මැකෝ නොදන්න කළමනාකරණය


මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නාම යෝජනා බාර ගන්නා දින ජනතාවට අවවාදාත්මක කතාවක් කළේ ය. එහි සාරය වූයේ නායකයින් දෙපළ මෙන් බිම්මට්ටමේ සමාජිකයන් ද එකිනෙකාට ගෞරව දක්වමින් හැසිරිය යුතු බව ය. නායකයින් දෙපළ ආදර්ශයට ගෙන ජනතාව ද ඔවුන් මෙන් හැසිරිය යුතු බව ය.

බැලු බැල්මට එය අගනා කතාවකි. විමසුම් සහගතව බැලුවොත් එය කොළේ වහලා ගැහීමකි.

නායකයන්ට යන්නට ඉඩ හැර අනුගාමිකයින්ට තැලීමකි. නායකයන් වගකීමෙන් නිදහස් කරවීමකි.

මා උගත් කළමනාකරණයට අනුව අනුගාමිකයන්ගේ වැරදිවලට වගකිව යුත්තේ නායකයා ය. අනුගාමිකයන් නිසි මගට ගැනීමේ වගකීම ඇති නායකයින් සුදු කර අනුගාමිකයින් පමණක් කළු කිරීම මැතිවරණ කොමසාරිස් පදවිය හොබවන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙකුට තරම් නොවේ.

එසේ වුව ද එය සිදු වෙයි. එයට හේතුව කුමක් විය හැකි ද? මැතිවරණ කොමසාරිස් කළමනාකරණය ගැන නොදන්නවා විය නොහැකි ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් විවිධ මට්ටමේ දී කළමනාකරණය විෂයයට නිරාවරණය වෙයි.  ඔවුන් ඒ සඳහා පුහුණු කිරීමට විශේෂ ආයතනයක් ද තිබේ. ඒ සියල්ල තිබියදී මෙසේ වීම කෙසේ තේරුම් ගන්න ද?

නස්රුදින් නැතිවූ යතුර සෙවුවේ යතුර වැටුන තැන නොවේ. එලිය තිබුන තැන ය. හේතුව වැටුනු තැන අඳුරු වීම ය. අඳුරු තැනක යතුරක් සෙවිය හැකි ද? ඒ තර්කයට අනුව ඔහු කළ දේත් හරි ය.

නායකයන්ට කියා වැඩක් නැත. බය නැතිව යමක් කියන්නට හැක්කේ ජනතාවට ය. ඒ නිසා ජනතාවට බණ කිම තෝරාගැනීම ගැන මැතිවරණ කොමසාරිස්ට දොස් කිව හැකි ද? නස්රුදින්ට දොස් නොනගන්නේ නම් මැකෝට දොස් නගන්නට අපට බැරි ය.

මැතිවරණ කොමසාරිස්ලා නස්රුදින්ලා වී ඇති රටක කළමනාකරණයට අත් වනු ඇත්තේ කවර ඉරණමක් ද? මේ ප්‍රශ්නය මා නගන්නේ කළමනාකරණය ගැන ඉගැනීමට උනන්දුවෙන් මේ බ්ලොග් අඩවියට ගොඩ වෙන ඔබගෙන් ය.

Advertisements

4 thoughts on “මැකෝ නොදන්න කළමනාකරණය

  1. Pushpa Kumara says:

    ඔබගේ අදහස් අගය කරමි.

    අපි ජීවත් වන්නේ නස්රුදීන්ලා බහුල රටකය. බලන බලන අත නස්රුදින්ලා ඔය ආකාරයට නැතිවූ යතුරු සොයති. සාමාන්‍ය ජනතාව ද යතුර සෙවීමට උදවු ද දෙති. යමෙකු ඔය තත්වය පහදා දීමට ගිය විට සාමාන්‍ය ජනතාව ඔහු හෝ ඇය දෙස අවක්ඥා සහගතව බලා එලිය නොමැති තැන් වල යතුරු සෙවීම ප්‍රායෝගික නොවන බව තේරුම් කරති.

