රටටම ආදර්ශයක් වන කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ – මේනක හේරත් මහතාගේ – නායකත්වය


රාජ්‍ය සේවය වෙනස් කිරීමට අපහසු දෙයක් යැයි නිතර කියන කතාවේ ඇත්තේ සම්පූර්ණ සත්‍යයම නොවන බව වටහා ගැනීමට ඔබ යා යුත්තේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ය.

එහි පිටත පෙනුම සුන්දර ය. ඇතුළත වැඩ පිළිවෙල ය. සේවා ලාභියෙකුට අවශ්‍ය සියළු මග පෙන්වීම කාර්යාලයේ පිවිසුම් දොරකඩදීම ලැබේ.

ඔබව පිළිගනු ලබන්නේ අත් එක් කොට ආයුබෝවන් වනක්කම් කියන ත්‍රෛයි භාෂාවෙන් ඔබ හා සන්නිවේදනයේ යෙදීමට සූදානම් තුන් කට්ටුවකි. ඔවුන්ගේ මුහුණේ මිත්‍රත්වයේ සිනහව ද ඔවුන්ගේ තෙපුළේ වදනේ කාරුණිකත්වය ද මොනවට ගැබ්ව තිබේ.

ඔබේ වැඩය විමසා එය එක් දින සේවාවකට අදාළ නම් ඔබව එක් දින සේවා කවුළුව වෙත යොමු කිරීමට ඔවුන් කාරුණික ය. එසේත් නැතිනම් ඔබගේ ඉල්ලීම සම්බන්ධ ලියකියවිලි බාර ගෙන ඔබට අවශ්‍ය සේවය සැළසීමට ඔවුන් සූදානම් ය.

එක් දින සේවාවකට යන ඔබට ඒ සේවාව සඳහා ගන්නා කාලය කුමක් ද ඒ සදහා යම් මුදලක් වැයවේ ද නැත් ද වැයවේ නම් ඒ මුදල කොපමණ ද ඒ සදහා ඔබ සතුව තිබිය යුතු ලේඛන මොනවා ද යන තොරතුරු පහසුවෙන් කියවිය හැකි පුවරුවකින් ලබා ගැනීමට ද පුළුවන.

කිසියම් සේවාවක් සඳහා කවරෙකු හෝ අල්ලසක් ඉල්ලයි නම් හෝ අනවශ්‍ය ලෙස කරදර කරයි නම් ඔබට ඇමතිය හැකි දුරකථන අංක කීපයක් ද ඉහළින් පෙනෙන සේ එල්ලා තිබේ. ප්‍රාදේශීය ලේකම් ගේ සහකාර ප්‍රාදේශීය ලේකම් ගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප්‍රාදේශීය පරිපාලනය බාර අතිරේඛ ලේකම් වරයාගේ අල්ලස් කොමිසමේ දුරකථන අංක ඒ අතර වෙයි.

ඔබේ අවශ්‍යතාවය සපුරාලීම සදහා වෙනත් ආයතනවල අනුමැතිය හා විමසීම අවශ්‍ය කාරණා සඳහා එක් දින සේවයක් සැළසීම අපහසු බැවින් එවැනි විටෙක ඔබේ ලිපි ලේඛන බාර ගෙන ඔබේ සේවය සඳහා යොමු අංකයක් හා විමසීමට දුරකථන අංකයක් සහිත කාඩ්පතක් ඔබට ත්‍රෛයිභාෂික කවුළුවෙන් ලැබේ. ඔබේ දුරකථන අංකය දීමෙන් ඒ ගැන ප්‍රගතිය වරින් වර ඔබට ලබා ගැනීමේ වරය ද දී තිබේ. ඔබේ සේවාවට අදාළ තොරතුරු පරිගණක ගත කළ වහාම ඔබේ දුරකථනයට බොහෝ විට ඔබ එම ස්ථානයෙන් ඉක්ම යාමට මත්තෙන් එස්එම්එස් පණිවුඩයක් ලැබේ. සේවාව සම්පූර්ණ වූ සැණින් ඔබට ඒ සම්බන්ධව ද පණිවුඩයක් ලැබේ. ඒ අතරතුර යම් පැහැදිළි කර ගැනීමක් හෝ ලේඛනයක ප්‍රශ්නයක් ඇත්නම් ඒ පිළිබඳව ද ඔබව දැනුවත් කෙරේ.

