දියසේන කුමාරයා එනතුරු බලා සිටි අපට ඔහු මග හැරුනේ ය.


සවිමත් සතෙක් මෙන්ම හොදින් ඵල දරණ ගහක් හැදීමටත් ඊට සුදුසු පරිසරය තිබිය යුතු ය. එහෙව් පරිසරයක් නැති තැනක කොතරම් සාර්ථක බීජයක් වුවත් අවසානයේ ඇති කරනුයේ කැහැටු සතෙක් හෝ කේඩෑරි විය ගිය ගහක් පමණකි.

නායකයෙකු සම්බන්ධයෙන් ද සත්‍යය වනුයේ එයයි.

හොද නායකයෙකු බිහිවිය හැක්කේ හොද අනුගාමිකයන් කීප පොලක්වත් ඉන්නා පරිසරයක ය. ඒ අනුගාමිකයන්ට නායකයාගේ පණිවුඩය හොදින් ග්‍රහණය කරගන්නටත් එය තමන්ගේම එකක් කර ගන්නටත් හැකියාවක් හා උණක් තිබිය යුතු ය.

බහුතර පිරිස රැස්වන්නේ නායකයා වටා නොවේ. නායකයාගේ ප්‍රබල අනුගාමිකයන් වටා ය. පහත වීඩියෝව ඊට කදිම උදාහරණයක් සපයයි.

http://www.youtube.com/watch?v=fgVWce4ToFw

ඉහත වීඩියෝ පටයේ දැක්වූ සරල නැටුමකට නම් නායකත්වය දීම තරමක් පහසු ය. එහෙත් නායකත්වය දැරිය යුත්තේ ඊට වඩා බරපතල මෙහෙවරක් වෙනුවෙන් නම් තත්වය තවත් සංකීර්ණ ය. විශේෂයෙන් මිනිසුන්ට ඒ මෙහෙවරට සහභාගී වීම වෙනුවෙන් විශාල බරපැනක් දරන්නට වෙයි නම් තත්වය තවත් අමාරු ය.

ඒ මෙහෙවර පවතින බලතුලනයට සමතුලිතතාවයට එරෙහිව යන්නක් නම් වැඩේ කිරිමෙල් ය.

බාහිරට පෙනෙන නායකයෙකු වීම ලෙහෙසි නැත. ඒ සදහා විවිධ කුසලතා රැසක් අවශ්‍ය වේ. සමහරවිට දේශපාලන සත්ත්වයෙක් වීම පමණක් නොව විශිෂ්ඨ රංගනයක යෙදීම ද අවශ්‍ය වේ. එහෙත් ශක්තිමත් අනුගාමිකයෙකු වීමට -නායකයා ශක්තිමත් කළ හැකි අනුගාමිකයෙක් වීමට- එවැනි කුසලතා හැම එකක්ම අවශ්‍ය නැත. මෙහෙවර වෙනුවෙන් කැප වීම ප්‍රදර්ශනය හා ඒ වෙනුවෙන් අභිතව පෙනී සිටීම පමණක් වුව සමහර විට සෑහේ.

නායකයෙකු වීමට තැත් කිරීම හොද දෙයකි. එහෙත් බැරි නම් ඊළගට කළ යුතු හොදම කාර්යය වන්නේ ඊට අවශ්‍ය පරිසරය තැනීමටවත් දායක වීම ය.

වෙනසක අවශ්‍යතාවය යම් පමණකට මෝරා ඇති විට ඒ වෙනස කළ හැකි නායකයෙකු බිහිවීමේ ඉඩ කඩ වැඩි ය. එය හරියට මාස දහයක් සම්පූර්ණ කළ මිනිස් කලලයක් එලියට එන්න තතනවා වැනි ය. එවැනි තත්වයක් මෝරා ඇති විටෙක කවරෙකුටත් ඒ උත්පත්තිය කල් දැමිය නොහැකි ය. එසේ කළොත් වෙන්නේ වින්නැහියකි. එහෙත් උත්පත්තිය පහසු කිරීමට වින්නඹු කම් කිරීමට සිදුවේ.