    මම උදාහරණයක් ගන්නම්. මම කලක් අපේ රටේ මාර්ග සංවර්ධනයට අදාළ නිර්මානයක යෙදී සිටියෙමි. මාර්ගයක් නිර්මාණය කරද්දී එය කල යුතු ආකාරයක් ඇත. ඒ ආකාරයට අදාළ ආයතනයට අදහස් ඉදිරිපත් කල විට ඉහලින් ලැබුනේ රිනාත්මක අදහස් පමණි. ඕවා මෙහෙට හරියන්නේ නැති බව ඉහලින් පිළිගැනීම විය. ආයතනයේ පහල සිටි සාමාන්‍ය වැසියන්ද ප්‍රකාශ කර සිටියේ ඒ අදහස් ප්‍රායෝගික නොවන බවයි. එකට මට කම් නැත. ඒ අපේ රටේ හැටිය. මෙතන දී ගැනීමට ඇති අදහස වන්නේ යතුර සොයා ගැනීම සඳහා (ගුණාත්මක තත්වයෙන් යුතු, අවශ්‍යතාවයට ගැලපෙන, දිව්නු වූ රටක තිබෙන්නා වගේ පාරක් තැනීම සඳහා) එලිය පමණක් තියෙන තැනක යතුර සෙවීමට යාමයි (එවැනි ගුණාත්මක නිර්මානයක ට අවශ්‍ය අංග නොසලකා පාරක් පමණක් සැදීමට යාමයි ).

    කිසි දිනෙක යතුර ලැබෙන්නේ නැත. ගුවන් තොටුපොළේ සිට ගෙදර යන ගමන් හිතන්නේ මේවාය. අධි වේගී මාර්ග වල යද්දී සතුටක් දැනේ. ඒ පුරවැසියෙකු ලෙසය. වේදනාවක් දැනේ. ඒ ඉංජිනේරුවෙකු ලෙසය. නස්රුදීන්ලා සැහෙන ප්‍රමාණයක් ඉහල තැන්වල වැඩ කර ඇති බව පෙනේ.

    ප්‍රශ්නය වන්නේ යතුර සොයන නස්රුදීන් ලා සඳහා ජනතාව මුදල් ගෙවීමය. අපේ රටේ බහුතර ජනයා මොන තරම් නොදැනුවත් ද යත්, මුදල් ගෙවන ගමන් නැති තැනෙක යතුරු සෙවීමට දෙන්නේ පුදුම සහයෝගයකි.

    මේ ක්‍රමය වෙනක් කිරීමට නස්රුදින් කෙනෙක් නොවෙන සහ නස්රුනිද්ලා කරන වින්නැහිය පුළුල්ව දැකිය හැකි පරිපාලකයෙක් ගේ අවශ්‍යතාව තදින් දැනේ. එවැනි කෙනෙක් මට නම් මේ අය අතර පෙනෙන්නට නැත.

    මගේ අදහසේ හැටියට, අනුගාමිකයන් නිසි මගට ගැනීම සහ ඔවුන්ගේ වැරදි නායකයන් බාර ගැනීම බලාපොරොත්තු වීම යන ඉහල මට්ටමේ කළමනාකරණ සංකල්ප නස්රුදීන් ලා කිසි දිනෙක තේරුම් ගන්නේ නැත. ඒ වගේම බහුතර ජනතාව ඕවා ප්‍රයෝගික නොවන දේවල් කියා නස්රුදීන් ලා වෙනුවෙන් හඬ නැගීමට පටන් ගන්නවා ඇත.

    වෙලාවේ හැටියට හොඳම නස්රුදින් තෝරා පත් කර ගැනීම අවශ්‍යය. ඒ කවුදැයි අප විසින් ම සිතා බලා හදවතට එකඟව සිදු කල යුතු දෙයකි.

    අනෙක් පැත්තෙන් හැකි සෑම විටම ආයතන තුල – “ක්‍රමය ලිවීම ” , “ලියපු ක්‍රමයට වැඩ කිරීම”, “ක්‍රමය හරි නොයන්නේ නම් නැවත ලිවීම” සහ “නැවත ලියපු ක්‍රමයට වැඩ කිරීම ” සිදු කල යුතුයි. මමගින් පුද්ගලයා මුල් වීම වැළකේ. පුද්ගලයා මුල් වූ විට පැත්තක් ගැනීම වැළක්විය නොහැක. පැත්තක් ගත් බව පෙනීම වැලක්වීමට නොහැකිය. එය මටද ඔබටද අදාලය. ප්‍රශ්න පටන් ගන්නේ මෙතන වැරද්දු විටය.

    මෙතන හරියට කලොත් අඩුම තරමින් ආයතනයේ සිටින අපේ නස්රුදින්ලා ට ටෝච් රැගෙන ඒමට සිද්ධ වනු ඇත.

  2. පුෂ්ප කුමාර සිය ඉහත ප්‍රතිචාරයේ මෙසේ ලියයි.

