ආගම! – කළමනාකරුගේ අස්ථානය?


ආගම, එය කවරක් හෝ වේවා, අපේ ජීවිතවලට ඇති කර ඇති බලපෑම අතිමහත් ය. ඒ නිසාම ආයතනයක කළමනාකාරිත්වයට එයින් වෙන්ව ජීවත්වීමට හෝ එය නැතැයි සිතා වැඩ කිරීමට හැකියාවක් නැත. විශේෂයෙන් අලුතින් ආගමික පුබුදුවක් දකින්නට ලැබෙන අප වැනි රටක එය තවත් අමාරු ය.

ඒ නිසාම ආගම සම්බන්ධයෙන් කළමනාකරණයේ ස්ථාවරය කුමක් විය යුතු දැයි යන්න ගැන නිශ්චය අදහසක් කළමනාකරුවන් විසින් ඇති කර ගත යුතු ය. එවිට යම් ආගමික කටයුත්තක් සම්බන්ධයෙන් වන ඉල්ලීමක් ගැන කුමක් කළ යුතු දැයි දහ අතේ කල්පනා කරමින් ලතැවීමට සිදු නොවේ.

හැම ආගමකින්ම අපේක්ෂා කළේ යහපතක් බව ඇත්ත ය. එහෙත් ඒවා දේශනා කරන්නේ එකිනෙකට වෙනස් මාවත් ය. ඒ නිසා එකක් අල්ලා ගත් විට අනෙක්වා අත හරින්නට සිදු වේ. ආයතනයක් විසින් අල්ලා ගත යුත්තේ කුමන ආගම ද? කුමක් අල්ලා ගත්ත ද එවිට අනික්වා අත හැරෙන නිසාම ආයතනය අමාරුවේ වැටේ. හැම දෙනාටම මෙය වැටහෙන්නේ නැත.

ඒ නිසා ආයතන ප්‍රධානියා, විශේෂයෙන් ඔහු බහුතරයගේ ආගම වන බුද්ධාගම අදහන කෙනෙකු නම්, තමන්ගේ ආගම ආයතනය තුළ ඉදිරියට ගැනීමට කටයුතු කරන්නට පුළුවන. එහි වැරැද්දක් පවා ඔහු නොදකින්නට පුලුවන.

යම් ආයතනයක් බුද්ධාගමේ චර්යාවන්ට මෙසේ මුල් තැන දෙන විට බුද්ධාගමේ සංකේත පමණක් ප්‍රදර්ශනය කරන විට ඒ ආයතනයට එන වෙනත් ආගම් අදහන හෝ ආගම් නොඅදහන ගනුදෙනුකරුවන්ට එය තමන්ගේ ආයතනයක් ලෙස නොහැගේ. එහෙත් බෞද්ධයන්ට එයින් අමතර ඇතුළත් කමක් ඇති විය හැකි ය. රටේ වැඩි දෙනෙක් බෞද්ධයින් බැවින් අන් අයගේ හැගීම ගැන තැකීමක් නැතිවාට කමක් නැත යන්න බොහෝ කළමනාකරුවන්ගේ මතය වී තිබේ.

ප්‍රශ්නය වඩාත් ව්‍යාකූල වන්නේ වෙනත් ආගමිකයෙකු හෝ නිර්ආගමිකයෙකු ආයතනයේ ප්‍රධානියා වූ විට ය. ඔහුට හෝ ඇයට අකමැත්තෙන් පැරණි සම්ප්‍රදාය ගෙන යන්නට සිදු වේ.

ආගම සමහර මිනිසුන් භාවිතා කරන්නේ තමන්ගේ සමාජ බලය වර්ධනය කර ගැනීමට ය. ආයතන ඇතුළේ ද මෙය සිදු වේ. ආගම වඩාත් ඉස්මත්තට ගෙන එන්නට සමහර විට දගලන්නේම ආයතනයේ ඉන්නා අතිශය වංචාකාරයා වීමේ ඉඩකඩ බැහැර කළ නොහැකි ය.

ආගමික කටයුතුවලට ඉඩක් විවර කළ විට එයට සීමා පනවන්නට ද අපහසු වේ.

