තිත්ත ඇත්ත සගවා රසවත් බොරුවක් කීම – සාර්ථක උපායක් ද?


“මට විරුද්ධව ඔබ කියනා සියල්ල මම ප්‍රතික්ෂේප කරමි“.

මගේ විවේචකයන් කියන්නේ කුමක් වුව ද එය ඉතා කටුක වූත් අමිහිරි වූත් ඇත්තක් වූ කල මේ උත්තරය දී මට පලා යා හැකි ද?

ඇත්ත හා බොරුව අතරින් කළමනාකරුවෙකුගේ තෝරා ගැනීම කුමක් විය යුතු ද? ඇත්ත කටුක නම් එය සගවා මිහිරි බොරුවක් කීම වැරැද්දක් ද?

මගේ ආයතනයේ දුර්වලකම් මා විසින් ප්‍රසිද්ධියේ පිළිගත යුතු ද? ඒවා සගවා නැති ශක්තියක් ප්‍රදර්ශනය කිරීමෙන් මට ජය ලැබිය නොහැකි ද?

වැරදි සියල්ල ප්‍රතික්ෂේප කර ප්‍රසන්න චිත්‍රයක් මවා පෑමෙන් ආයතනයේ කීර්ති නාමය වැඩි දියුණු වේ නම් මා එසේ නොකළ යුතු ද?

මේ කළමනාකරුවෙකු විසින් සීරුවෙන් විමසිය යුතු ව තිබෙන ප්‍රශ්නයන් ය. බොහෝ අය නම් දෙවරක් නොසිතාම වැරදි සගවා නැති දේ කියා සිටීමේ ක්‍රියාමාර්ගය හරි යයි කියනු ඇත. වැදගත් වන්නේ අවසාන ඵලය නම් එය ලගා කර ගත හැකි මාර්ගය කුමක් වුවද කම් නැතැයි ඔවුන් කියනු ඇත. ඔවුන්ට මග හැරෙන්නේ වැරදි පිළිගැනීම නිසා ඇතිවන වාසි ය.

වැරදි පිළිගැනීම නිසා වාසි කිපයක් අත් වේ.

  • අනිත් සියලු වැරදි ඇත්තේ වුව ද තමන් සත්‍ය ගරුක බව එයින් අන් අයට ප්‍රදර්ශනය වේ.
  • වැරදි පිළිගත් විට ඒවා හදා ගැනීමට තමන් තුළ වැඩි උත්සහයක් ඇති වේ. ඒ නිසාම වඩා දියුණු වීමට මග සැළසේ.
  • සැගවූ වැරදි අනාවරණය වූ කල සිදුවන ඇබැද්දියෙන් ගැලවේ.
  • වැරදි සැගවීමට ගන්නා අමතර මහන්සිය කාලය හා සම්පත් ඉතිරි වේ.
  • වැරදි පිළිගත් නිසාම එය හදා ගනු ඇතැයි විශ්වාසයක් ගනුදෙනුකරුවන් අතර ඇති වේ.

අප ජීවත්වන වත්මන් ලෝකය වීදුරු ගෙයක් වැනි ය. ඒ තුල සැගවිය හැක්කේ අමාරුවෙනි.

වෙනදා මෙන් නොව අප අවට සිදුවන බොහෝ දේ ඉක්මණින් බොහෝ දෙනෙකු දැනගැනීම අපට තවදුරටත් වැළැක්විය නොහැකි ය. ඒ තොරතුරු තාක්ෂණය නිසා ය. ඒ නිසාම බොරුවට අප වෙත වාසියක් ගෙන ඒමට යම් ශක්තියක් අතීතයේ තිබුනා නම් එය ඉතා වේගයෙන් නැතිව යමින් තිබෙන්නේ ය.

ඒ නිසාම වසන් කරන්නට උත්සහ කිරීමේ අසීරු උත්සහය අත් හැර දමා වරද පිළිගෙන එය හදා ගැනීමට ඉක්මන් වීම අද යුගයට වඩාත් ගැලපෙන්නේ ය. කළමනාකරුවන්ට ඒ යථාර්ථයෙන් ගැලවිය නොහැකි ය.

