නීතියේ ආධිපත්‍ය හා යුක්තිය පසිදලීම


නීතිය මේ දිනවල බොහෝ සෙයින් කතා කරන මාතෘකාවකි.

ආචාර ධර්ම වලින් පමණක් සමාජයක් පවත්වා ගෙන යා නොහැකි ය. ආචාර ධර්ම පළල් විදිහට සිතන්නාවූ මිනිසුන්ගේ බුද්ධිමය ස්වයං වුවමනාවන් (enlightened self interest) මත පදනම් වෙයි. සමහරු එවැනි ආචාර ධර්මයන්ට හිමිකම් නොකියති. ඔවුන්ට ඇත්තේ පටු ස්වයං වුවමනාවන් ය (narrow self interest). අනෙකාට කුමක් වුවත් තම ස්වාර්ථය පමණක් සැදේ නම් එවැනි දෙයකට ඔවුන් සූදානම් ය.

නීතිය අවශ්‍ය වන්නේ එවැනි මිනිසුන් ද සමාජයේ ජීවත්වන නිසා ය. අනිත් අතට බුද්ධිමය ස්වයං වුවමනාවන් සහිත සෙසු මිනිසුන්ට ද එවැනි වුවමනාවන් මත රැදෙන්නට දිරි ගැන්වීමක් නීතියෙන් ලැබේ. ආචාර ධර්මයන්ට අමතර වටිනාකමක් ඉන් ලැබේ.

පුරාණ යුගයේ නීතිය ආයතනයේ ප්‍රධානියාගේ අණට සිමා විය. රටක නම් එය රජතුමාගේ අණ විය. නීතිය පැණවූයේ ද ක්‍රියාත්මක කරවූයේ ද එය අර්ථ නිරූපනය කළේ ද පසිදුලුවේද සිතූ සිතූ ලෙස වෙනස් කළේ ද රජතුමා ය. නීතිය කඩ කළ විට නඩු ඇසුවේද දඩුවම් කළේද රජතුමා ය. නැතිනම් ඒ ප්‍රධානියා ය.

පසු කලෙක ශිෂ්ඨාචාරය ඉදිරියට යන විට මිනිසුන්ට ඊට වඩා වෙනස් ආයතන ව්‍යුහයක් මේ සදහා අවශ්‍ය විය.

ආයතනයක නම් නීති පැනවීම අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරිණී. ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රධාන විධායක නිලධාරියාට හා කාර්ය මණ්ඩලයට පැවරිණි. ඒ නීති නිසි ලෙස ක්‍රියාත්මක වන වා දැයි සොයා බැලීම ප්‍රධාන විධායක නිලධාරියාට හා ඔහුගේ යටත් නිලධාරීන්ටත් නිලධාරීන්ගේ කටයුතු සොයා බැලීම අභ්‍යන්තර විගණකයින්ටත් පැවරිණි. කෙනෙකු නීතියක් කඩ කළ බව සොයා ගත් කළ ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමටත් ඔහුට හෝ ඇයට තම නිදහස වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් ලබා දීමටත් කටයුතු කරන ලද්දේ ය. ඉන්පසුව අපක්ෂපාත පරීක්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබන විනය පටිපාටියකට ඔහු හෝ ඇය යටත් කරනු ලැබී ය. එහිදී පැමිණිලි පාර්ශවයට වැරැද්දක් සිදු කළ බව ඔප්පු කිරීමට බාර වූ අතර ඔවුන් ඉදිරිපත් කරන ලද සාක්ෂි සාවද්‍ය නම් හරස් ප්‍රශ්න ඇසීමෙන් ඒ බව පරීක්ෂණ මණ්ඩලයට පෙන්වා සිටීමේ වරම චුදිතයන්ට ලැබුනේ ය. දඩුවම් නියම කරනු ලැබූයේ මෙසේ පවත්වන ලද දීර්ඝ පරීක්ෂණයකින් පසු ය. බොහෝ අවස්ථාවල පරීක්ෂණය සිදු කළ ආකාරය වැරදි සහගත නම් ඒ ගැන අභියාචනයක් කිරීමේ වරම ද චුදිතයන්ට හිමි විය.

රට තුළ ක්‍රියාත්මක වූයේ ද මීට සමාන ක්‍රියාවලියකි. පාර්ලිමේන්තුව නීති පැනවූ අතර විධායකය ඒවා ක්‍රියාත්මක කිරීමටත් විධායකය ද පොලීසිය වැනි නීතිය සුරැකීමේ ආයතන ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමත් සිදු කළෝය. නීති කැඩීමක් වූ කල අධිකරණ ක්‍රියාමාර්ගයකින් පමණක් දඩුවම් දීමට වග බලාගන්නා ලද්දේ ය. එය අප කලින් විස්තර කළ ආකාරයම ගත්තේ ය.

වර්ථමාන කළමනාකරුවන් මේ නීති ක්‍රියාත්මක කිරීම ගැන නීති කඩ කළ විට අනුගමනය කළ යුතු විනය පටිපාටිය ගැන අවබෝධයකින් කටයුතු කළ යුතු ය. මක්නිසාද යත් ස්වභාවික යුක්තියේ මූලධර්ම අවලංගු කළ ඇති විටෙක ඔවුන්ට විරුද්ධව උසාවි යාමට සේවකයන්ට අයිතිය ඇති නිසා ය.

ඊට අමතරව නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වන ආයතනක් බොහෝ අතුරු ප්‍රශ්නවලින් ද නිදහස් වන නිසා ය (රට තුළ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වූයේ නම් අප අද රටක් ලෙස අත්විදින අතුරු ප්‍රශ්න ද ඇතිවන්නේ නැත).