සමාජ තත්වයන් වෙනසකට මෝරා ඇත්නම් (එය ආයතනයකට ද අදාළ ය) නායකයෙකු බිහිවීම පහසු ය. හොද වින්නඹුවෙකු සිටී නම් එය වඩාත් කදිමට සිදුවනු ඇත්තේ ය. නැතිනම් සිදුවිය හැක්කේ වෙනස මල දරුවෙකු ලෙස උපත ලැබීම ය. එහි අවසානය ආයතනයේ (මවගේ) මරණය ද සනිටුහන් කරනු ඇත.

අපේ කතිකාව සම්බන්ධයෙන් නම් හොද වින්නඹුවකැයි කීවේ මුල් අනුගාමිකයන්ට ය. ඔවුන් අවශ්‍ය වන්නේ නායකයන් බිහිකිරීමට ය. නායකයෙක් බිහිකිරිමට වෑයම් කරන අය මුලින් කළ යුත්තේ හොද අනුගාමිකයන් තැනීමට උත්සුක වීම ය. නායකයෙකුට බිහිවිය හැකි වතාවරණය සකස් කිරීම ය. එහි වගකීම ඇත්තේ අපට ය.

රටට හෝ සමහර විට මා ඉන්නා ආයතනයට හෝ නායකත්වයක් දීමට මට බැරි වන්නට පුලුවන. එහෙත් ඒ සදහා අවශ්‍ය මිනිසුන් සූදානම් කිරීමට ඔවුන්ට යම් මග පෙන්වීමක් කිරීමට ඔවුන්ට තල්ලුවක් දීමට එයට අවශ්‍ය පරිසරය සැකසීම සදහා දායක වීමට මට ද හැකි ය.

මා එසේ නොකොට නායකයෙක් දෙයියෝ දෙන තෙක් බලා සිටියොත් වන්නේ මට දිගටම බලා සිටීමට ය. රටට පමණක් නොව රටේ බොහෝ ආයතනවලට ද සිදුව ඇත්තේ තමන්ගේ කොටස ඉටු නොකොට එසේ බලා ඉන්නා මිනිසුන්ගෙන් ඒවා සමන්විතව තිබීම ය.

Advertisements

5 thoughts on “දියසේන කුමාරයා එනතුරු බලා සිටි අපට ඔහු මග හැරුනේ ය.

  1. තමනට අවශ්‍ය යැයි සිතන නායකයෙකුගේ ලක්ෂණ විමසීම කාලය නාස්තියකි. දැඩි අවශ්‍යතාවය නම් තම තමන්ගේ චරිතය වර්ධනයට අවශ්‍ය ලක්ෂණ මොනවා දැයි විමසීමයි.

    අද ලෝකයට අවශ්‍ය නායකයන් සොයා යෑම නෙවෙයි. වර්තමාන ලෝකයට ඉතා දැඩි ලෙස අවශ්‍ය වී තිබෙන්නේ නිදහසේ කටයුතු කරන්නට මිනිසාට ලැබෙන නිදහසයි. දිළිඳු අප්‍රිකාවේ, හැමදාම සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ සහ වර්තමාන යුරෝපීයයන් ද තම රටවල නිදහසේ කටයුතු කරන මිනිසාට අත පය හොළවන්නට නොහැකි වන සේ නීති රීති පනවා ආර්ථිකය එකතැන හා රටේ අවුල් මන්දැයි විමසමින් සිටිති. ඔස්ට්‍රේලියාවේ වැසියන් පසුගිය මැතිවරණයේ දී වෙනසක් කළත් එය තත්වය හඳුනාගෙන කරන ලද වෙනසක් දැයි දැනගන්නට ලැබෙන්නේ අනාගතයේ දවසක.

    පක්ෂයකට කුමන නායකයෙක් ආවත්, රටක් පාලනයට කුමන දේශපාලනඥයෙක් ජනප්‍රසාදය ලැබුවත් රටේ වාසය කරන මිනිසුන් තම කැමැත්ත අනුව වෙහෙසෙන්න නිදහස් ඉඩක් සොයන්නේ නැත්නම් කිසිදු අනගි යැයි සිතන නායකයෙක් වෙතින් ලැබෙන කිසිම ඵලයක් නැත.

