මොකද? මං කළු ද?


මේ අප අසා හුරු පුරුදු කතාවකි. මේ ප්‍රශ්නය කෙනෙක් නගන්නේම තරහක් ද හිතේ ඇතිව ය. තමන් නොසළකා හැරිවිට මේ ප්‍රකාශය කියවෙන්නේ ඉබේට ම ය. ආදරය ඉල්ලා පැරදුනු විට ද අවස්ථාවක් ඉල්ලා නොලැබුනු විට ද මිනිස්සු මෙසේ අසති.

අප කැමති මේ ප්‍රශ්නය කළමනාකරුවෙකුට විෂය විය යුතු ආකාරයට නගන්නට ය.

මිනිසුන් කළු හා සුදු හැටියට වර්ග කළ හැකි ද? වර්ග කළ යුතු ද?

මේ එක ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්න දෙකකි. පළමු ප්‍රශ්නයට උත්තරය නොහැකිය යන්න ය. දෙවැන්න මිනිසුන් නැතත් මිනිසුන්ගේ වැඩ නම් කළු හා සුදු හැටියට වර්ග කළ යුතු බව ය.

එහෙත් බොහෝ කළමනාකරුවන් කරන්නේ මෙහි අනිත් පැත්ත ය. ඔවුහු මිනිසුන් කළු හා සුදු හැටියට වර්ග කර ලේබල් අලවති. ඉන්පසු සුදු ලේබලය සහිත අයගේ කළු වැඩ ද කළු ලේබලය ඇති අයගේ සුදු වැඩ ද සම්බන්ධයෙන් නොදැක්කා සේ සිටිති.

පළමු ප්‍රශ්නයට එනම් ලේබල් ඇලවීමට හේතුව එසේ කිරීමෙන් ගනුදෙනුව පහසු වීම ය. ලේබලය සුදු නම් කරන්නට ඇත්තේ ඔහුට සැළකීම ය. ලේබලය කළු නම් කරන්නට ඇත්තේ ඔහුට පල නොකියා පලා බෙදීම ය.

මෙයින් සිදු විය හැක්කේ කුමක් ද? කළු තැනැත්තා තවදුරටත් කළු වීම ය. සුදු තැනැත්තා තමන් සුදු බව සිතා පහසු ජීවිතයකට හුරු වීම ය. දෙකෙන්ම බැට කන්නේ ආයතනයයි.

දෙවැන්නට එනම් කළු ලේබලය ඇති අයගේ සුදු වැඩ ද සුදු ලේබලය ඇති අයගේ කළු වැඩ ද අමතක කිරීමට හේතුව එසේ නොකළොත් තමන් ඇලවූ ලේබලය ගැලවීමට සිදුවිම ය. එහෙම වුනාම කටයුතු තවදුරටත් පහසු නොවීම ය. සංකීර්ණ වීම ය.

කිසිදු මිනිසෙක් එහෙම පිටින් ම කළුත් නැත. සුදුත් නැත. හැම මිනිහෙක්ම පාහේ අළුපාට ය. එක් මානයකින් සුදුවන අය තව මානයකින් කළු විය හැකි ය. එක් මානයකින් කළු වන අය තව මානයකින් සුදු විය හැකි ය. මානය නැත්නම් මිනුම අප මනින  මිනුම් දණ්ඩ අනුව වෙනස් වේ.

සාන්තුවරයෙක් යැයි සමාජය හදුන්වන කෙනෙක් ඔබ කිට්ටුවෙන් ඇසුරු කළොත් ඔහුගේ අඩුපාඩු සීමා ඔබට දැනගන්නට ලැබෙනු ඇත. සමාජය කෙනෙකු සාන්තුවරයෙකු කිරීමේදී මුලින් ම කරන්නේ මේ අඩුලුහුඩුකම් සැගවීම ය.

අධමයෙකැයි සමාජය අයින් කරන කෙනෙකු සමහරවිට ටයිකෝට් පැලදි මහත්වරුන් අහක බලන අවස්ථාවක අසරණ වුනු කෙනෙකුගේ පිහිටට එනු අපට දකින්නට පුලුවන.

මේ නිසා අප මිනිසුන්ට කළු හා සුදු ලෙස ලේබල් ඇලවීමෙන් වැළකිය යුතු ය. එසේ වුව ද මිනිසුන් කරන වැඩ සම්බන්ධයෙන් නම් ලේබල් ඇලවීමට කළමනාකරුවන් කටයුතු කළ යුතු ය.

සුදු වැඩ කරන්නට අළු මිනිසුන් පෙළඹෙන්නේ එවිට ය. කළු වැඩ මගහරින්නට අළු මිනිසුන් පෙළඹෙන්නේ එවිට ය.

