරොත්තුවනවාට වඩා එහා ගිය උපක්‍රමයක්ද විය හැක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s