තෙවැනි කැරැල්ල හා කෘෂිකර්මයේ ඵලදායීතාවය


අපේ ර‍ටේ ආර්ථිකයෙන් කෘෂිකර්මාන්තය අයත් කර ගෙන ඇත්තේ 14% ක් පමණ වූ සුළු කොටසක් වුව ද මිනිසුන්ගේ ජීවනෝපාය සම්බන්ධව අදටත් එය ඉතා තීරණාත්මක ය. අප මේ ලිපියෙන් උත්සහ කරන්නේ කළමනාකරණ දෟෂ්ඨිකෝණයකින් අප රටේ කෘෂි ආර්ථිකය දෙස බැලීමට ය.

කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ අපගේ ඵලදායකත්වය අඩුවීමට එක් හේතුවක් වන්නේ ඉඩම්වල අයිතියේ විසිරුණු ස්වභාවය හා ඉඩම්වල ප්‍රමාණයයි.

බොහෝ දෙනෙකුගේ ඉඩම් ඇත්තේ තැන් තැන්වල කුඩා කට්ටි ලෙස විසිරී ය. එය පැරණි කුඩා වැව්වලින් සමන්විත වාරි ක්‍රමයට අවශ්‍ය වූයේ ය. එක වැවක් කැඩී බිදී ගිය කල ඒ යටතේ වගා කළ නොහැකි වූවිට තවත් වැවක ඉඩම් කට්ටියක් තිබීම සුරක්ෂිත තාවයට හේතුවක් විය.

ඊලග ඉඩම් ප්‍රශ්නය ඇත්තේ මහා වැව් ආශ්‍රිතව ය. මුල් කාලයේ පදිංචි පරම්පරාවේ තෙවැනි පරම්පරාවේ උදවිය දැන් ඒ ජනපදවල වාසය කරති. දැන් කීපවරක් බෙදී ඉතිරිව ඇත්තේ සොච්චම් ඉඩමකි.

මේ කාරණා දෙකම කෘෂී ක්ෂේත්‍රයේ අඩු ඵලදායකත්වයට බල පෑවේ ය. මේ ඉඩම්වල කුඩා ස්වභාවය ද විසිරුණු ස්වභාවය ද ඒවායේ නිල අයිතීන් පිළිබද ගැටළු මෙන්ම විකිණීමට ඇති සීමාවන් ද එහිදී බල පෑවේ ය.

ඊට අමතරව ආණ්ඩුව මත යැපෙන ජනසවිය හා සමෘද්ධිය නිසා වඩාත් පැතිරුණු යැපුම් ආර්ථිකයකට ඔවුන් යොමු වී ඇත්තේ ය. ඔවුන් මේ යැපුම් ආර්ථිකය තුළම සිරව සිටිනු දකින්නට සමහර විට දේශපාලනඥයන් කැමති ය. බොහෝ ගම් ආශ්‍රිත දේශපාලනඥයන්ගේ චන්ද පදනම මේ යැපෙන්නට පුරුදු කර ඇති පිරිස ය. මේ යැපුම් ආර්ථිකයේ ඇත්ත නම් ඒ සදහා අවශ්‍ය ධනය ආණ්ඩුව සපයා ගන්නේ ද යැපන්නන්ගෙන් ද ගන්නා බදු වලින් බව ය. වෙනත් වචන වලින් කියන්නේ නම් ගැමි ජනයා හසු කර ගෙන ඇති උගුලට අවශ්‍ය ඇම පවා ඔවුන්ගෙන්ම ගැනීමටත් එයින් ගැමියන් අත්කර ගන්නා වාසියට වැඩි වාසියක් ගමේ දේශපාලනඥයන් ලබා ගැනීමටත් මෙයින් කටයුතු කර ඇත්තේය.

තමන් අසුව ඇති උගුලේ බරපතල කම තේරුම්ගන්නා ටික දෙනෙක් පමණක් මැද පෙරදිග රැකියා හරහා හෝ හමුදාවට බැදී එසේත් නැතිනම් ගාමන්ට් එකක රැකියාවක් කර මෙයින් ගොඩ එන්නට බලති.

ගමේ ගොඩේ පිදුරු සෙවිලි කල පැල්පත් අඩුව ගොස් උළු සෙවිලි කළ ගෙවල් දකින්නට ලැබෙන්නේ ඒ පිරිසට පින්සිදු වන්නට ය. බයිසිකල් ට්‍රැක්ටර් දක්නට ලැබෙන්නේ ද ඒ ආර්ථික අවස්ථාවන්ට පින්සිදු වන්නට ය.

යුද්ධය නැති ගාමන්ට් අලුතින් ඇති වෙන්නේ නැති තත්වයක මැද පෙරදිග රැකියාවලට පමණක් මේ කටයුත්තේ බර දැරිය හැකි ද?