මිනිසුන් කළු හෝ සුදු නැත. උන් අළුපාට ය. එහෙත් මේ අළුපාට ඕනෑම උන්දෑ කෙනෙකු සුදු වැඩ ද කළු වැඩ ද කළ හැකි ය. වැදගත් වන්නේ ඒ ඒ වැඩය පුද්ගලයා කවුද යන්න අමතක කොට ඔහු මොන කදවුරේද යන්න අමතක කොට අගය කිරීමේ ය. කළු ද සුදු ද යැයි පෙන්වා දීමේ ය.

Advertisements

3 thoughts on “මොකද? මං කළු ද?

  1. 1990 මුල් කාලය දක්වා සමාජ මත ප්‍රචාරයට තනි අයිතියක් කියන ලද ඇමෙරිකන් ජනමාධ්‍ය සහ හොලිවුඩ් සංස්කෘතිය විසින් සමාජයට ගෙන හැර පෑ මතය වූයේ ද කළු සහ සුදු නැහැ හැමෝම අළු පාටයි යන්නයි. ඔබ කරන වැනි අනගි විග්‍රහයක් කියවන්නට නොලැබුණු බහුතරයක් “කාගෙත් කිල්ලෝට වල හුණු ටික ටික තියෙනවා,” යන්න විශ්වාස කළහ. එහෙයින් අයෙක් තුල නොමැති සුහදශීලී බවත්, තවත් අයෙකු තුල ඇති කුහකකමත් දෙකම “හුණු ටිකක් ඇතැයි,” යන එක මිනුමකින් මනින්නට හදනා ආකාරයක් දකින්නට ලැබිණ. වර්තමානයේ දී මෙය කොතරම් බරපතල ලෙසින් ප්‍රබන්ධ නිර්මාණ උත්සාහයන් වල පැතිර ඇත්දැයි සිතද්දී ඒවායේ නිරූපනය වන සෑම “සුදු” චරිතයකම කුමක් හෝ පැහැදිලි “කළු” දුර්වලතාවයක් දකින්නට ලැබේ. උදාහරණයක් ලෙසින් නවතම ටෙලිනාට්‍යයක් වන The Bridge (2013) හි රඟන මෙක්සිකන් රහස් පරීක්ෂකයා අල්ලස් නොගන්නා, තම පවුලට ආදරය කරන, හදවත කකියන නිසා නුසුදුසු නීතියක් නොසලකා හරින, නොයෙකුත් ඉහළ දුරචාර ලොක්කන් වෙතින් පැමිණෙන බාධක මැද්දේ තම රස්සාව කරගෙන යන්නට උත්සාහයක් ගන්නෙක් වෙද්දී හිටිහැටියේ ම විමර්ශනයට ලක්වෙන අනියම් කාන්තාවක් සමඟ ලිංගික හැසිරීමක යෙදුණි. වර්තමානයේ දී ජෝන් වේන්, කර්ක් ඩග්ගස් සහ චාල්ටන් හෙස්ටන් වැනි අය රඟ පෑ අළු පාටක් අඩංගු නැති ප්‍රධාන වීරයාගේ චරිත දැකීම අතිශයෙන් දුර්ලභ වූවකි.

    • මුලින්ම ඔබේ අගැයීමට ස්තුතියි. ඔබ නිවැරදිව දැක ඇති පරිදි කළු වැඩවලින් පිරුණු මිනිසුන්ට අළු චිත්‍රය තුළ වසන් වී සිටීමට කළු සුදු වෙනුවට අළු ලෙස දැකීමෙන් ඉඩක් විවර වෙනව. වැඩ සුදු හා කළු ලෙස වර්ගකළ යුතු බව අවධාරණය කිරීමෙන් එයින් ලොකු වැඩක් ගැනීමට ඔවුන්ට ඒ සමගම නොහැකි වෙනවා. පළමු කාරණය අවධාරණය කිරීමෙන් ඔබ මේ සාකච්ඡාව වර්ණවත් කර තිබෙනව. එයත් අගය කිරීමට කැමතියි.

  2. deepsishere says:

    කාලයට ඔබින මාතෘකාවක්!

    සමහරුන් ආයතනයකට ආව ගමන් සුදු වෙන්න උත්සහ කරනවා වැඩ වලින්. වැඩ වලින් සුදු වුණාම ඒ පුද්ගලයත් සුදු වෙනවා. එතනින් එහාට ඒ සුදු පුද්ගලයා කරන ඔනීම දෙයක් සුදුයි. සුදු මිනිසා ඉන්පසු පුරුදු වෙනවා පහසු ජීවිතයක් ගත කරන්න.

    මේ මම වැඩ කරපු සමහර තැන් වලදී දැක්ක දෙයක්.

    වැරැද්ද තියෙන්නේ ඔබ තුමා කියන විදියට වැඩ නොව මිනිසුන් පාට කිරීම තුල බවයි මගේ අදහස

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s