එය ආයතනයකට පමණක් නොව, රටක් කළමනාකරණ අය විසින් ද සිහිපත් කරන්නේ නම්, රටට ද යහපතක් ම වන්නේ ය.

Advertisements

5 thoughts on “තිත්ත ඇත්ත සගවා රසවත් බොරුවක් කීම – සාර්ථක උපායක් ද?

  1. වත්මන් ලෝකය වීදුරු ගෙයක් වගේ … එන්න එන්නම සැඟවෙන්න අමාරුයි!!! එක අතකින් පුද්ගලික නිදහස නැතිවෙනවා හැබැයි අනෙත් පැත්තෙන් නිදහස නැති කරන අයගෙ නිදහසත් නැතිවෙනවා නේද කියලත් හිත හදාගත්තෑකි!!!

  2. මම මේ වන විට පැහැදිලිව මගේ අතින් වුන රාජකාරිමය වැරදිවලට සේවාදායකයන්ගෙන් සමාව ඉල්ලලා තියෙනව දෙතුන් වතාවක්. උවමනානම් මට සැඟවෙන්නත් ඕන තරම් අවස්ථාවත් තිබුණා. නමුත් සමාව ඉල්ලීමෙන් පස්සෙ සෑහෙන්න නිදහසක් දැණෙනවා. අනික ඒකෙන් සේවාදායකයගෙ හිත පැහැදීමෙන් වෙන වාසියත් එන්නෙ අපට!

  3. Aruna Devendra says:

    ඇත්ත, බොරුව- තිත්ත හා රසවත් මෙන්ම එහි ඇති ඵලදායී බවද යමෙක් සැලකිල්ලට ගත යුතු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත.(ඒ දේශනාව පිලිබදව විස්තර මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට නොහැකිවීම ගැන කමා කරත්වා.) ඒ අනුව ආකාර අටකින් මෙය පැහැදිලි කල හැකිවේ.
    1. ඇත්ත-තිත්ත-ඵලදායී
    2. ඇත්ත-තිත්ත-ඵලදායී නොවන
    3. ඇත්ත-රසවත්-ඵලදායී
    4. ඇත්ත-රසවත්-ඵලදායී නොවන
    5. බොරු-තිත්ත-ඵලදායී
    6. බොරු-තිත්ත-ඵලදායී නොවන
    7. බොරු-රසවත්-ඵලදායී
    8. බොරු-රසවත්-ඵලදායී නොවන

    මේවායින් කළමනාකරුවෙකුට අවශ්‍ය හා තෝරාගත යුත්තේ කුමක්ද යන්න විමසීම ඉහත ඔබේ විග්‍රහය වඩා තීව්ර කරනු ඇතැයි විශ්වාස කරමි. මේ පිලිබද බුදුන් වහන්සෙගේ විග්‍රහය අදාල උපුටනයන් සමග ඉදිරියේදී මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි.

    • කෙටිකාලීන ඵලදායී විය හැකි යමක් දිගුකාලීනව හානිදායක විය හැකි ය. ඒ නිසා මේ අර්ථකථනයේ බුදුන් දෙසුවේ වුව ද යම් අඩුවක් ඇතැයි සිතමි. ඒ නිසාම මූලාශ්‍ර සහිතව ඔබේ පැහැදිලි කිරිම අපේක්ෂාවෙන් සිටිමි.