අප ඉදිරියේ ඇත්තේ ලෙහෙසියෙන් පිපිරෙන්නට ඉඩ ඇති ගැමි ආර්ථිකයකි. අප අමතක නොකළ යුත්තේ අප ගැමි තරුණයන්ගේ කැරලි දෙකකටත් උතුරේ තරුණයන්ගේ අවි ගත් යුද්ධයකටත් දැනටමත් මුහුණ දී ඇති ජාතියක් බව ය.

ඒ නිසා එක් පැත්තකින් අප කෘෂිකර්මයේ ඵලදායකත්වය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අනිත් පැත්තෙන් රටේ ආර්ථිකයේ සෙසු අංශ වඩාත් පළල් කිරීම හරහා කෘෂි ආර්ථිකයෙන් යැපෙමින් ඉන්නා අයට මැද පෙරදිග රැකියාවලට වඩා දියුණු විකල්ප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද ඉක්මණින් අවධානය යොමු කළ යුතු ය.

එයට අවශ්‍ය දේශපාලනික සමාජමය හා නීතිමය පරිසරය සැදීමත් ඒ හරහා ව්‍යාපාරිකයන්ට ආයෝජනයට හැකියාව උදාකර දීමත් ආණ්ඩුවක් විසින් කළ යුතු දේ ය.

Advertisements

8 thoughts on “තෙවැනි කැරැල්ල හා කෘෂිකර්මයේ ඵලදායීතාවය

  1. මෙයත් දැන ගියොත් කතරගම කතාව හා සම්බන්ධයක් ඇත්තේ යැයි සිතුණ. ආපහු ගොවි යුගයට යමු කියල නූගත් තරුණ අයව ඉස්සර රුවටිලි වලින්ම ආයෙත් රවටන්න උත්සාහයක් තියෙන බවත් හිතෙනවා.

    ආණ්ඩුව සියළු රුහැන් අල්ලා ගෙන දක්කාගෙන යන්න හදන්නෙ නැතිව පොඩ්ඩක් පැත්තකට වෙනවා නම්, ජනසවි හා දිවිනැඟුම් වලින් හසුරුවන්න නොයා, පිටරට ඉන්නා අයගෙන් ආයෝජන සහාය ලබාගෙන රට කාගේවත් නියාමනයක් නොමැතිව කවුරුත් නොසිතූ විදියකට සාර්ථක වේවි.

    දැන් වෙන්නෙ වැඩ කරන්න දන්න සොච්චමත් ආණ්ඩුවේ ග්‍රහණය පැතිර යද්දී රට දාලා යන්න ලැහැස්තියයි.

    රටේ බහුතරයකට රට රැකියා හොයාගන්න උදව් වූයේ ද ආණ්ඩුව නෙමෙයි. රට ගිය ඇත්තෝ තම හිතවතුන්, ඥාතීන් කළ ව්‍යාපාර උත්සාහයන්ට එදා සහාය වූවා වගේම එහෙම එදා ගිය අය එවපු සල්ලි වලින් තව කට්ටියක් රට යන්න ද සමත් වූවා.

    ලංකාවේ මිනිස්සුත් තමන් දන්නා හඳුනන අනිත් මිනිස්සුන්ට අත දීම ආණ්ඩුවකට වඩා කාර්යමශීලී ලෙසත්, කිසිවෙකුගේ බදු ඉහළ නොයන ලෙසත්, රටට ආදායමක් මිස බරක් නොවෙන ලෙසත් කරාවි යන්න අපේ රට ගිය ඇත්තන්ගේ ඉතිහාසයෙන්ම පැහැදිලියි.

    • හැම ආණ්ඩුවක්ම පාහේ යෙදී ඉන්නේ තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමේ හා ඒ පැවැත්ම අතරතුර තමන් මෙන්ම තම සහගයින්ගේ ද චිරස්තථිය පිණිස වැඩ කටයුතු කර ගැනීමේ ය. අඩු වශයෙන් දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමේ අටියෙන් වත් නුවණ මෙහෙයවන්නේ නම් රටේ තීරණාත්මක වෙනසකට අඩිතාලම දැමීමට ඒවාට හැකි ය. ඒත් බොහෝ ආණ්ඩු මිනිසුන් රැවටීම හා බිය වැද්දීම හරහා තම පැවැත්ම තහවුරු කර ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිනවා විනා රටේ ආර්ථික හා සමාජ අඩිතාලම ශක්තිමත් කිරීම හරහා තම පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු නොකරති. විද්වතුන්ගේ කාර්යය වන්නේ තමන්ට හැකි ආකාරයට මේ බව රටට පෙන්වා දීම ය. ඒ හරහා රට කරවන ඇත්තන් කුඩා පිලී පැන්නවීමකට හෝ උත්සහයක යෙදීම ය. ඒ සම්බන්ධයෙන් ඔබ විසින් කරන කාර්යය භාරය අගය කරමි.

