මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දීම


අවුරුදු ඉවරය. ඉස්සරහට එන්නේ වෙසක් ය. වෙසක් යනු දැන් නම් දන් සැල් ය. දන් දෙන්නට මෙහෙව් ජාතියක් වෙන මොන දීපංකරේවත් නැත. ඒ දානය ගැන කළමනාකරුවෙකුගේ අස්ථානය විය යුත්තේ කුමක් දැයි මේ ලිපියෙන් විමසා ඇත්තේ ය.

ඔබ දාන පතියෙක් විය හැකි ය. එහෙත් ඔබේ දානයෙන් ඵලක් වන්නේ එය කල්පනාවෙන් දුන්නෝතින් ය. එසේ නොකළොත් එය ලබන්නාගේ පරිහානියට හේතුවක් වන්නට වුව ඉඩ තිබේ. මේ ලිපියේ අරමුණ දානය ගැනත් එහි ආනිසංශ ගැනත් හරියට දන්දෙන හැටිවත් කියා සිටීම නොවේ. කළමනාකරුවන් ඒ දෙස බැලිය යුත්තේ කෙසේ දැයි දක්වා සිටීමට ය.

හිගන්නන්ට මුදල් දෙන අය තමන් හිගාකෑමට ප්‍රචලිත කිරීමට අනුග්‍රහයක් සපයන්නේය යන්න කිසිදා හිතන්නට නැත. එහෙත් ඔවුන් කරන්නේ එය යි. හිගා කෑම ලෙහෙසි පහසු නැත. අව්වේ සිටිය යුතු ය. හිට ගෙන සිටිය යුතු ය. සල්ලි දෙන්නේ යයි හිතෙන කෙනෙකු වෙත ගොස් දුක් මුහුණක් හදා ගෙන දුක හිතෙන යමක් කිව යුතු ය. මේ සියල්ල  ලෙහෙසි පහසු නැත. රැකියාවකට වඩා අමාරු ය. එහෙත් මිනිසුන් මෙහි යෙදෙන්නේ රැකියාවකින් ලබන මුදලකට වඩා වැඩි මුදලක් ඒ හරහා උපයා ගත හැකි නිසා ය. අප මුදල් නොදෙන්නේ නම් ඔවුන්ට රැකියාවක් සොයා ගන්නට සිදුවන්නේ ය. අප නිකමුන් හදන්නේ සල්ලිත් වියදම් කරලා බව බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. මහන්සියෙන් වැඩ කරන මිනිහෙකුට ටිකක් වැඩියෙන් දෙන්නට කම්මැලි කරන මිනිසුන් මෙසේ නිකමුන්ට ලෝස් නැතිව බෙදන විට නිකමුන් බෝ වීම පිළිබද වගකීම ද ඔවුන් දැරිය යුතු නොවන්නේ ද?

ආයතනයක සතුව සම්පත් තිබේ. ඒවා නිසි ලෙස දීම නායකයෙකුගේ එක් කාර්යයකි. නායකයෙකු හැටියට යමක් දෙන්නට තීරණ ගැනීමේ දී ඔබ දෙන්නේ මොනවා ද ඒවා දෙන්නේ කෙසේ ද ඒවා දෙන්නේ කාට ද යන්න පිළිබදව නිවැරදි අස්ථානයක ඔබ සිටිය යුතු ය.

ආණ්ඩුවක් ගොවියාට අඩු මිලට පොහොර දෙනවා වෙනුවට වඩාත් ඵලදායී අස්වැන්නක් ගත හැකි බීජ (දෙන්නේ කුමක් ද) පසුව ගෙවීමේ පදනම යටතේ (දෙන්නේ කෙසේ ද) මුදල් හදල් අහේනිය ඇති ගොවීන්ට (දෙන්නේ කාට ද) වෙළද පොලේ මිලට වුව ලබා දෙන්නට සිතන්නේ නම් ඇති විය හැකි ප්‍රතිඵලය මීට වඩා හාත් පසින්ම වෙනස් ද ඵලදායී ද විය හැකි ය. එසේ කරන්නේ මුදල් නොමැති නිසා ඔවුන්ට වඩා අඩු ශක්තියක් ඇති බිජ යොදන්නට වන නිසා ය.

