සංස්කෘතිය හා සම්ප්‍රදාය ගැන කළමනාකරුගේ දැක්ම කවරක් විය යුතු ද?


මිනිස්සු මුලින්ම ගස් ගල් වලට වැන්ද. හිරුට සදුට වැන්ද. වැස්ස වලාහක දෙවියන් වැස්ස ගේනවයි කියල හිතුව. නියගෙන් පොළොව වේලිලා යනකොට වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කළා.

ආදි මුතුන් මිත්තො මළගිය අය විශේෂයෙන් ජීවත්ව සිටිය දි වීර වැඩ කරපු අය දෙවියන් බවට පත්වෙන බව විශ්වාස කළා. මින්නේරිය වැව කරපු මහසෙන් රජතුමාත් දෙවියෙක් හැටියට අදටත් පොළොන්නරුව පැත්තේ බොහෝ මිනිසුන් විශ්වාස කරනව. ඒ විතරක් නෙවෙයි මේ දෙවියන්ට පුජෝපහාර පවත්වන්නත් මිනිස්සු කටයුතු කරනව.

මේ විශ්වාස මිනිසුන්ට හයියක් ලබා දෙනව. ඒවායෙ ඇත්ත නැත්ත හොයන්න හදන්නෙ නගරෙ ඉන්න පණ්ඩිතයො. ගම්වල මිනිසුන් ඇතත් නැතත් කියල හෝ ඒ කටයුතුවල බොහොම භක්තියෙන් යෙදෙනව.

මේ පූජා මිනිසුන්ට එකතු වෙන්න ඒවගේම තමන්ගෙම නිර්මාණ එලි දක්වන්න හොද අවස්ථාත් වෙනව. තොවිලයක් පවිලයක් කරන තැනක අපූරු ගොක් කොළ නිර්මාණ දකින්න ලැබෙනව වෙස් මුහුණු දකින්න ලැබෙනව. තොවිලෙ ඇතුලෙ යාන් හෑලිත් තියෙනව. ඒව මිනිසුන්ට විනෝදයත් ගේනව. පෙම්වත්තුන්ටත් මේ දවස් එකතු වෙන්න මුකුළු කරන්න කියාපු දවස්.

අලුත් සහල් මංගල්ලෙ දාට මිනිස්සු අලුත් ඇදුම් ඇදල කැවිලි පෙවිලි හදාගෙන ඒකට සහභාගි වෙන්න එනව. ගමේම අය එකට එකතු වෙනව මේ දවස්වල අරෝවක් තිබුන නං තරහ මරහ තිබුණ නම් ඒවා මිනිස්සු අමතක කරනව. එහෙම බැලුවහම මේවයින් සිද්ධවෙන අතුරු වාසි බොහෝමයි.

සමහරුන්ගෙ මනාපෙ තියෙන්නෙ මේව හැමදාටම තියා ගන්න.

ඒත් අලුත් ලෝකෙ වෙනස්කමුත් වෙනව. මීහරක් වෙනුවට ට්‍රැක්ටර් ආපුවහම, මිනිස්සු කරපු වැඩ කරන්න සුනාමි හා භූතයො ආපුවහම, වී වෙනුවට අතුරු බෝග වවන්න පෙළඹවීම් ඇතිවුනහම, සෙල් ෆෝන් එක හරහා ක්‍රිකට් විස්තර අහන්න ගත්තහම මිනිසුන්ට තියෙන අභියෝග වෙනස් වෙනව. ඒත් එක්කම මේ පැරණි විශ්වාස එක්ක කරන ගනුදෙනුව අඩු වෙන්න ඉඩ තියෙනව.

මේව රැක ගන්න ඕන අයට ඒ වෙනුවෙන් අමතර මහන්සියක් එතකොට ගන්න සිද්ධ වෙනව. සමහර විට රූපවාහිනියෙ කමත වගේ වැඩසටහනකට පෙන්නන්න විතරක් මේ ඉතුරු වෙන දවසක් එන්නත් බැරි නෑ.

විශ්වාස සමහරක් බිද වැටෙනව. අලුත් විශ්වාස මතුවෙනව. වැස්ස වලාහක දෙවියන්ට යාඥාකරපු මිනිස්සු කාලගුණ වාර්ථාව බලන්න උත්සුක වෙනව. ඒ කොහොම වුනත් සමහර තැන්වල මේ විශ්වාස රැකිලා තියේවි. හැමදාටම නෙවි.

ගස් ගල් වදින මිනිසුන් දැන් නෑ වගේ, හිරු ට සදු ට වදින මිනිසුන් දැන් අඩු වෙලා වගේ, ඉස්සරහට තව තවත් දේ වෙනස් වේවි. සදාකාලික වෙන්නෙ වෙනස විතරයි කියල කතාවකුත් තියෙනවනෙ.<

ඉහළ උපුටා දක්වා ඇත්තේ මා විසින් වෙනත් අරමුණක් සදහා ලියන ලද රචනාවකින් කොටසකි. මා එය මේ බ්ලොග් අඩවියට රැගෙන ආවේ කළමනාකරුවන්ට මුහුණ දීමට සිදුවන එක් කාරණයක් ගැන විවරණයකට ප්‍රවේශයක් වශයෙනි.

