Fundamental Errors and Technical Errors – තීරණාත්මක වැරදි හා තාක්ෂණික වැරදි


කිසියම් කෙනෙක් තීරණාත්මක නැතහොත් මූලික වැරැද්දක් කළ විට ඔහුට සළකන ආකාරයත් කෙනෙක් අතින් සිදුවූ තාක්ෂණික වැරැද්දක් සම්බන්ධයෙන් ඔහු හා ගනුදෙනු කරන ආකාරයත් දෙකක් විය යුතු ය.

මේ වෙනස බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බැරි ය. ඒ නිසාම ඔවුහු මේ වැරදි දෙවර්ගයම එක මල්ලේ ලා සළකති.

මගේ මිත්‍රයෙක් වරක් කුඩා මට්ටමේ ජල විදුලිබලාගාරයක් තැනීමට අවශ්‍ය තැන් වලින් අවසර ලබා ගත්තේ ය. ඔහු එය පටන් ගැනීමට සියල්ල ලක ලෑස්ති කර තිබියදී ඒ තැනම එවැනිම විදුලි බලාගාරයකට අවසර ඉල්ලා තවත් කෙනෙකුගේ අයැදුම් පතක් අධිකාරියට ලැබී තිබිණි.

ඒ දෙවැනි අයදුම්පත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබුනේ එම අයදුම්පතේ ඒ ස්ථානයේ ඛණ්ඩාංක හරියට යොදා තිබූ බවත් මගේ මිත්‍රයාගේ අයැදුම් පතේ තිබුණු ඛංණ්ඩාංක ඒ අනුව නිවැරදි නොවන බවත් ය.

ඒ අනුව බලධාරීන් තීරණය කළේ පළමු අයැදුම් පත ප්‍රතික්ෂේප කර දෙවැනි අයැදුම්පත සළකා බැලීමට ය.

මිත්‍රයාගේ අයැදුම්පතේ තිබුනේ තාක්ෂණික වැරැද්දකි. ඛණ්ඩාංක වැරදි වුවද ඔහු ස්ථානය නිසි ලෙස හදුන්වා තිබුනේ ය. ඒ කිසියම් වාරිමාර්ග ඉදිකිරීමක් නම් කරමිනි.

ඒ වනවිටත් මගේ මිත්‍රයා අවශ්‍ය සියලු අනෙකුත් බලපත්‍ර මේ වෙනුවෙන් ඉතා වෙහෙසව ලබා ගෙන තිබිණි. ඒ බලපත්‍ර නිකුත් කළ උදවියට පවා ඛණ්ඩාංක වල තිබූ එම වැරැද්ද අසුවී තිබුනේ නැත.

මේ වැරැද්ද හරියට තැපැල් පියුන් ලියුම් කවරයේ අංකය වැරදි වුව ද එහි නම සදහන් ඇති තැනැත්තාට බාර දීම ගැන චෝදනා පත්‍රයක් ලැබුවා හා සමාන ය. මේ තර්කනයට අනුව නම් බාර දිය යුතුව තිබුනේ නම කුමක් වුවත් අදාළ අංකයට ය. එසේත් නැතිනම් මෙය සමාන කළ හැක්කේ අංකය හා නම එකිනෙක නොගැලපෙන නිසා ලියුම නැවතත් ආ තැනැත්තාට යොමු කිරීමට හෝ එසේත් නැතිනම් විසිකර දැමීමට ය. තැපැල් පියුන්ට තිබෙන දැනුම උගත් මේ ඇත්තන්ට නැත්තේ ඇයි දැයි පැහැදිලි නැත.

මෙතැන ඇත්තේ තීරණාත්මක වැරදි හා තාක්ෂණික වැරදි එකම ගණයේ ලා සැලකීමේ අඩුව ය. එය සිදුවූයේ මේ දෙකේ වෙනස නොදන්නා නිසා ද නැතිනම් තමන්ගේ වාසියට එය හිතාමතාම එකම ගණයේ ලා තීන්දු කිරීමට ඕනෑ වූ නිසා ද යන්න දන්නේ දෙවියන් පමණකි.

උත්තරය දෙවැන්න විය හැකි වුව ද එය හිරිකිතයක් නැතිව කියා පෑමෙන් පෙන්වන්නේ තමන් මෝඩ නොවේ නම් අනෙකා මෝඩයෙකු ලෙස සැලකීමේ උද්දච්ඡ ස්වභාවය ය. මෝඩකම හා උද්දච්ඡකම යන ඒ දෙකින් එකක්වත් කළමනාකරුවෙකුට නම් තරම් නොවේ.