කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!


සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ.

මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට ලියන්නට කීවේ වචන ය. විභාගයේදී පරීක්ෂාවට ගත්තේ වචන ය. වචනවලින් තොර යමක් පාසැලේ තිබුනේ නම් අප ඒවාට කීවේ බාහිර ක්‍රියාකාරකම් කියා ය. ඒවා අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ වූයේ නැත. ඒවා භාවිත වුනේ අධ්‍යාපනය සදහා නොවේ. පාසැලේ නම බැබලවීම සදහා ය.

දෙමාපියන් පවා ආදර්ශයට වඩා උතුම් කොට සැළකුවේ අවවාද ය. ඒ තුළ තිබුනේ වචන ය. තමන් ද සැක කළ විශ්වාස නොකළ වචන ය.

පන්සලේ හාමුදුරුවන් බෞද්ධයන් යහමග යවන්නට තැත් කළේ බණ කීමෙනි. ඒ ද වචන හරහා ය. පන්සිල් රැකීමට වඩා පන්සිල් ගැනීම උතුම් විය. පන්සිල් රැකීම ක්‍රියාවක් වන විට පන්සිල් ගැනීම වචන උච්චාරණයක් විය. ලතාවකට පන්සිල් කීවේ නම් බොහෝ දෙනෙකුට එය සෑහුනේ ය. බෞද්ධයෙක් වීම සදහා තිසරණ සහිත පන්සිල් සමාදම් වීම සෑහුනේ ය. බුදුන් සරණ යනවා යයි පොරොන්දු වුනු බෞද්ධයෙකුට ඊලග මොහොතේ පල්ලියට ගල් ගැසීමට අත ඔසවන්නට හිරිකිතයක් නැතිවුනේ ඒ නිසා ය. දාන ගෙදරක මත්පැන් කට ගා ගත් අය සුරාමේරය මජ්ජපමා කීමට හරිබරි ගැසුනේ ඒ නිසා ය.

දෙවියන්ට යාඥා කිරීමෙන් කිතුණුවෝ ද සැනසුනෝ ය. දෙවියන් හා එක්විය හැක්කේ තමන්ගේ ක්‍රියාවෙන් බව පෙන්වූ ජේසුස්ගේ ජීවිත ආදර්ශය බොහෝ කිතුණුවෝඅමතක කළෝය. ඔවුන් දෙවියන් හා එක්වුනේ වචනයෙන් පමණ ය. ඒ ගීථිකා කට පාඩමෙන් කීම හරහා ය.

ක්‍රියාවෙන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත් අපේ රට නාමයෙන් එනම් වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්ම වූයේ ය.

දේශපාලනඥයන් පවා අපට සංග්‍රහ කළේ වචනයෙනි. දේශපාලන වේදිකාවේ දී පමණක් නොව මැතිවරණ සමයේ වර්ණවත් පෝස්ටර්වල ද ප්‍රකාශනවල ද තිබුනේ වචන ය. ඒවායේ ශබ්ද රසයට වැඩි යමක් නොතිබුනේ ය.

වේදිකාවේ පමණක් නොව රිදී තිරයේ ද නළුවන් අඩුවෙන්ම කළේ රග පෑම ය. වැඩිපුර කළේ දෙබස් කීම ය.

ආයතන ඇතුළේ දී ඇතැම් ආයතන ප්‍රධානීන් ද වැඩිපුර කැමති සිය කාර්ය මණ්ඩලයට දේශනා පැවැත්වීමට ය. එහෙත් අවාසනාවකට මේ රැස්වීම්වල ආයතන ප්‍රධානීන් දෙසන බණ බොහෝ විටක අවකාශයට අධෝවාතයකින් තරම්වත් ප්‍රයෝජනයක් එකතු කරන්නේ නැත. එයට හේතුව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙන කවරෙකුටත් වඩා හොදින් කතාව පිටුපස ඇති ප්‍රධානියාගේ ක්‍රියාව ගැන අවබෝධයකින් සිටින නිසා ය.

වචන ලාභ ය. වචනවලට ඒ නිසා පහසුවෙන් බොරුවේ ස්වරූපය ගත හැකි ය. වරක් වචනයට රැවටුන මිනිසෙක් නැවත ඒ වචනම ඒ කියන්නාගේ මුවින් පිටවෙන කල විශ්වාස කරන්නේ නැත. බුද්ධිමත් මිනිසෙක් ක්‍රියාවෙන් සනාථ වන තුරු කවරෙකුගේ වුව කිසිදු වචනයක් විශ්වාස කරන්නේ නැත.

ඒ නිසා වඩාත් වැදගත් වන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර ඒ හරහා මිනිසුන් ඒත්තු ගැන්වීම ය. බොරුවෙන් තොර රටක් ගොඩ නැගිය හැක්කේ ක්‍රියාවෙන් සන්නිවේදනයේ යෙදීම හරහා ය. අප ආයතන තුළ ගොඩ නැගිය යුත්තේ ක්‍රියාවෙන් කෙරෙන සන්නිවේදනය අගයන සංස්කෘතියකි.

සන්නිවේදනයේ දී වචනවලට ඇති භූමිකාව අවතක්සේරු කිරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. යමක් අපට පැහැදිලි කළ හැක්කේ වචන හරහා ය. මේ බ්ලොග් සටහන ලිවීමේදී ද මා භාවිතා කළේ වචන ය.

ඒත් යමක් ඒත්තු ගැන්වීමට නම් ඒ වචන ක්‍රියාවට නැගිය යුතු ය. වචනය ආරම්භයකට හොද ය. එහෙත් එයින් අවසානය ලගා කර ගත නොහැකි ය. එය කළ හැක්කේ ක්‍රියාවකිනි.

Advertisements

3 thoughts on “කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!

    • Thushara says:

      තමන් කියනා දෙය තමන්ටම කරන්ට වෙන විට හැටි එහෙමය. ඒත් අනුන් කියනා දෙය කරන්නට වු කල කතාව තරමක් වෙනස්ය. ආයතනවලදී ඉහල අය කල යුත්තේ කුමක්ද කියා පහල සෙවක්යින්ට කීවද කල යුත්තේ කෙසේද කියා පහදා දෙන අය ඉතා අඩුය. ඒ ගැන කියනා අයද සමහරවිට විට නොදන්නවා විය හැක. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      • කළ යුත්තේ කෙසේ දැයි ඉහළ කළමනාකාරිත්වය පහළ සේවකයින්ට කී විට සිදුවන්නේ ඒ සේවකයින්ගේ නිර්මාණාත්මක දායකත්වයට වැට බැදීම ය. කළ යුතු දේ කියා එය කරන්නට අවශ්‍ය සහය හා සම්පත් ලබා දීම ඉහළ කළමනාකාරිත්වයේ වගකීම ය. යුතු කම ය. එවිට එය කළ යුත්තේ කෙසේ දැයි විමසා කිරීමට සේවකයන් උත්සුක විය යුතු ය. කෙසේ වුව ද යමක් කළ යුත්තේ කෙසේ දැයි නොදන්නා අයට යම් මග පෙන්වීමක් කිරීමට දෙවැනි අවස්ථාවකදී සිදු වේ. එහෙත් මුලින්ම එවැනි මැදිහත් වීමක් නොකළ යුතු යන්න මගේ අදහස ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s