කළමනාකරුවෙක් සංස්කෘතිකයේ සම්ප්‍රදායේ තියෙන සාධනීය දේවල් භාවිතයට ගත යුතු බව එයින් හැගෙනු ඇත්තේ ය. එහෙත් එය කළ යුත්තේ ප්‍රවේශමෙනි.

සම්ප්‍රදාය හා සංස්කෘතිය හැමවිටම සාධනීය නැත. සමහර විශ්වාසයන් මිනිසුන්ට වින කරන බවට ගත හැකි උදාහරණ බොහෝ ය.

සම්ප්‍රදාය සම්බන්ධයෙන් රේඛාව අැඳිය යුත්තේ කවර තැනකින් ද යන්න නිශ්චය කිරීම කල්පනාවෙන් කළ යුතු ය. විශ්වාසයන්හි තාවකාලික බව හා නිශේධනීය/ සාධනීය ලක්ෂණ සැළකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කළ යුතු ය.

සංස්කෘතිය හා සම්ප්‍රදායන් එක් ප්‍රජාවකට සුවිශේෂී නිසාම එක් සම්ප්‍රදායක් තෝරාගැනීමෙන් පිරිසක් අපට ආකර්ෂණය කර ගන්නවා සේම ඒ ප්‍රජාවට අයත් නොවන පිරිසක් ඒ සමගම අපට මග හැරෙන බව ද අප විසින් සිහිතබා ගත යුතු ව තිබේ.

Advertisements

9 thoughts on “සංස්කෘතිය හා සම්ප්‍රදාය ගැන කළමනාකරුගේ දැක්ම කවරක් විය යුතු ද?

  1. ඇමරිකාවේ coke හා new coke අතර පරස්පරය හා හි බිඳ වැටීම ඕනනම් මේකෙ අන්තිම කොටසට ගලපන්න පුලුවන්.

  2. Aruna Devendra says:

    සංහිඳ ළඟ බාරයට කිරි ඉති රීම

    කෙම්මුර දවස් වල පානින් සැර සීම

    වන අතු කඩා ගස් දෙබලක දැව ටීම

    මා නොකෙරුවත් නො කළෙමි එය ගැර හීම
    ——–විමලරත්න කුමාරගම————-

    • මේ කවිය දැක්කහම මට මතක් වුනා ආතර් සී ක්ලාක්ව. දවසක් ඔහුගෙන් ඇහුව ලංකාවෙ මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස ගැන අදහස මොකද්ද කියල. ඔහු දුන්න උත්තරෙත් මේ වගේ මයි. මං ඒවා විශ්වාස කරන්නේ නෑ ඒත් මං ඒවට ගරු කරනව.

  3. මිනිස්සුනගේ විශ්වාස අපිට එකපාර පෙරළන්න බැහැ. ඒක ඉවසීමෙන් ප්‍රාෙයා්ගිකව කරන්න ඕනි දෙයක්.

  4. බුද්ධිය මහ අඩි තබමින් පස්පස හඹා එන අාකාරය ලිව්ව මහගම ෙස්කරයන්ෙග් කවිය ෙම් ලිපිය ෙමන්ම ෙම් ප්‍රතිචාර බලනවිට මටත් මතක් වුනා

      • “බුද්ධිය මිතුරකැයි සිතූ මම මගේ දෙවියන් මරා හෙලීමි“………..යනුවෙන් ඇරඹෙන ඒ නිර්මාණයේ තවත් පදයක මා කියූ පරිදි “බුද්ධිය“ මනුෂ්‍යයාව අසරණ කරන හැටි ලියා තිබෙනවා. දැනට මතකයේ ඇත්තේ එය පමණි. කවිය නිවැරදිව ලිවීම සඳහා සොයාගන්නට මදකට අවසර දෙන්න.

      • ඔබගේ මග පෙන්වීම අනුව ගොස් ඒ කවිය මා සොයා ගත්තේ අරුමය බ්ලොග් සටහනෙනි. එම සටහනට අනුව එය මහගමසේකරගේ නොවේ ජීබී සේනානායකගේ ය.

        බුද්ධිය මිත්‍රයෙකැයි, සිතු මම
        දිනක් මග රැක සිට
        මගේ දෙවියන්
        මරා හෙලීමි,
        දැවැන්තයකු වන බුද්ධිය
        අඳුරෙහි මහ අඩි තබමින්
        මා පිටි පසින් එනු
        මට ඇසෙයි.

        එහෙත් දෙවියන් සිටි කල මෙන්
        දැන් මට
        සැක හැර ගමන් කළ නොහැක
        මා වැටුණු කල
        දැන් දෙවියන් නැති හෙයින්
        මම
        නැඟී සිටිය යුතු ය.

        යළිත් දෙවියන් සොයා ගිය මට
        උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
        මඟ අසල,
        නුග ගස යට තිබී සම්බ විය
        ස්වාමීනි, යළිත් නැඟී සිට
        මා හා පෙර මෙන්
        එනු මැනවයි මම කීමි
        උන්වහන්සේ නැඟී නොසිටින්නේ
        බුද්ධිය
        තම දත් දෙපළ පෙන්නා
        විලිස්සමින්
        මා පිටිපස සිටින හෙයින් බව
        මම දනිමි

        එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
        ඔහු මා අතහැර නොයයි.

        ජී බී සේනානායක
        පලිගැනීම පද්‍ය සංග්‍රහයෙන් 1946

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s