එසේ කළේ වී නම් පොහොර බොහෝමයක් අපතේ ගොස් වැව්වලට එකතු වන්නේ නැත. වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වීම නිසා කොහොමටත් අදාළ පොහොර ණය වී හෝ ගැනීමට ගොවියා උත්සුක වනු ඇත. අස්වැන්න ලැබීමෙන් පසු ණය ගෙවා දමා අභිමානවත් මිනිසෙකු ලෙස ජීවත්වීමේ ඉඩකඩ ඔහුට ඇති වේ. ඔහු තුළ යැපුම් මානසිකත්වයක් ඇති වීමේ සහ වඩ වඩාත් ආණ්ඩුවේ මැදිහත් විම සෙවීමේ ගති ස්වභාවය ඇති නොවේ.

අවශ්‍ය වන්නේ මාළුවෙකු දීම නොවේ. මාළුවන් ඇල්ලිය හැකි බිලි පිති සැපයීම ය. ඒ සමග මාළු අල්ලන සාස්තරය ද පුලුවන් නම් කියා දීම ය.

ඔබේ සේවකයන් සම්බන්ධයෙන් ද අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වැටුප් නිකරුණේ ඉහළ දැමීම නොවේ. එය එකවරක් දෙකක් මිස දිගින් දිගට කළ නොහැකි ය. වැඩි වැටුප් ලබා ගත හැකි ලෙස වැඩ සංවිධානය කරගැනීමට ඔවුන්ට ඉඩ සැළැස්වුවහොත් ඔවුන් ඒ සදහා මැදිහත් වනු ඇත්තේ ය. ඒ මගින් මිනිසුන් වැඩියෙන් උපයන අතරේ ඔවුන්ගේ කාර්යය සාධනය ද ඔවුන් ඉහළට නංවනු ඇත්තේ ය. එය දිගින් දිගට පවත්වාගෙන යා හැකි එකකි.

ආයතනයත් දිනා සේවකයනුත් දිනිය හැක්කේ එමගිනි.

Advertisements

3 thoughts on “මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් දීම

  1. මගේ අදහස නම් ආණ්ඩුව ගොවියාට කිසිත් දිය යුතු නැතැයි යන්නයි. එසේම ආණ්ඩුව ගොවියාගේ ඵලදාවට මිලක් ද තීරණය කළ යුතු නැතැයි කියාය. වඩාත් අස්වැන්න ලබාගත හැකි බීජ එවිට ගොවියා විසින් තෝරා මිල දී ගනු ඇත. මිල වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙද්දී, පසුව ගෙවීමේ පදනම යටතේ බැංකු ණය දෙන්නට පුද්ගලික බැංකු වලට පුළුවන. එහෙත් එහෙම කළොත් කොමිස් කඩා ගන්නා අයගේ පොකැට්ටු හිස්වෙන නිසා එවැන්නකට මාළු බෙදන රජයක් කිසිසේත්ම කැමති වනු නැත!!!!!

    • මගේ අදහස තරමක් වෙනස් ය. පුංචි අතදීමක් නිසා තමන්ගේ ජීවිතය ජය ගන්නට හැකි වූ අයගේ කතා මා අසා ඇත. ඒ ඔවුන් බිලී පිත්තක් ලද නිසා ය. ඒ නිසා තනිකරම වෙළදපොලටම සියල්ල බාර දිය යුතු නැතැයි මම සිතමි. ගොවියාට සහතික මිලක් දීමක් හෝ යෙදවුම් සදහා සහනාධාර දීමක් හෝ අවශ්‍ය නැතැයි මම ද පිළිගනිමි. එහෙත් නව තාක්ෂණය, දැනුම හා ණය සම්බන්ධයෙන් මැදිහත් වීමක් බොහෝ විට ඵලදායී විය හැකි යයි මම සිතමි. ඒ සදහා රජය කෙළින්ම මැදිහත් විය යුතු ද නැතිනම් පහසුකම් සපයන්නෙක් විය යුතු ද යන්න විමසිය හැකි ය. බිලී පිත්තෙන් මා අදහස් කළේ එවැනි මැදිහත් වීමකි.

      • බිලී පිත්තක් දීම රජය විසින් නොකළ යුතු යැයි කියනවා මිසෙක බිලි පිත්තක් කිසිවෙක් නොදිය යුතු යැයි කියනවා නොවේ. අතදෙන්නට ඉදිරිපත් වෙන ඕනෑ තරම් සුහද ජනතාවක් රට ඇතුලෙන් ම ඉදිරියට ඒම රජයේ මැදිහත්වීම් නිසා අවහිර වෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s