මෛත්‍රීපාල සිරිසේන -ඒ කවුද – ඉන්නේ වෙන වෙනම මෛත්‍රී කෙනෙක් හා සිරිසේන කෙනෙකි!


“මෛත්‍රී“ – යන සන්නාමය (brand image) මනසේ ස්ථානගත කිරීමට විපක්ෂය උත්සහ කරද්දී ආණ්ඩුව හදන්නේ එය අමතක කොට සිරිසේන යන නාමය උඩට ගැනීමට ය. අද වනවිට ආණ්ඩුවේ පත්තරවල මුල් පිටුවේ විවේචනය සිරිසේන නාභිගත කොට සිදු කෙරෙමින් පවතී. වෙනදා තඩිබාන රනිල් හෝ චන්ද්‍රිකා මුල පිටුවෙන් පසු පිටුවලට විස්ථාපනය වෙමින් තිබේ.

මේ සිදුවන ක්‍රියාවලිය නිසි ලෙස තේරුම්ගැනීම කළමනාකරුවෙකුට වැදගත් ය.

විපක්ෂයේ තේමාව මෛත්‍රී පාලනයක් යන්න ය. එය සාධනීය ය. සෞම්‍යය ය. සොඳුරු ය. දේශීය ය. ආගමික ය. ඒ නිසාම ප්‍රබල ය.

ආණ්ඩුව මෛත්‍රීපාල යන නම වෙනුවට සිරිසේන යන නම යොදා ගන්නා ලෙස තමන් යටතේ ඇති සියලු මාධ්‍යවලට විධාන දී ඇත්තේ ඒ නිසා ය. සමහරුන් කියන පරිදි මෛත්‍රී භාවනා වැඩසටහන මෙත් වැඩුම ලෙස නම් කළේ නම් එසේ කරන්නට ඇත්තේ ද ඒ නිසා ය.

ආණ්ඩුවත් විපක්ෂයත් මේ හැසිරීම මගින් අපට කියා සිටින්නේ සන්නාමයක වැදගත් කම ය. මනස තුළ සාධනීය ලෙස ස්ථාන ගත කරවීමේ වැදගත් කම ය.

විපක්ෂ දැන්වීම් කරණය තුළ රනිල් චන්ද්‍රිකා හෝ චම්පික නැත. ඇත්තේ මෛත්‍රී ගේ සිනහබර මුහුණ ය. ඒ නිසාම රනිල්ට චන්ද්‍රිකාට තඩි බෑමෙන් එතරම් වැඩක් සිදු වන්නේ නැත. මෛත්‍රී ඔවුන්ගේ තල්ලුවෙන් ආ බව ඇත්තකි. එහෙත් මේ වනවිට ඔහු තමන්ගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබේ. වෙන එකක් තබා තමන්ටම ආවේණික ඇඳුමකින් සැරසෙන්නට ද ඔහු වගබලාගෙන තිබේ.

ඒ නිසාම රුහුණේ මාගම්පත්තුවේ මහින්ද “මාමා“ට වෙනදා මුණ ගැහුණු ටයිකෝට් වලින් සැරසුනු රනිල් “අංකල්“ වෙනුවට දැන් මුණ ගැසෙන්නේ රෙද්දයි බැනියමයි අඳින නව ආරකින් පෙනී සිටින රජරට ගොවියෙකුගේ පුතෙකි.

ගැමියාගේ මනස තුළ මෛත්‍රී ස්ථානගත වන්නේ රනිල් ස්ථානගත වූවාට වඩා උත්තර තැනක ය. මේ සටන නව මානයක් ගෙන තිබෙන්නේ ද ඒ නිසා ය.

නිවැරදි කවු ද යන්නට වඩා දිනන්නේ කවු ද යන්න මේ මැතිවරණයේ මූලික තේමාව වී තිබෙන බව ද විමසිය යුතු කරුණකි.

