අපක්ෂපාතිත්වය අපෙන් අපේක්ෂිත ද?


කළමනාකරුවෙකු අපක්ෂපාති විය යුතු ද? මෙයට බොහෝ දෙනෙකු මුලින්ම දෙන පිළිතුර ඔව් යන්න ය. එහෙත් ඇත්තටම එය එසේ වන්නේ ද? අප එසේ ද? අප එසේ ම විය යුතු ද?

ඡන්දය ලෝභය භය මෝහය පැරදවිය යුතු කාරණා හතරක් ලෙස බුදුදහමේ ද සදහන් ය. එයින් කියවෙන්නේ ද තීරණයක් ගැනීමේ දී මේ සතර අගතියෙන් වියෝව තීන්දුව ගැනීමේ වැදගත්කම ය.

කෙනෙකු බය නිසා ද මෝඩකම නිසා ද ලෝභය නිසා ද තීන්දු නොගත යුතු යැයි කියන විට අපි කුකුසක් නොදක්වා ම එය එසේ වෙතැයි තේරුම් ගනිමු. එහෙත් ඡන්දය සම්බන්ධයෙන් අප ඒ බව පිළිගන්නට සූදානම් ද?

මා සිංහල නිසා සිංහල පාර්ශවයට අමතර ලැදි කමක් දැක්වුව ද බොහෝ සිංහලයන් විසින් එය අගතියක් ලෙස පිළිගන්නා එකක් නැත. තමන්ගේ එකාට නොසළකා කුමන හේතුවක් නිසා අනෙකාට සැළකිය යුතු ද? ඔවුන් නගන ඒ ප්‍රශ්නයට ඔබ සතුව උත්තර තිබේ ද?

අපේ කම දුර්ගුණයක් ද? ඒ ගැන ඔබ කියනු ඇත්තේ කුමක් ද?

එසේ නම් ඡන්දය අගතියක් වන්නේ කෙසේ ද?

අපේකමට පක්ෂපාතී වීම අපෙන් අපේක්ෂිත ද?

බුදුන් දෙසුවේ වැරදි දෙයක් ද?

මගේ ආයතනය තුළ වැඩ කරද්දී මා නම් පක්ෂපාතී වෙමි. ඒ මා සිංහලයෙක් නිසා සිංහලුන්ට නොවේ. ආයතනයේ ප්‍රගතිය පිළිබද වගකීම මා ද සතු නිසා මගේ පක්ෂපාතීත්වය ඇත්තේ වැඩ කරන මිනිසුන්ට ය. ඔවුන්ගෙන් සිදුවන පමාවක් මම ඉවසන්නෙමි. එහෙත් වැඩ නොකරන අය සම්බන්ධයෙන් ඔවුන් මගේ ජාතියට අයත් වුවද මගේ පාසලේ සගයන් වුව ද මගේම ගමේ වුව ද මම ඒ දේ නොකරමි. ඒ නිසා මම අපක්ෂපාතී ලෙස පක්ෂපාතී ය.

මා පක්ෂ වන්නේ යුක්තියට ය.

අපක්ෂපාතිත්වය නැවත නිර්වචනය කළ යුතුව තිබේ. අප වැරදි පදනමක් මත කිසිවෙකුට පක්ෂපාතී විය යුතු නොවේ.

ඊට අමතරව මා වැඩ කරන මිනිසුන් සම්බන්ධයෙන් පක්ෂපාතී වෙතත් කිසියම් අපක්ෂපාතිත්වයක් ද මා විසින් පෙන්නුම් කළ යුතුව තිබේ. ඒ සෙසු අය ද දිනා ගැනීම උදෙසා ය. ඔවුන්ට ද නැවත නිවැරදි වීමට ඉඩක් ඇති කිරීම සදහා ය. ඔවුන් වැඩ කරන්නන් බවට පත් කීරීම උදෙසා ය. ඡන්දයෙන් මා අගතියට නොගොස් ඇති බව පෙන්නුම් කිරීම ද උදෙසා ය.

