රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය


මිනිසුන් එක් රැස් වෙනවාට ඔවුන් නිදහසේ අදහස් පල කරනවාට බොහෝ කළමනාකරුවන් බය ය. එයට හේතුව ඔවුන්ට පාලනයට එරෙහිව කැරලි ගැසීමට ඉන් ඉඩ ලැබෙන නිසා ය.

මගේ අදහස ඊට වෙනස් ය. මා කැමති ඔවුන් රහසින් අදහස් පල කරනවාට වඩා විවෘතව සිය අදහස් පල කරනු දැකීමට ය. මට ඔවුන්ගේ අදහස් දැන ගන්නට ලැබෙන්නේ එවිට ය. මට රහසේ එකතු වෙන අදහස් සමහර විට එලියට පනිනු ඇත්තේ මා නොසිතන මොහොතක ය. මා විමතියට පත් කරමින් ය. වඩා හොඳ ඒ අදහස් මිනිසුන්ගේ සිතේ ඇතිවුන වහා මට දැනගන්නට ලැබේ නම් ය.

මා නිවාස සැළසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේ ප්‍රධානියාව සිටි කාලයේ මේ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ද මම සකස් කළෙමි.

පහලොස් දෙනෙකුගෙන් පමණ වූ ආයතනයේ සේවකයන්ට තේ වෙලාවට ළගට තේ ගෙනැවිත් දීම එකල පැවති පුරුද්ද වූයේ ය. මම එහි වූ එක් කාමරයක් තේ පැන් බීම සඳහා එකතුවෙන තැනක් බවට පත් කළෙමි. තනි තනියම කාමරයකට හෝ මේසයට වී තේ බොනවාට වඩා එසේ එකතු වීම මා සැළකුවේ වඩා කුළුපග වීමට අවස්ථාවක් ලෙස ය. නිතර අදහස් ප්‍රකාශ කර ගැනීමට ඇති අවස්ථාවක් ලෙස ය.

මේ කාමරයට දැන්වීම් පුවරුවක් සවි කරන ලද අතර ඕනෑම කෙනෙකුට තම අදහස් නිර්නාමික වුව පළ කිරීමට එහි අවකාශ ද ඇති බව මම කියා සිටියෙමි.

එක් දිනක එහි අපූරු කවියක් -නිර්නාමික කවියක්- ඇතුළු කර තිබුනේ ය. ඒ ආපන ශාලාවේ කාලෙකින් පිරිසිදු නොකරන ලද විදුලි පංකා ගැන ය. කවිය කියවන අතර මට ඉබේම ආපන ශාලාව දෙස බැලුනේ ය.

පුදුමයක මහත. ඉණිමගක් ගෙනැවිත් පංකා පිරිසිදු කරන සේවකයෙක් හා ඔහුගේ සුපර්වයිසර් තැන දකින්නට ලැබුනේ ය. මට ද අමතක වී තිබු අතපසු වී තිබු කාරණයක් එසේ කවියකින් විසඳුනේ ඒ පුවරුවට පින් සිදු වන්නට ය.

මේ දැන්වීම් පුවරුවේ තවත් බොහෝ දේ පළ විය. ඒ හැම එකක්ම අප ළං කළා විනා ඈත් කළේ නැත.

තේ පැන් හල තුළ සාකච්ඡා ද අලුත් අදහස් ගෙනාවේ ය. ආයතන තුළ වෙනස් කම් වැඩි හරියකට යෝජනා ස්ථිර වූයේ මේ තේ බීම හරහා ය.

හංගන්නට බොහෝ දේ ඇති කළමනාකරුවන් මෙවැනි නිදහසේ අදහස් පළ කිරීමට ඇති ඉඩකින් තැති ගැනෙන බව ඇත්ත ය.

එහෙත් ප්‍රතිපත්ති ගරුක කළමනාකරුවන්ට හැම විටම එවැනි නිදහස් අදහස් පළ කිරීමට ඇති ඉඩකින් ඇති වන්නේ වාසිය කි.