රාජ්‍ය යන්ත්‍රය දේශපාලනීකරණය වීමේ තරම එය කදිමට කියා පායි. මහන මැෂිමක් මාලු දැලක් මෝටර් සයිකලයක් ගත හැක්කේ කාට පක්ෂ වීමෙන් ද යන ප්‍රශ්නයට උත්තර ඇත්තේ එහි ය. රටට මොකක් වුනත් අපට යමක් ගත හැක්කේ කාගෙන් ද යන ප්‍රශ්නය මිනිසුන් මතු කිරීම අප ගොඩ නගා ගෙන ඇති දේශපාලන සංස්කෘතියේ දිග පළල කියා පාන්නේ ය.

ඒ නිසාම ලංගම බස්යොදා ඈත සිට මිනිසුන් ගෙන හෝ රැස්වීමේ බලය පෙන්විය යුතුව තිබේ. බස් වලින් සෙනග අද්දවා ඇති බව ජනතාවට ආරංචි වීම එහිදී වැදගත් කොට නොසැළකේ. එසේ හෝ සෙනග අද්දවා ගැනීමට ඇති හැකියාව පමණක් ඉස්මතු වෙයි. ප්‍රදර්ශනය කළ යුතුව තිබෙන්නේ බලය ය. නග්න බලය ය. මේ මැතිවරණයේ තරම් වෙන කිසිම මැතිවරණයක එවැන්නක් දැක ගත හැකි නොවී ය.

අප ගමන් කරන අනාගතය කෙබදු දැයි මේ මැතිවරණය අපට පෙන්වා දෙන්නේ ය. වඩාත් විමසිල්ලෙන් මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බලා සිටීමෙන් අපට රට තුළ හැඩ ගැහෙමින් තිබෙන මානසිකත්වයන් තේරුම් ගන්නට ඉඩ ලැබේ. ඒ ගැන සංවේදී සිටීම සිය උපාය මාර්ග සැළසුම් කිරීමේ දී කළමනාකරුවෙකුට වැදගත් වේ. එයට හේතුව මේ චන්දදායකයා ඔබෙ පාරිභෝගිකයා සේවාලාභියා සේවකයා හා ගනුදෙනුකරුවා ද වන හෙයිනි.

ඒ නිසාම දේශපාලනය ගැන උනන්දුවක් ඇතත් නැතත් මේ දිගහැරෙන ක්‍රියාදාමය හා ඒ තුළ ප්‍රකට වෙන කරුණු ගැන උනන්දුවක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. ඒ සඳහා තමන්ගේ පෙරහනයන් ඉවත දා මේ ක්‍රියාදාමය ලෙස බාහිර පාර්ශවකරුවෙකුගේ කෝණයෙන් බැලිය යුතු ය.

Advertisements

3 thoughts on “මෛත්‍රීපාල සිරිසේන -ඒ කවුද – ඉන්නේ වෙන වෙනම මෛත්‍රී කෙනෙක් හා සිරිසේන කෙනෙකි!

  1. The Prince says:

    භාණ්ඩයක් ( හෝ සේවාවක් ) වෙළඳපලේ සෙසු තරඟකාරී භාණ්ඩවලට සමාන හෝ , වඩා ඉහල මිලකට විකිනීමට උත්සාහ කිරීමේදී, …මෙම සන්නාම වටිනාකම, තිබෙන ගුණාංග පිම්බීම, නැති ගුණාංග ආරෝපණය කිරීම වැනි ප්‍රචාරණ උපක්‍රම උපයෝගී විය හැක. යම් කලකට,යම් දුරකට සාර්ථක ද විය හැකිය!

    නමුත්, මැතිවරණයක් ආසන්නයේ අපේක්ෂකයන් මේ විදියට ” මාකට්” කිරීමෙන් සාර්ථක ප්‍රතිපල නෙලා ගත හැකිද ?
    මේවායේ ප්‍රතිඵල තක්සේරු කරන්නේ කෙසේද ?