මේ එක ද කටයුත්තක් සඳහාවත් කාර්යාලය ඇතුළට යෑම අවශ්‍ය නොවේ. ඔබට ගනුදෙනු කිරීමට සිදුවන්නේ මේ පෙරටු කාර්යාලය (ත්‍රෛයිභාෂික කවුළුව හා එක් දින සේවා කවුළුව) සමග පමණකි.

අවශ්‍ය ඉදිරි කටයුතු පසු කාර්යාලයෙන් කරවා ගත හැකි අතර බොහෝ බලතල විමධ්‍යගත කොට ඇති නිසා ඒවා ඉතා ඉක්මණින් කරවා ගැනීමට ද හැකි ය. ඊට අමතරව ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇත්තේ ග්‍රාම නිලධාරීයා ලවා අවශ්‍ය රෙකමදාරු ලබා ගැනීමෙන් පසුව වීම නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු ඉක්මණින් සිදු කිරීමට එය ද රුකුළක් වී ඇත.

මෙවැනි බ්ලොග් සටහනකින් ආවරණය කළ නොහැකි තරමේ විස්තර රාශියක් කොත්මලේ ප්‍රා ලේකම් කාර්යාලය ගැන කියන්නට තිබේ.

මේ සියළු වික්‍රමයන් පිටුපස සිටින නායකයා ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ය. ඔහුම කියන පරිදි මේ සියළු වෙනස්කම් ඔහු කර ඇත්තේ තනියම නොවේ. කාර්යාලයේ බොහෝ දෙනා හවුල් කර ගනිමිනි. රාජ්‍ය කළමනාකරණ අමාත්‍යංශය ප්‍රමුඛ තවත් ආයතන වෙතින් පළ කළ අනුග්‍රහයට ද ස්තුතිවන්ත වන්නට ය. එක් එක් දියුණු කිරීමක් පිටුපස සිටි සිය කාර්යාල සගයින් ඔහු නමින්ම හඳුන්වා දුන්නේ ය. තමන්ගේ තනි භුක්තියට සියල්ල සින්න කර ගැනීමට මග බලන නායකයන්ගෙන් අඩුවක් නැති අපේ රටට මේනක ආලෝකයකි.

ඔහු වෙනස් කර ඇත්තේ කාර්යාලයේ පිවිසුම් දොරටුව හා කවුළු පමණක් නොවේ. ඇතුළත ද ඔහු සහ ඔහුගේ සගයින් විසින් නැවත සකස් කර තිබේ. ඔහුගේ කටයුතු නිසා ආල‍ෝකය ලැබී ඇත්තේ ඔහුගේ සේවා ලාභීන්ට පමණක් නොවේ. ඔහුගේ සේවකයන්ට ද එයින් අති විශාල සතුටක් හා සහනයක් ලබන බව ඔවුන් තම තමන්ගේ කතාව කීමේ දැක්වූ උද්යෝගයෙන්ම අපට පැහැදිලි වූයේ ය.

නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් තමන්ගේ දෙවැනියාටවත් බලතල දීමට අදිමදි කරන රටක ඔහු නිර්ලෝභිව තම බලය සහකාර ප්‍රාදේශීය ලේකම් බුද්ධික මහතා ඇතුළු සෙසු අය සමග බෙදා ගෙන තිබුනේ ය. ඒ නිසා ම ඒ හැම කෙනෙකුටම නිසි ගෞරවයක් කාර්යාලය තුළ ලැබී තිබුනේ ය. ඔවුන් හැම දෙනෙකුම පාහේ තමන්ට ලැබුණු බලය වගකීමකින් යුතුව භාවිතා කරන බව ද මේනක අප සමග කීවේ ය.

තව ලියන්නට බොහෝ දේ ඉතිරිව තිබේ. එහෙත් ඒ සියල්ල මෙවැනි සටහනකට අතුළු කළ නොහැකි ය.

මේනක හේරත් මහතාට හා ඔහුගේ කණ්ඩායමට සුභ පතන අප අමතර වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ සෙසු කාර්යාලයන් ද නුදුරේදීම ඒ තත්වයට පත්වේවා යැයි කියා ය.

(කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැක බලා ගැනීමට හැකි වූයේ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අනුග්‍රහය නිසා ය. ඒ අමාත්‍යංශයට හා එම වැඩපිළිවෙළට මග පෙන්වූ හා එය සංවිධානය කළ ලේකම් බන්දුසේන මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට අපගේ ස්තුතිය හිමි වේ).