Advertisements

4 thoughts on “රහසේ කැරලි ගහන්නේ විවෘතව විරුද්ධ වන්නට ඉඩ අහුරා ඇති තැන්වල ය

  1. වික්‍රමානන්ද කුරැප්පු says:

    කමලදාස සර් මට හමු වූ හො‍ද මිනිසෙක් මම එතුමන්ගේ ලිපි සියල්ලම වගේ කියවන්වා වෙන්ස් වූ අදහස් වලට ගොඩක් ඉඩ ඒ ලිපි වග තිබීම විශේෂත්වයක්

  2. K L A S Deshapriya says:

    ලිපි පෙල කියවන විට මෙම ලිපිය ද කියවන්නට ලැබුණා. ඒ නිර්නාමික කවියා මම බව දැන් මාගේ මතකයට නැඟේ. එහෙත් කවිය මතකයේ නැත. ඔබගේ ඇද හැලෙන දෙවොල පොත පසෙකින් මට පෙනේ. මෙම නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේද එවැනි දෙවොලක පැවතිය යුතු සියලු අංගෝපංග හා සම්ප්‍රදායන් පැවැති බව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් නායකයා වශයෙන් ඔබද අනුගාමිකයින් වශයෙන් අපද එහි අැති කරන්නට ගිය පෙරළියක සිහිනය ලඟා කර ගත්තේද?. නැත. කොහෙත්ම නැත. පරිපාලන තන්ත්‍රය බඹර වලල්ලක් මෙන් එහි සිදුවන අසාමාන්‍ය ක්‍රියාවලිය මෙන්ම එයට නායකත්වය දෙන පුද්ගලයාද වට කළේය. ඔබට උඩුගම් බලා පිහිණීමට තවත් ඉඩ දිය නොහැකි බවට තරයේ ඒත්තු ගත් තැන සිට ඉන් ඉවත්ව යන තැනට සියලු පරිසර සාධක ඔබ අසලට ලඟා කර විය. ආයතන වලට ඉහළින් එහි සේවය කරන පුද්ගලයා සිටිය යුතු බවට වු ඔබගේ පිළිගැනීම හා භාවිතය නිසා එම ආයතනයෙ තිබු තනතුර හා වරප්‍රසාද වලට වඩා අඩුම තරමින් දස වාරයක් වත් ඉහල තනතුරක අභිනවයෙන් වැඩ බාරගන්නට ඔබට හැකි විය. කෙසේ වෙතත් දක්ෂ වෛද්‍යවරු කිහිපදෙනෙකුගේ සාර්ථික සැත්කම් කිිහිපයකට පසු රෝගියා මළ බව අප පසක් කර ගත යුතුය. ආයතනය වැසි ගියේය. සේවා ආයතනයට පහලින් සිටින කිසිවෙකු නව නිර්මාණයේ නොයෙදිය යුතු බව අනුගාමිකයන් වශයෙන් අප ඒත්තු ගෙන ඇත. ඒ පවුල රස්සා කරන්නට රස්සා තිබිය යුතු නිසාවෙනි. මේ දේශප්‍රිය

    • කවියා ඔබ බව සැක හැර දැනගන්නට ලැබුනේ අද ය. එදා එය අනුමානයක් පමණක් විය. එහෙත් හාරා අවුස්සන්නට වුවමනාවක් ඇති නොවුනේ කවියා නොමැරනත් කවිය මැරෙන්නට ඉඩ ඇතැයි යන බියෙනි.

      උඩුගම් බලා පිහිණිම පහසු නැති බව ඇත්ත ය. යම්තම් හෝ හැකියාවක් හදා ගත් විට හෝ එහෙම කරන්නට අපට හැකි නම් හොඳ ය. එහෙත් ඉස්සර මෙන් එසේ කරන ලෙස අන් අයගෙන් ඉල්ලා සිටීමට මට සිතෙන්නේ නැත.

      ප්‍රතිඵලය ගැන නොසිතා උත්සහයක යෙදීමට අද වුව ද මා කැමති ය.

      එවන් උත්සහයන්ට දිරිදුන් කෙනෙකු ලෙස දේශප්‍රිය ද මගේ මතකයේ රැඳී ඇත. ඔබට ජය පතමි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s