ඒ නිසා වැරදිකරන වැඩ නොකරන මිනිසුන් සම්බන්ධයෙන් වුව ද මා නීත්‍යානුකූල පියවර ගන්නේ අපක්ෂපාතී පරීක්ෂණයකින් පසුව ය. වැරදි කරන වැඩ නොකරන මිනිසුන් එසේ වන අය බවට විවාදයකින් තොරව ඔප්පු කිරීම සදහා එය අවශ්‍ය ය. වැරදි කරන වැඩ නොකරන අය එයින් මුදවා ගැනීම සදහා ද එය අවශ්‍ය ය.

අපෙන් අපේක්ෂිත අපක්ෂපාතී ලෙස පක්ෂපාතී වීම ලෙස මා තේරුම් ගෙන ඇත්තේ ඒ නිසා ය.

Advertisements

2 thoughts on “අපක්ෂපාතිත්වය අපෙන් අපේක්ෂිත ද?

  1. Aruna Devendra says:

    1. “මහණෙනි, මේ ධර්‍ම සතරකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ප්‍රත්‍ය බෙදන්නා ගෙන එන ලද්දක් හෙලන්නේ යම්සේද, එසේ නරකයේ උපදී. කවර සතරකින්ද යත්?

    2. “ඡන්‍දයෙන් අගතියට යයිද, ද්වේෂයෙන් අගතියට යයිද, මොහයෙන් අගතියට යයිද, භයෙන් අගතියට යයිද, මහණෙනි, මේ ධර්‍ම සතරින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙන එන ලද්දක් හෙලන්නේ යම් සේද, එසේ නරකයෙහි උපදී.
    – භත්තුද්දේසක සූත්‍රය- සූත්‍ර පිටකය

    1. “මහණෙනි, මේ අගතියට යාම් සතරකි. කවර සතර දෙනෙක්ද යත්,

    2. “ඡන්‍දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මොහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි. මහණෙනි, මේ සතර අගතියට යෑම් සතරය.

    3. “මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,

    4. “ඡන්‍දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මොහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද. මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.

    5. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය ඉක්මවයිද, ඔහුගේ යසස කථවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් පිරිහෙයි..”

    6. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”
    – තුන්වෙනි අගතිගමන සූත්‍රය- සූත්‍රපිටකය

    1. “මහණෙනි, මේ අගතියට නොයෑම් සතරක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්,

    2. “ඡන්‍දයෙන් අගතියට නොයයිද. ද්වේෂයෙන් අගතියට නොයයිද. මොහයෙන් අගතියට නොයයිද. භයෙන් අගතියට නොයයිද. මහණෙනි, මේ සතර අගතියට නොයෑම් සතරය.

    3. “ඡන්‍දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මොහයෙන් යමෙක් ධර්‍මය නොයික්මවයිද, ඔහුගේ යසස පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයා සේ පිරෙයි.”
    – දෙවැනි අගතිගමන සූත්‍රය- සූත්‍ර පිටකය

    ඉහත සියළුම සූත්‍ර දේශනා වලට අනුව ඡන්දයෙන්, ද්වේශයෙන්, භයෙන් හා මෝහයෙන් අගතියට යාම තමයි නරකයේ උපදින්නේ, යසස පිරිහෙන්නේ.

    රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හාමුරුවෝ 2012/06/04 බුදුසරණ අන්තර්ජාල කළාපයට දේශනා කර ඇති පරිදි,
    – අගතිය කියා කියන්නේ අප නොයා යුතු තැන. ගතිය කියා කියන්නේ අප යා යුතු තැන. හිත මෙහෙයවිය යුතු, නොවියයුතු තැන, මෙහෙයවීමට සුදුසු, නුසුදුසු තැන් හතර තමයි සතර අගතියට ඇතුළත් වන්නේ.