Advertisements

9 thoughts on “රටටම ආදර්ශයක් වන කොත්මලේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ – මේනක හේරත් මහතාගේ – නායකත්වය

  1. Nandasiri Wanninayaka says:

    අගනාම ලිපියකි. බෙදා හදා ගත්තාට තුති. ඡායාරූප කිහිපයකුත් තිබුණානම් මේ ලිපිය තවත් වටනේය.

  2. Nandasiri Wanninayaka says:

    Reblogged this on Nandasiri Wanninayaka and commented:
    නිශාන්ත කමලදාසගේ මැනේජ්මන්ට් සිංහලෙන් https://managementinsinhala.wordpress.com බ්ලොග් අඩවියෙන් උපුටාගන්නා ලදී. අන්තර්ගතය අප සැමට වැදගත් බැවින් මෙසේ නැවත බෙදාහදා ගැනීමට තීරණය කළෙමි.

  3. ඔබේ ලිපිය ඉතාම අගනා එකකි. “මේ සියළු වික්‍රමයන් පිටුපස සිටින නායකයා ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ය. ඔහුම කියන පරිදි මේ සියළු වෙනස්කම් ඔහු කර ඇත්තේ තනියම නොවේ. කාර්යාලයේ බොහෝ දෙනා හවුල් කර ගනිමිනි. ” අපේ පුරාණ විශමිත නිර්මානයන්හි දක්නට ලැබෙන්නේ ඔබතුමා අගය කරන මේ කළමනාකරණ උපාය මාර්ගය යොදාගැනීමේ ඇති මහිමය නොවේද ? ස්වර්ණමාලි චෛත්‍ය නිර්මාණය පිටුපස සිටි නායකයා දුටුගැමුණු රජතුමා වුවද ඒ සියලු කටයුතු කර ඇත්තේ තනියම නොවන බවත් ගොඩනැගීම් කාර්යයේ දී එයට තම තමාගේ දායකත්වය දීමට සෙසු අය අතර පොරයක් පැවතිබවත්, හැමෝම පාහේ එය තමාගේම කාර්යයක් සේ සැලකූ බවත් ථූපවංශය සිහියෙන් යුතුව කියවන අයකුට පෙනියයි. අප අද උදන් අනන කෙටි කලක් තුළ බිහිවූ පුරාණ විශ්මිත නිර්මාණ හැම එකක්ම ඉහළ ගුණාත්මක වටිනාකමකින් යුතුව නිමැවෙන්නට ඇත්තේ ඔබතුමා පැහැදිලි කර දෙන සමූහ කළමනාකරණ උපාය මාර්ගය භාවිත කිරීමෙන් වියහැකි බව මට සිතේ. ඔබතුමාගේ ලිපි සියල්ලම පාහේ සෘණාත්මකව වැටෙමින් සිටින අයට අලුත් ඇසක් පාද‍ා දෙයි. ඔබතුමාට පින්!

  4. ප්‍රසාද් says:

    අද අපේ රාජ්‍ය සේවයේ තිබෙන කළමණාකරණ ආකෘතිය වන්නේ සාර්ථක වෙනසක හිමිකරු බොස් වීමත් අසාර්ථක උත්සාහයක හේතුව සබෝර්ඩිනේට් බවට බොස්ගේ චෝදනා කිරීමත්ය. මේනකගේ කළමණාකරණ ආකෘතිය එහි ප්‍රතිවිරුද්ධ දිශාවයි. මේනක බිසී නැති දක්ෂයාට වැඩ පවරපු අඩුවෙන් වැඩ බදාගත්ත නියමම බොස් කෙනෙක්.

  5. Ajith says:

    Dear Nishantha,

    This is fantastic. This is the kind of leadership we want for the regional country. It will be tough at the beginning for any leader but with the blessings of immediate superior, these leaders can go any where. Superb..!!!

    Ajith

  6. Mangala Pitakotuwa says:

    Menaka,

    It is very glad to see all these comments brother. I wish you to continue this type of good jobs to our nation…!

  7. Poorna says:

    It is very important to highlight and disseminate such a very good practices. These best practices should be absorbed to the Govt and other management systems. But a gap is Who is doing that.

  8. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org…ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s