සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල!


දානයේ ආනිසංශ ගැන දන් ලබන අය කතා කරන විට දැනෙන්නේ තරමක අපුලකි. එසේ වුව ද දානයේ ආනිසංශ කවරේදැයි අපට කතා කිරීමට සිදුව ඇත්තේ නොදී ගන්නට බැරි යැයි අප විසින්ම පසුගිය සටහනේ ලොකුවට කී බැවිනි.

නොදී ගන්නට බැරිවා සේම නොගෙන දීමට බැරි ය. ඒ නිසා ගන්නට බලාගෙන දිය යුතු ය. ආනිසංශ ගැන හොයන්නේත් කියන්නේත් ඒ නිසා ය.

බැලු බැල්මට එය ජුගුප්සා ජනක ය. දෙන්නේ ගන්න බලා ගෙන නම් එතැන ඇත්තේ සැබෑ දීමක් දැයි කෙනෙකුට ඇසිය හැකි ය.

දෙන අය ගන්න විදිහක් ද කල්පනා කළ යුත්තේ ගන්නේ නැතිව දිගින් දිගටම දෙන්නට බැරි නිසා ය. දානය පිළිබඳ ජනප්‍රිය මතයට එකග නොවෙන මුත් තිත්ත ඇත්ත එය ය.

ගන්න වැඩපිළිවෙළක් ඇතිව දෙනවාට අමතරව දෙන්නේ කාට ද යන්න ගැන ද විමසිලිමත් විය යුතු ය. නොදී මග හැරිය යුතු කීප දෙනෙක් සිටිති. ඒ හිගන්නන් මං කොල්ල කරුවන් හා හොරුන් ය. ඒ උන් ගැනීමම ජිවිතය කර ගෙන ඉන්නා නිසා ය.

දිගින් දිගට දීමෙන් දුප්පත් වන්නේ දෙන තැනැත්තා පමණක් නොවේ. ලැබෙන තැනැත්තා ද දුප්පත් වේ. ලැබෙන නිසා උත්පාදනයට ඔහු/ඇය උත්සුක නොවන බැවිනි. දීම නිසා සිදුවන්නේ ලබන තැනැත්තා පොහොසත් වීමක් නොව තව තවත් දුප්පත් වීමක් නම් දීම වහා නවතා දැමිය යුතු ය.

දෙන්නේ මාළුවෙක් ද මාළු ඇල්ලීමට බිලී පිත්තක් ද යන වග ද කල්පනාවට ලක් කළ යුතු ය. පළමුවැන්න තාවකාලික ය. එයින් සිදුවන්නේ දිගින් දිගටම දීමේ වැඩසටහනකට සෙට් වීමට ය. දෙවැන්න බඩගින්නට තිරසාර විසදුමක් වීමට හැකි ශාක්‍යතාවයකින් යුක්ත ය.

තිරසාර විසදුමක් යැයි නොකියා එවැනි විසදුමකට ශාක්‍යතාවයක් තිබේ යැයි කීවේ බිලිපිත්තක් දුන්නහම සමහර හිගන්නන් කරන්නේ එයින් මාළු බාගන්නේ නැතිව එය විකුණා දැමීම නිසා ය. එහෙම උන්ට බිලී පිත්තක්වත් දිය යුතු නැත.

මේ කියන කාරණා කෙනෙකු යොමු කරන්නේ හැම දෙයක්ම ගනුදෙනුවක් හැටියට ගෙන කිරීමට නම් එයින් ද ඔහුට / ඇයට අමාරුවේ වැටීමට සිදු වේ.

සමහර අවස්ථාවල ආපසු ලැබෙන්නේය යන්නට පූර්ණ සහතිකයක් නොමැතිව දිය යුතු වේ. ඒවාට අප කියන්නේ ආයෝජන කියා ය.

ආයෝජනවලින් කොටසක් නැවත පොලිය සමග ලැබෙන අතර තව කොටසක් අපට අහිමි වේ. ඒ නිසාම ඒ අවදානම ගන්නට අකමැති අය ආයෝජනයෙන් වැළකී ගනුදෙනුවලට පමණක් යොමු වේ. පළමු කොටස ව්‍යාපාරිකයන් වන විට දෙවැනි කොටස වැටුප් ශ්‍රමිකයන් බවට පත් වේ.