    – ඡන්දය, ද්වේශය, භය, මෝහය අපේ සිතේ ඇතිවන සිතිවිලියි. සිතින් සිතිවිල්ල ක්‍රියාත්මක කරන එක තමයි යමක් සිතනවා කියා කියන්නේ. යමක් සිතා තමයි අපි කවුරුත් යම් යම් දේවල් කරන්න පෙළඹෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි කියනවා මං මේක කිව්වේ, හිතුවේ නැතිව කියලා. එහෙම කිව්වා කියලා ඇත්තට ඒකෙ විපාකය අඩුවීමක් වන්නේ නැහැ. කි‍්‍රයාව පිළිබඳව දැනුවත් නොවී එක සැරේට මේක කෙරුණ කියලා යන්න බැහැ. නොදැනුවත්ව අපේ හිතේ සම්බන්ධයක් නැතිව අපේ අතවත් අපිට ඔසවන්නට බැහැ. ඇගිල්ලක් නමන්න බැහැ. ක්ෂණිකව ඒ සිතිවිල්ල පහළ වෙනවා.

    ඡන්දය, ද්වේෂය, භය, මෝහය කියන මේ සිතිවිලි කි‍්‍රයාත්මක කරන එකට තමා හිතනවා කියන්නේ. එහෙම හිතලා අපි ඒ දේ කයින්, වචනයෙන් පිට කරනවා. හිතල තමයි අපි තීරණ ගන්නේ. තීරණයක් අරගෙන තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ තීරණය තුළ අතිශයින්ම වැදගත් වන සැලකිලිමත්විය යුතු කාරණා හතර තමා ඡන්දය , ද්වේශය, භය, මෝහය තිබෙනවාද කියා කල්පනා කිරීම. විශේෂයෙන් තීන්දු තීරණ ගැනීමේදී අනිවාර්යයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුයි.

    සමහර අය තීන්දු තීරණ ගන්නට තමන් කැමැති පුද්ගලයාට වාසි වෙන ආකාරයට. තවත් සමහරෙක් තීන්දු තීරණ ගන්නේ ද්වේෂයෙන් අගතිගාමි වෙලා. එවිට යම් පුද්ගලයෙක් රිදවන්න තමයි තීන්දු තීරණ ගන්නේ. ඊළඟට වචනයෙන් අගතිගාමි වෙනවා. තර්ජන ගර්ජන වලට බය වෙලා වැරැදි තීරණ ගන්නවා. ඒ වගේම මෝහයෙන් අගතිගාමි වෙලා පුද්ගලයාගේ වහසි බස්වලට රැවටිලා මුලාවෙලා වැරැදි තීරණය ගන්නවා.

    මේ කියන සතර අගතියෙන් අගතිගාමි නොවී කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කරන්න නම් තීන්දුවක් තීරණයක් ගන්න හැම මොහොතකදීම දෙසැරයක් කල්පනා කළ යුතුයි. විමසා බලා අවේගශීලි නොවී තීරණ ගත යුතුයි. අපේ සිත තරහ සිතිවිල්ලක තිබෙද්දී ජීවිතයේ කිසිම වැදගත් තීන්දුවක් ගන්න හොඳ නැහැ. මොකද ද්වේෂයෙන් සිටින අවස්ථාවේදී ඒවායේ විපාක පේන්නේ නැහැ. රාගයටත් මෝහයටත් සිත යටවෙලා තිබෙද්දේ තීන්දු තීරණ ගන්න හොඳ නැහැ.