විශේෂයෙන් වෙනත් ආගමිකයෙකු ආයතන ප්‍රධානියා වූ විට ඔහු හෝ අැය පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස ද බහුතරයට ආගම භාවිතා කළ හැකි ය.

සමහර ආගමික ඉගැන්වීම් ආයතනයේ කටයුතු සමග ගැටෙන අවස්ථා තිබිය හැකි ය. උදාහණයක් ලෙස ධීවර කර්මාන්තයේ නියැලෙන ආයතනයක මුඛ්‍ය කාර්යයම බුද්ධාගමේ ඉගැන්වීම් හා ගැටෙන බව අපි දනිමු.

මේ සියළු කාරණා නිසා ආගම හා ආයතන අතර දීගය ආයතනයට පමණක් නොව ආගමට ද යහපතක් සලසන්නේ නැත. ආගම ඇදහීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික කටයුත්තක් විනා ආයතනයේ කටයුත්තක් නොවන බවට ආයතනයේ අගැයීම් පද්ධතියට ඇතුළු කළ විට බොහෝ ප්‍රශ්න විසඳේ. උදෑසනින් ආරම්භ කර රාත්‍රියේ අවසන් කරන විටත් ආගම මෙනෙහි කිරීමට සැදී පැහැදී සිටින මාධ්‍ය සම්බාරයක් ඇති රටක ඒ ටික නැවත වතාවක් ආයතනයක් තුළ කිරීමෙන් අමතර අගයක් එකතු වන්නේ නැත. ඒ බව තෝරා බේරා ගතහොත් ආයතනයේ වැඩ කටයුතු අනවශ්‍ය ව්‍යාකූලත්වයක් සංකීර්ණත්වයක් නැතිව පහසුවෙන් කර ගෙන යා හැකි ය.

Advertisements

3 thoughts on “ආගම! – කළමනාකරුගේ අස්ථානය?

  1. මේ සටහන කොතරම් සංවේදී දැයි පෙනෙන්නේ මේ සටහන Postgraduate Institute of Management (PIM) Sri Lanka Group සමග බෙදා ගත් විට සිදුව ඇති දේ නිසා ය. එය කවරෙක්දැයි LinkedIn විසින් මා වෙත එවන ලද පහත computer generated සටහනෙන් ඔබට දැක ගත හැකි ය.

    Your discussion “Religion! What should be our position as mangers?” has been moved from the Discussions section to the new Jobs section by a member or manager of the Postgraduate Institute of Management (PIM) Sri Lanka Group Group on LinkedIn.

    If you believe this was done in error, please contact a group manager. Managers of this group are the only ones able to move a discussion from Jobs back to Discussions.

  2. ආගම පෞද්ගලික දෙයක්. ඒත් ගොඩක් ආයතන ඇතුලෙදි පාර්ශවික ආගමික කටයුතු ඕන තරම් සිද්ධ වෙනවා.

  3. Aruna Devendra says:

    ඔව් මෙය ඉතා සංවේදී සංවාදයක්. මා රාජ්‍ය සේවයේ පලමු පත්වීම ලැබ ඈත ත්‍රිකුණාමලයේ සේවය කල කාර්යාලයේ එම කාර්යාලයේ එකම සිංහල බෞද්ධයා වූයේ මා පමණය. එහිදී ඔබ කියන කළමනාකරුගේ ආස්ථානය ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලදිමි. කෙසේ වෙතත්, යම් යම් අවස්ථාවලදී සුවිශේෂී ආගමික කටයුතුවලට ඉඩහසර සැලසීම ආයතනයක ඇගැයීම් පද්ධතියට හානියක් සිදු නොකරන බවද මා අත් දැක ඇත්තෙමි.
    නමුත් කළමනාකරුවන් පුහුණුකිරීමේ කටයුතුවලදී ආගම සම්බන්දව නිවැරදි ආස්ථානයකට ආධුනිකයන් යොමුකිරීම අප අතින් සිදුනොවන බව නම් කනගාටුවෙන් සිහිපත් කල යුතු වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s