    මේ, මාකටින් ජිමික් ” විච්චුර්ණ ” අවශ්‍ය වනුයේ අපේක්ෂකයෙකුට/දේශපාලන පක්ෂයකට……, දේශපාලන ආර්ථික දර්ශනයක් , ප්‍රතිපත්තියක් , අනාගත වැඩ පිළිවෙලක් ,ට්‍රැක් රෙකෝඩ් එකක් …නොමැතිකම නිසා නොවේද ?

    මේවා අවශ්‍ය වනුයේ, “විනයක් ඇති රටක්”….” ඔබේ දරුවාට සුභ අනාගතයක් ” වැනි බොල් හිස් මතවාද මතුරන්නට ,වර නගන්නට ,සමාජගත කරන්නට නොවේද ?

    \\ ඒ ගැන සංවේදී සිටීම සිය උපාය මාර්ග සැළසුම් කිරීමේ දී කළමනාකරුවෙකුට වැදගත් වේ.//
    .කලමනාකරුවෙකුත්, සිය උපාය මාර්ග සැකසීමේදී…මේ විච්චුරන පදනම් කර ගත යුතුද ?

    • අප බොහෝ දෙනෙකු මග හරින කාරණය නම් මිනිසුන් තීරණ ගන්නේ තාර්කිකවම නොවේය යන්නයි. මැතිවරණ හෝ ප්‍රතිපත්ති ප්‍රකාෂණ බලා තීරණ ගන්නේ කවුද? ඒවායේ තියෙන දේ ක්‍රියාත්මක කරන්නේ ද යන්න ගැන ඇති සහතිකය කුමක් ද? එවැනි තත්වයක් යටතේ ඒ ගැන පදනම්ව ගන්නා තීරණය නිවැරදි වන්නේ ද?

      බහුතරයක් මිනිසුන් තීරණ ගන්නේ උඩු සිතේ ඇති වන තර්කයෙන් නොව යටි සිතන දැනෙන ආකාරයෙනි. උඩු සිත කරන්නේ යටි සිත බැස ගත් නිගමනය සනාථ කිරීමට කරුණු සෙවීම පමණ ය. මේ බව තේරුම් ගැනීම කළමනාකරුවෙකුට නිවැරදි උපාය මාර්ගයන්ට ඒමට අතිශයින් වැදගත් ය.

      2005 ජනපතිවරණ ප්‍රකාෂණ දෙක දෙස බැලුවොත් පෙනී යන කරුණ නම් ඒ දෙකෙහිම අන්තර්ගතය වෙනස් නැති බව ය. යුද්ධය සම්බන්ධයෙන් පවා ඒ ප්‍රකාෂණ දෙක වෙනස් වූයේ නැත. වෙනස තිබුනේ අපේක්ෂකයන් දෙදෙනා ඇති කළ ප්‍රතිරූප දෙක වෙනස් වීම ය. මහින්ද ගමේ මාමා වීමත් රනිල් නගරයේ අංකල් වීමත් ය. අවසානයේ දී වුනේ ගමේ චන්ද මහින්දටත් නගරයේ චන්ද රනිල්ටත් ලැබී දෙදෙනා අතර කිට්ටු තරගයක් ඇති වීම ය.

      අප පිළිගැනීමට අකමැති වුව ද වැඩ සිද්ධවන්නේ ඒ අයුරිනි. ඒ බව නොපිළිගත්තාට වැඩක් වන්නේ නැත. වඩා සුදුසු ඒ තත්වය තේරුම් ගෙන ඒ අනුව අපේ උපාය මාර්ග සකස් කිරීම ය.

      හොඳ දේ විකුණන්නට හැක්කේ ඒ උපාය මාර්ගය ද අනුගමනය කළොත් විතර ය. අප හොඳ දෙයක් නිපදවූවාට වැඩක් නැත. එය විකුණනන්ට ද කටයුතු කළ යුතු ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s