එවැනි ආයතනයක තිබිය යුතු මූලික ලක්ෂණ කීපයක් ලයිස්තු ගත කොට මේ සටහන අවසන් කරන්නට අපේක්ෂා කරමි.

  1. නීතිය පැහැදිලි විය යුතු අතර විවිධ පුද්ගලයන්හට විවිධ ආකාරයට එය අර්ථ නිරූපනය කිරීමට එහි ඉඩක් නොමැති විය යුතු ය.
  2. නීතිය වරින්වර විමසුමට ලක් කොට කාලානුරූපව සකස් කළ යුතු ය.
  3. නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු ය.
  4. නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම නිසි ලෙස දක්වා තිබිය යුතු ය.
  5. නීතිය කැඩු විට කළ හැකි දඩුවම් ද නීතිය සමග පැනවිය යුතු ය.
  6. ඒ දඩුවම් කඩ කළ නීතියට සමානුපාතික විය යුතු ය.
  7. අත්වැරදි වලට (technical errors) දඩුවම් නොකළ යුතු ය. හිතාමතා කරන ලද වැරදි වලට (fundamental errors) පමණක් දඩුවම් කළ යුතු ය.
  8. ඒ නිසාම වැරැද්ද සිදුකර ඇත්තේ මුල් වතාවේ නම් එය පෙන්වා අවවාද කළ යුතු ය. වාචික අවවාදය ප්‍රමාණවත් නොවන විටක ලිඛිත අවවාදයන් සිදු කළ යුතු ය. එයිනුත් පලක් නොවන්නේ නම් ඊට පසු විනය පටිපාටිය අනුගමනය කළ යුතු ය.
  9. විනය කටයුතු සිදුකළ යුත්තේ අපක්ෂපාත විනය මඩුල්ලකිනි. ඒ විනය මඩුල්ල තුළ නීතිය කඩ කළ හා ඒ බවට චෝදනා ලැබූවන් නොසිටිය යුතු ය.
  10. චෝදනා පත්‍ර ලැබීමේ නිදහසට කරුණු කීමේ ඉඩ සාක්ෂි පිරික්සීමේ හා සාක්ෂි පිළිබද හරස් ප්‍රශ්න ඇසීමේ ඉඩ චුදිතයාට ලැබිය යුතු ය. ඒ සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතු ය.
  11. විනය පටිපාටිය අවසානයේ වැරදි කරුවෙකු බවට තීරණය කරන්නේ නම් ඒ කුමන පදනම මත පිහිටා ද යන්න දැන්විය යුතු ය. දඩුවම කුමක් ද යන්නත් එවැනි දඩුවමක් දෙන්නේ කුමන පදනමක මත පිහිටාද යන්නත් දැන්විය යුතු ය.
  12. අභියාචනයකට ඉඩ දිය යුතු ය.

රට හදන්නට ඉදිරිපත් වීම හොද දෙයකි. කළමනාකරුවන්ට ඊට අමතරව තම ආයතන හදන්නට ද සිදු වේ. ඒ ඕනෑම කෙනෙකුට මේ සංවාදය වැදගත් වෙනු ඇතැයි සිතමු.

Related post;

https://managementinsinhala.wordpress.com/2012/11/08/fundamental-errors-and-technical-errors

Advertisements

3 thoughts on “නීතියේ ආධිපත්‍ය හා යුක්තිය පසිදලීම

  1. කළමනාකරුවන් සිදු කරන්නේ ආයතනය හැදීම නොව තමාගේ හැදීම පිණිස ආයතනයේ නීති වලට උඩින් පැනීමයි.management overrides the controls.නොකරන්නෝද වෙති.අභ්‍යන්තර පාර්ශව වෙනුවෙන් අභ්‍යන්තර විගණක සපයන සියල්ල ඉහල කළමනාකරණයේ දැක්ම හමුවේ තීරණය වේ.බාහිර පාර්ශව වෙනුවෙන් බාහිර විගණක සපයන මතය එසේ නීතිය නොතකන මැට්ටන් හමුවේ(enron,worldcom,sathyam IT) මිරිඟුවක් මිස වෙන කුමක්ද?

    • ආයතනයක නීතිය නිසි ලෙස අර්ථ ගන්වා තිබේ නම් ඒ නීතියම භාවිතා කරමින් එවන් අවස්ථාවක අධිකරණයකට යෑමේ හැකියාව සේවකයන්ට හා සේවාලාභීන්ට මෙන්ම ආයතනයක වෙනත් පාර්ශවකරුවන්ට ද තිබේ. ඒ නිසාම ආයතනයේ නීති පිළිබද දැනුමක් ඒ පාර්ශවකරුවන් විසින් ලබා ගැනීම වැදගත් ය. ඒ සමගම එම නීති ප්‍රසිද්ධ කරමින් පාරදෘෂ්‍යභාවය පවත්වා ගන්නා ලෙස සමාජ පීඩනයක් ආයතනවලට එල්ල කිරීම වැදගත් ය.

      විපාක අවම නම් අසුවෙන්නට ඇති ඉඩකඩ අඩු නම් ලැබෙන ප්‍රතිලාභය ඉහළ නම් නීතිය ඉක්මවීමට ඇති ඉඩකඩ වැඩි ය. දැනුවත් සමාජයක් ඒ බව තේරුම් ගෙන විපාක ඉහළ දැමීමටත් අසුවෙන්නට හැකි ඉඩ වැඩි කිරීමටත් ලබා ගත හැකි ප්‍රතිලාභ අවම කිරීමටත් යාන්ත්‍රණ සකසති.

  2. Thushara says:

    Thanks for your nice explanation. The society seems to be unconscious about the correct procedures. According to Gresham’s law when the society overwhelmed by bad practices goods things disappear forever.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s