  4. Aruna Devendra says:

    තාර්කික වශයෙන් ඉහත පරිදි ප්‍රභේද 8 කින් දැක්විය හැකි වුවද අංක5 හි දක්වා ඇති බොරු-ඵලදායී-තිත්ත ප්‍රායෝගිකව අත්දැකිය නොහැකි වේ. එනම් සත්‍ය නොවූ, සිදුනොවූ, අන් අයට අප්‍රිය හා අමනාප වන ප්‍රකාශයක් ඵලදායී වීමේ සම්භාවිතාව අවම වේ.
    කෙසේ වෙතත් සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ, මජ්ජිම පන්නාසකයේ 58 වැනි සූත්‍ර දේශනාව වන අභය රාජ කුමාර සූත්‍රයේ බුදුන් වහන්සේ යමෙක් ප්‍රකාශ කළ යුතු හා ප්‍රකාශ කළ නොයුතු දෑ පිලිබදව මනරම් දේශනාවක් සිදුකර ඇත. එහිදී උන් වහන්සේ දේශනා කොට ඇත්තේ,
    1. තථාගත තෙම යම් වචනයක් වනාහි වූ දෙයක්ය සත්‍යයක්ය අර්ථ පිණිස පවතින්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට අප්‍රිය අමනාප වේද, එහි තථාගත තෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි.
    2. තථාගත තෙම යම් වචනයක් වනාහි වූ දෙයක්ය, සත්‍යයක්ය, වැඩ ගෙණදෙන්නක්යයි දනියිද, ඒ වචනයද අනුන්ට ප්‍රිය මනාප වේද එහි තථාගතතෙම ඒ වචනය ප්‍රකාශ කිරීමෙහි කල් දන්නේ වෙයි.
    යනුවෙනි.
    අනෙකුත් සියළුම ප්‍රකාශ සිදුකිරීම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඇත.
    මහාචාර්ය රේරුකානේ චන්ද විමල හිමියන් විග්‍රහ කරන්නේ අනුන් මුළා කරන අදහසින් ඇතිදෙය නැති යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යයිද, නොවූ දෙය වූයේ යයිද, වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මෘෂාවාදය ලෙසයි. වැඩිදුරටත් ක්‍රීඩා පිණිස හා නොදෙනු කැමැත්තෙන් ඇතිදෙය සගවනු පිණිස, දරුවන් නැළවීම පිණිස ද කළ වරද සගවනු පිණිස ද බොරු කීම අල්ප සාවද්‍යය බව බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයේ පැහැදිලි කර ඇත.
    ඒ අනුව බොරු-ඵලදායී-රසවත් යන ප්‍රභේදය අල්ප සාවද්‍ය වන අතර එයින් යමෙක් මුළා කරනුයේ හිතකර ඵලයක් බලා පොරොත්තුවෙනි. උදාහරණ ලෙස නත්තල් සීයා සත්‍යය නොවන මුත් එය ලමයින්ට රසවත් හා ඵලදායී සංකල්පයක් වේ.
    මෙහිදී කළමනාකරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලූ කළ වැදගත් වන්නේ අපට යම් ප්‍රකාශයක් (සත්‍යය හෝ අසත්‍යය) කිරීමට සිදුවන්නේ කවර වූ සන්දර්භයක් තුලද, හා අදාල විෂයය පිලිබදව එම කළමනාකරුට ඇති අවබෝධයේ ප්‍රමාණය යන කරුණුයි. එපරිද්දෙන්ම දේශනා කර ඇති බුදු වදනයි, ´´රාජකුමාරය, එපරිද්දෙන්ම යම් ඒ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණයෝද, ගෘහපති පණ්ඩිතයෝද ශ්‍රමණ පණ්ඩිතයෝද ප්‍රශ්නයක් සකස් කොට තථාගතයන් වෙත එළඹ විචාරත්ද, තැනට සුදුසු පරිද්දෙන්ම මෙය තථාගතයන්ට වැටහේ. ඊට හේතු කවරේද? රාජකුමාරය, යම් ධර්ම ස්වභාවයක් මනාකොට අවබොධ කිරීම හේතුකොටගෙන ස්ථානෝචිත නුවණින්ම මෙය තථාගතයන්ට වැටහේද? ඒ ධර්ම ස්වභාව වනාහි තථාගතයන් වහන්සේ විසින් මනාකොට අවබෝධ කරන ලද්දේයයි´´. (අභය රාජකුමාර සූත්‍රය-මජ්ජිම නිකාය).

    වැඩිදුර තොරතුරු:
    අභය රාජකුමාර සූත්රු දේශනාව -http://dahamsithum.wordpress.com/2012/09/10/58-%E0%B6%85%E0%B6%B7%E0%B6%BA-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB-%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/
    ඉංග්රී%සි භාෂාවෙන්-http://www.accesstoinsight.org/tipitaka/mn/mn.058.than.html
    බෞද්ධයාගේ අත්පොත- රේරුකානේ චන්දවිමල මහ නාහිමි- http://buddharashmi.buddhistculture.net/1.html

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s