  2. ඔබගේ ලිපිය තුල කෘෂිකර්මයේ තාක්ෂණික භාවිතාවන් ගැන සඳහනක් නැහැ…අද ලෝකය බොහොම දියුනු විදියට කෘෂිකර්මය දකිනවා..ඒ වගේම නවීන තාක්ෂණය ඒ සඳහා යොදාගන්නවා.. අේප රටේ නවීන තාක්ෂණය කෘෂිකර්මය හා මුසුවන්නේ කෘමිනාශක කඩේ මුදලාලි හරහා පමණයි..අපි වගේ සීමිත සම්පත් තියෙන රටක නව දැනුම උත්පාදනය කරන්න නව මාදිලියේ කෘසිකර්මය ගැන දැනුවත් කරන්න සක්‍රිය ක්‍රමයක් අවශ්‍ය වෙනවා..නැත්නම් නොබෝ දිනකින් ඉන්දියාවට ගංවතුරක් ආහම අපේ බඩු මිල දැඩි ලෙස ඉහල යන එක වලක්වන්න කාටවත් බැහැ..

    • ඔබ ගෙන එන්නේ සංවාදයට වඩාත් වැදගත් මානයක්. කෘෂිකර්මය තුළ තාක්ෂණික භාවිතාව අවම වීම ඇත්තට මා විසින් කතා කළ යුතුව තිබූ එහෙත් මග හැරී ගිය කාරණාවක්. ඒ නිසාම ඔබට එය මතු කිරීම ගැන පළමුව ස්තුතිය. තාක්ෂණය මුසු කළ හැක්කේ දැනුවත් කිරීම හරහා පමණක් නොවේ. අවශ්‍ය ආයෝජනයන් ද දිරි ගැන්වීම හරහා යි. ඊට අමතරව සමහර තාක්ෂණික භාවිතයන් සාර්ථක වීමට අවම බිම් පෙදෙසක් ද අවශ්‍යයයි. කුඩා බිම් පෙදෙස්වල තාක්ෂණින යෙදවීම් වලින් ලබා ගත හැකි ඵලදායීකත්වය සීමාසහිත යි. ඒ නිසා තාක්ෂණික භාවිතය සම්බන්ධයෙන් ද ඔබ කියූ දැනුවත් කිරීමේ කාර්යයට අමතරව අප කී කාරණා ද වැදගත් බව නැවතත් මතක් කරන්නට කැමතියි.

    • මේ වචන කියවිය නොහැකි යි. කුමන වර්ගයේ අකුරු මාදිලියක් භාවිතා කළේ ද යන්න දන්වන්නේ නම් අපට ඔබේ ප්‍රතිචාරය කියවන්නට හැකි වේවි.

  3. Aruna Devendra says:

    ඉතා සංවේදී මෙන්ම තීරණාත්මක මාතෘකාවක් හරවත් සංවාදයක් උදෙසා ඉදිරිපත් කිරීම සම්බන්දව ඔබට කෘතඥ වෙමි. ඔබ ඉදිරිපත් කර ඇති කරුණු හා එකග වන ගමන්ම එසේ අතීතයේ ඉඩම් නීති හා ප්‍රතිපත්තියේ සිදුකල අදූරදර්ශී වෙනස්කමි වල දිගුකාලීන බලපෑම අපරටේ කෘෂිකාර්මික ව්‍යවසායයන් නැත්තටම නැතිවීමයි. කළමනාකරණ දෘෂ්ටියෙන් බැලීමේදී වඩාත් වැදගත් වන්නේ අප විනාශ කරගත් කෘෂිකාර්මික ව්‍යවසායකත්වයයි. දැන් අප සිදුකල යුත්තේ එම ව්‍යවසාය නැවත ඇතිකිරීමට කටයුතු කිරීමයි. පෞද්ගලික අංශයේ ආයතන ඉතා අතලොස්සක් කෘෂි ක්ෂේත්‍රයේ ආකර්ෂණීය ආයෝජන කිහිපයක් දැනටමත් සිදුකර ඇති නමුත් ඒවා ප්‍රවර්ධනයට රාජ්‍ය අංශයේ වන උනන්දුව අවම බැවින් වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමේ ප්‍රවනතාවයක් දක්නට නැත.

    • ඔබේ අගැයීමට ස්තුතියි. කෘෂිකර්මයේ ව්‍යාවසකත්වය තීරණාත්මක අවශ්‍යතාවයකි. ඵලදායීතාවය නැංවීමට හැක්කේ එවැනි ව්‍යාවසකත්වයක් හරහා ය. අවශ්‍ය තත්වයන් ඇති කළ හැකි නම් ආයෝජකයින් ඒ සදහා ඉදිරිපත් වනු ඇත්තේ ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s