    “යහපත් චරිතයක් යනු, සියළුම අවස්ථා වල දී, පුද්ගලයාගේ ඒකීය වෑයමෙන් ලබාගත් ඵලයකි. එය දෙමව්පියන් වෙතින් උරුම වූවක් නොවේ; එය බාහිර වාසි නිසා නිර්මාණය වූවක් නොවේ; එය උප්පත්තියෙන්, ධනයෙන්, කුසලතාවයෙන්, හෝ සමාජ තත්වයෙන් ලැබුණු අතකොළුවන් නොවේ; යහපත් මූල ධර්ම මත පදනම් කරගෙන සද්ගුණවත් සහ ගෞරවනීය ක්‍රියා තුලින් තමන්ගේම වෑයමකින් ලබාගත් තෑග්ග සහ ප්‍රතිඵලය පමණි.” -ජේ. හාව්ස්

    මෙය වටහා ගන්නා යහපත් චරිත ඇති ඒකීය පුද්ගලයන් රටක වැඩිවෙත් ද, ඔවුන් විසින් ප්‍රචණ්ඩත්වයකින් තොරව තම නිදහස ඉල්ලා සිටින්නේ ද, එවිට ඉදිරි අනාගතයක් සාර්ථක කරගන්නට කැමති නායකයෙක් ද ඔවුන් අතරින් බිහි වී ඔවුන් හා සියල්ලන්ටම නිදහසේ වෙහෙසෙන්නට ඉඩක් පෑදීම සඳහා එකතු වෙනු ඇත.

  2. සාර්ථක නායකයෙක් වෙන්න නම් තමන් දැන ගන්න ඕන ප්‍රධානම දේ තමයි තමන් ගාව තියාගන්න ඕන අනුගාමිකයො කවුද,අයින් කරන්න ඕන අය කවුද හා ඒක කරන්නේ කොහොමද කියන එක.අනුගාමිකයින් මගින් බිහිවන නායකයො අන්තිමට දොන් ජුවන් ධම්මපාල වගේ වෙනවා.එක්කො අර අක්බාර් අධිරාජ්‍යයා,ඔගස්ටස් සීසර් වගේ අනුගාමිකයින්ව කඩාගෙන එලියට එන්න වෙනවා.

    • අනුගාමිකත්වයක් නැති තැනක නායකයෙක් නෑ. අනුගාමිකයන් හා නායකයින් කාසියක දෙපැත්ත වගේ. එකිනෙකා මත බලපෑම දෙපැත්තටම ඇති වෙනව. දශ මහ යෝධයෝ නැතිනම් දුටුගැමුණු කෙනෙක් නෑ. දුටුගැමුණු කෙනෙක් නොවෙන්න දශමහ යෝධයෝ නෑ. ඉංග්‍රීසි කියමනක් තියෙනව. You get the leaders you deserve කියල. නායකයෙක් තමන්වම පත් කරගන්නෙ නෑ. නායකයව පත් කරන්නෙ අනුගාමිකයො. අනුගාමිකයො නැති වුනු දවසක නායකයෙක් ඉතිරි වන්නෙත් නෑ. දියසේන කුමාරය එනතෙක් බලා හිටිය ලංකාවේ ජනතාවට දියසේන කුමාරය මුණ ගැහුනේ නෑ.

  3. අද ගුවන්විදුලි සාකච්ඡාවක දී අපූරු කතාවක් අහන්නට ලැබුන. ඒක ගුරුවරයෙකුගෙ කතාවක්. අපි හදන්නට ඕනෑ අපිත් සමග යන අය නෙවෙයි අප පසුකර ගෙන යන අය කියල. ඒ වගෙ සෙවනක තමයි නායකයො වැඩෙන්නෙ.

    • Nisanka says:

      කිසිවෙකු තමාට වඩා වැඩි යමක් නොකළ යුතුය කියන ලොක්කන්ගේ මානසිකත්වය පවතින තෙක් අලුත් නායකයින් බිහිවෙයිද යන්න සැක සහිතයි, මේ අපි ආයතනිකව ලබන අත්දැකීම්.. සමහර වෙලාවට තමන් කරන්නේ මොකක්ද කියළ නොදැන එරෙහි වෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ප්‍රථිඵලය අසුභවාදී එකක්. මේකයි අපේ පුරුදු අත්දැකීම.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s