ආයොජන කරන්නේ ව්‍යාපාරවල පමණක් නොවේ. අප මිනිසුන් සම්බන්ධයෙන් ද ආයෝජනයන් කරමු. යහළුවෙකුට කරදරයක දී උදව් දෙන කෙනෙකු කරන්නේ ද ආයෝජනයකි. යහළුවා කිසි දිනෙක එයට ප්‍රතිඋපකාරයක් නොකරන්නට පුළුවන. ඒ අවදානම අප බාර ගත යුතු ය.

ආයෝජනය කරන ව්‍යාපාරිකයන් අපේ අගැයීමට පාත්‍ර විය යුත්තේ උන් ලැබීම ගැන පූර්ණ සහතිකයක් නැතිව අත් හැරීමට තරම් නිර්ලෝභී නිසා ය. මිනිසුන්ට යහළුවන්ට උදව් කරන්නන්ට ව්‍යාපාරිකයන් සමාන කිරීමට මා කැමැත්තේ මේ පොදුගුණය නිසා ය.

එයින් ප්‍රදර්ශනය කරන අත්හැරීම බොහෝ අයට කළ හැකි දෙයක් නොවේ. වැටුප් ශ්‍රමිකයන් අප අතර වැඩියෙන් ද ආයෝජකයන් අඩුවෙන් ද ඇත්තේ අප බොහෝ දෙනෙකුට අත හැරීමට බැරි බැවිනි.

ආයෝජනයන් අවදානම් බැවින් ආයෝජනය කළ යුත්තේ ඒ අවදානම දැන ගෙන ය. අත්හැරීමට හිත හදා ගෙන ය.

එතෙකුදු වුව ද දිගින් දිගට දානයේම නියැලීමෙන් අවදානම් ගැන වෙස්සන්තර කෙනෙකු වීමේ අවසානය දෙන්නට දෙයක් ඉතිරි නොවීම ය. එය තිරසාර ව්‍යාපාරයක් නොවේ. අවසානයේ සිදුවන්නේ අඹුව ද දරුවන් ද අත් හැරීමට ය. ජූජක බමුණෙකුට පාවා දීමට ය. බුදුවන්නට පෙරුම් පුරනා කෙනෙකු නොවේ නම් ඔබ ඒ මග නොගත යුතු ය.

ඒ නිසා දීම කළ යුත්තේ දැන ගෙන ය. දෙන්නන් වාලේ දීමත් නොදී සියල්ල රදවා ගැනීමත් දෙකම එකසේ අයහපත් ය. ගැනීම ගැන පමණක් නොව දීම ගැනත් නිසි අවබෝධයක් කළමනාකරුවෙකුට තිබීම ආයතනයේ ඉදිරියට මෙන්ම පැවැත්මට ද එකසේ වැදගත් ය.

Advertisements

One thought on “සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල!

  1. ගණුදෙනුව යන්නේ අර්ථය සැලකිල්ලට ගතහොත් එහි දී ගන්නා අය, තමන් දෙන දෙයට වඩා අගයක් ගන්නා දැයෙහි ඇතැයි විශ්වාස කරති. එහෙම නැත්නම් කිසිවෙක් තමන් සතු නොවූවක් ගන්නට කැමැත්තෙන් තමන් සතු වූවක් දෙන්නේ නැත. කුණු කොල්ලයට විකුණනවා යැයි කන් කෙඳිරිගාමින් ගන්නා යම් භාණ්ඩය වුවත් ගන්නේ තමන් අත්හරින මුදලට වඩා ඒ භාණ්ඩය සතු කරගැනීමට උවමනාවක් හෝ කැමැත්තක් ඇත්නම්ම පමණකි. ඒ උවමනාව රෝගී වී ඉන්න අම්මාට බෙහෙත් ද, මිය ගිය ඥාතීන්ට පිං පිණිස දුන් දානයක් ද, තමන්ට උජාරැවට හැඳ යන කමිසයක් ද යන්න ඒ පුද්ගලයා දෙන අගැයුමක් පමණි. නමුත් ඒ පුද්ගලයා ඊට අගැයුමක් දෙන බව අපිට බැහැර කළ නොහැකියි.