    අනෙක් පැත්තෙන් හැකි සෑම විටම ආයතන තුල – “ක්‍රමය ලිවීම ” , “ලියපු ක්‍රමයට වැඩ කිරීම”, “ක්‍රමය හරි නොයන්නේ නම් නැවත ලිවීම” සහ “නැවත ලියපු ක්‍රමයට වැඩ කිරීම ” සිදු කල යුතුයි. මමගින් පුද්ගලයා මුල් වීම වැළකේ. පුද්ගලයා මුල් වූ විට පැත්තක් ගැනීම වැළක්විය නොහැක. පැත්තක් ගත් බව පෙනීම වැලක්වීමට නොහැකිය. එය මටද ඔබටද අදාලය. ප්‍රශ්න පටන් ගන්නේ මෙතන වැරද්දු විටය.

    ඔබේ ඒ අදහස සමග 100% එකග වෙමි. නිසි ක්‍රමවේදයන්ගෙන් තොර කළමනාකරණය නායකයන්ගේ පුද්ගලික සුඛ විහරණයට මිසක ජනතා සුභ සිද්ධියට හෝ ආයතනයක සුභ සිද්ධියට හේතු නොවේ. බොහෝ දෙනෙකු හිතන්නේ වැඩ වලට මුල් තැන දෙන නායකයෙකු හොඳ බව ය. එවැන්නෙකු පුද්ගල මූල නායකයෙකුට වඩා හොඳ වන්නට පුළුවන. එහෙත් ආයතනයක් ගොඩ නගන නායකයෙකුට අලගු තැබීමටවත් ඔහුට නොහැකි ය.

    ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

  3. Kapila Janaka Bandara says:

    අහම්භයෙන් මෙන් හරි කමලදාස සර්ගේ ලිපිය දැක්කා. ගොඩක් සතුටුයි. ලිපිය කියෙව්වම මට කළමනාකරුවෙක් නොවී සාහිත්‍ය විමංසකයෙක් වෙලා ඒ අදහසට උත්තරයක් ලියන්න හිතුනා.

    මං හිතන්නේ මැතිවරණ කොමසාරිස්තුමාගේ කතාව උත්ප්‍රසාත්මක එකක්. නස්රුදීන්ගේ කතාවල තියෙන්නේ ඒ ලක්ෂණය. ලෝකේ හිටිය බොහෝ දක්ෂ නායකයින් සිය පණ්වුඩය ප්‍රබලව දෙන්න ඍජු භාෂණය වෙනුවට වක්‍ර භාෂණය යොදා ගත්තා. වක්‍ර භාෂණය සාහිත්‍යයේදී උත්ප්‍රාසය නමින් හැඳින්වෙනවා.

    මීට හොඳම උදාහරණයක් සීසර්ගේ අවමංගල්‍ය උත්සවයේ දී මාර්ක් ඇන්ටනි කළ කතාව. දුෂ්ටයෙක්ව හිටිය සීසර් වීරයෙක් විදිහට බෞතීස්ම කළේ ඒ කතාව. මාර්ක් ඇන්ටනි සිය කතාවෙන් බෘටස්ට නැවත නැවතත් කියන්නේ “Brutus is an honorable man” (http://www.folger.edu/documents/howtomove1.pdf) කියලා. ඒත්, ප්‍රථිඵලය රටේ සියළු ප්‍රභූවරුන් අවමංගල සභාවෙන් නික්මුනේ සීසර් වෙනුවෙන් යමක් කරන්න හිත හදාගෙන.

    මැතිවරණ කොමසාරිස්තුමාත් ඒ අදහසින් තමන්ගේ කතාව පෙළ ගැස්සුවද දන්නේ නෑ.

    හැබැයි, නිලධාරියෙකුට රාජකාරිය පහසු කර ගන්න, උත්ප්‍රාසාත්මක කතා කියන්න පුළුවන්ද කියන එක නම් කළමනාකරණ ප්‍රශ්නයක් තමයි. ඒකට උත්තර දෙන්න මං තවත් ඉගෙන ගන්න ඕන.

    • කපිලගේ මැදිහත් වීම ගැන ස්තුතියි. ඔබ දකින්නට හදන කෝණය අපට නව මානයක් ගේනවා. ඒත් මැ කො ඔබ අදහස් කළ මතයේ ඉඳ ඒ වගේ දෙයක් කිව්වත් අතිබහුතරයකට එවැනි සියුම් දෙයක් තේරුම් ගන්නට මනසක් නැහැ. ඒ වගේ තැනක -අරමුණ මොකක් වුනත්- ඒ පණිවුඩය ඇති කරන්නෙ නිෂේධනීය ප්‍රතිඵලයක්. මාක් ඇන්තනි බෘටස් ගෞරවනීය පුද්ගලයෙක් කියල පටන් ගත්තට ඉවර කරන්නෙ එහෙම නෙවෙයි. ඒ නිසා මැ කො ඔබ කියන අදහසින් ඒ කතාව කළා කියල පිලිගන්න මගේ හිත ඉඩ දෙන්නෙ නෑ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s