    දෙන දැයට අඩු වටිනාකමක් ද ලැබෙන දැයට වැඩි වටිනාකමක් ද නියම වෙන්නේ නැත්නම් කිසිම පුද්ගලයෙක් ගණුදෙනුවක නියැළෙන්නේ නැතිකම මිනිස් ස්වභාවයයි.

    //……. බිලිපිත්තක් දුන්නහම සමහර හිගන්නන් කරන්නේ එයින් මාළු බාගන්නේ නැතිව එය විකුණා දැමීම නිසා ය. එහෙම උන්ට බිලී පිත්තක්වත් දිය යුතු නැත.//

    මෙතැන ඇත්තේ ගණුදෙනුවක් නොවේ.

    හිඟන්නා ගණුදෙනුවක යෙදෙන්නෙක් නොව දෙන දෙයක් ලබාගන්නට යදින්නෙකි. මුදල් හිඟාකන හිඟන්නා එයින් තමනට උවමනා දේවල් මිල දී ගෙන පරිභෝජනයෙන් අවසන් කරයි. හිඟන්නෙක්ට මුදලක් පරිත්‍යාග කරද්දී හිඟන්නා ඒ මුදල කෙසේ වියදම් කරයි ද යන්න ගැන අපට කොන්දේසි පැනවිය නොහැකියි. කැමැත්තෙන් දෙන මුදල අප අතින් මාරැ වූ පසු, ඒ මුදලට ඇති අපේ අයිතිය හමාරයි. අපට කළ හැක්කේ ඉන්පසු මුදල් නොදී සිටීම වුවත් අපේ කැමැත්ත නොවිමසා ආණ්ඩුවක් අපේ මුදල් බදු වශයෙන් උදුරා හිඟන්නන්ට බෙදා දීමේ දී අපට කළ හැකි කිසිවක් නැත!!!!

    //ආයෝජනයන් අවදානම් බැවින් ආයෝජනය කළ යුත්තේ ඒ අවදානම දැන ගෙන ය. අත්හැරීමට හිත හදා ගෙන ය.//

    ආයෝජනය කරන්නේ තමන්ට පරිභෝජනයෙන් අවසන් කළ හැකි වූව හෝ ණයක් හැටියට ලබාගත්තකි. එහෙත් අත්හැරීමට හිත හදාගෙන අයෝජන අවදානමක් ගන්නේ ද, එවිට වැඩේ පටන් ගන්නට පෙරම වෑයමට පිවිසෙන්නේ ඍන ප්‍රවේශයකින් නොවේද? ව්‍යාපාරිකයෙක් calculated risk එකක් ගනිද්දී එහි කොතරම් අවදානමක් ඇත්දැයි අවදානම ගන්නට පෙර සොයා බලා අවදානම වැඩි තරමට ලාභත් වැඩියෙන් ලැබෙනවා යැයි කරන අපේක්ෂාවෙන් වැඩි අවදානමක් ද, ලාබ අඩුවෙන් ලැබුන ද අවදානම සුළු නිසා එය ගැනීම ද මිසෙක කළ යුත්තේ අත්හැර දැමීමට සල්ලි යට කිරීම නොවේ. මේ වැදගත් කාරණය පරිණත ව්‍යාපාරිකයන් මනා සේ අත්විඳ ඇත. ඔවුන් අවදානම් සලකා බලා මේවායෙන් ලාබ හොයන්න බෑ යැයි අවදානම ගැනීම ප්‍රතික්ෂේප කරති. මෙසේ අවදානම් අනුව ලැබෙන ලාබ පාඩු සලකා බලන්නට දැනුමක් නැතිකම නිසා බොහෝ නව ආයෝජකයන් බංකොළොත් වීමත් හොරැන්ට හසුවීමත් නොමඳව දකින්නට ලැබේ.

    //දෙන්නේ කාට ද යන්න ගැන ද විමසිලිමත් විය යුතු ය. නොදී මග හැරිය යුතු කීප දෙනෙක් සිටිති. ඒ හිගන්නන් මං කොල්ල කරුවන් හා හොරුන් ය. ඒ උන් ගැනීමම ජිවිතය කර ගෙන ඉන්නා නිසා ය.//

    සම්පූර්ණයෙන්ම එකඟයි!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s