    – අප යම් තීන්දුවක් තීරණයක් නිගමනයක් ගන්නට කලින් ආ පස්සටත් ඉදිරියටත් ප්‍රත්‍යක්ෂා ඥානයෙන් කල්පනා කරන්න ඕන හේතුවක් තියෙනවා. ඒ තමයි මම කරන දෙයින් මට කරදරයක් වෙයිද? එහෙම නැත්නම් හිතන්න එයින් අන් අයට කරදරයක් වෙයිද කියලා. එසේ කිසිවෙකුටත් කරදරයක් නැත්නම් එය තමයි කළ යුත්තේ. ඒ විදිහට කටයුතු කරල තමයි අපි ආවේග පාලනය කරන්න පුරුදු වෙන්නේ. මිනිස්සු ආවේගශීලි වන්නේ සිතේ තියෙන සිතිවිලිවලට වටිනාකමක් දෙන නිසයි. තමාට කෙනෙක් යම් දොසක් කීවානම් ඒ සිතිවිල්ලට යම් වටිනාකමක් දෙන්නට අපි පුරුදු වෙලා ඉන්නවා. “අරය මම වරදක් නොකර මට දොස් කිව්වා” කියා ඒ සිතිවිල්ලට වටිනාකමක් දෙනවා. මේ වටිනාකම දී තිබෙන්නේ හොඳ දෙයකට නොවෙයි. එනිසා සෑම කටයුත්තකදීම අපි නුවණින් කල්පනා කර බැලීම ඉතා යහපත් වෙනවා.

    අපි දන්නවා ඡන්දය (කැමැත්ත) නිසා අපේ සමාජයේ කෙතරම් අපරාධ වැඩි වෙලාද? යම් දෙයකට කැමැත්ත ඇතිකරගෙන ඒ කැමැත්ත සිත තුළ පාලනය කර ගන්නට බැරිවීම තුළින් හිංසාකාරි ක්‍රියා වැඩිවෙලා තිබෙනවා. සොරකම් කිරීම්, දූෂණ, වංචා අපරාධ මේ සියල්ලටම මේ ඡන්දය හේතුවෙනවා. එනිසා ඔබ ඡන්දයෙන් අගතිගාමි නොවී සිටීමට පුරුදු වෙන්න.

    ඒවගේම අපේ සිතේ ඇතිවන තරහ එහෙමත් නැත්නම් දේවේෂයෙන් අගතිගාමි නොවිය යුතුයි. තරහ සිතිවිල්ල පාලනය කර ගන්නට බැරි ක්ෂණික කෝපය මත මිනිස්සු කෝළාහල කරගන්නා ආකාරයත් එහි විපාක විඳින ආකාරයත් අපි දකිනවා. ක්ෂණික කෝපයට වුවත් ඒ පුද්ගලයාගේ සිතේ කල් ඇතුව යම් සූදානමක් තිබෙනවා. එය ඉබේ හට ගන්නා දෙයක් නොවේ. කෙනෙක් නරක සිතුවිලි හිතේ තබාගෙන එහි ක්‍රියාත්මක කරන්න පුරුදු වෙලා ඉන්නවානම් ඒ සිතිවිලි යම් තැනකදී ඉස්මතු වෙනවා. ක්ෂණික කෝපය මෙන්ම ක්ෂණික මෛත්‍රියත් පුරුදු කරන්නට පුළුවන්නම් මේවා අපට නිරන්තරයෙන් පාලනය කර ගන්නට පුළුවන් වෙනවා. මේ සියලු දේ සිදුවන්නේ හොඳ ක්‍රියා පිළිබඳව අපට භාවිතයක් නැතිකමයි. අපේ සිතේ තරහක් ආ විට මේක හානිකර සිතිවිල්ලක් කියලා තේරෙනවානම් අකුසල් සිදුවෙනවා බොහෝ දුරට අඩුයි. එසේ සිතන්නේ සැබෑ දක්ෂයෙක් පමණයි.
    http://www.lakehouse.lk/budusarana/2012/06/04/PrintPage.asp?REF=vision04

    ඒ අනුව කළමනාකරුවකු තමන්ගේ යටත් සේවකයින් පාලනයේදී ඡන්දය භාවිතා කිරීමට පෙර තමන් තුල පැලපදියම් වී ඇති ඡන්දයේ ස්වභාවය මැනවින් විශ්ලේෂණය කරගෙන/අවබෝධ කරගෙන එය කළමනාකරණ ක්‍රියාවලියට භාවිතා කිරීමෙන් වැඩ කරන නොකරන දෙපිරිසම අප නිවැරදි නායකයින් බව අවිවාදිතව පිලිගනු ඇති බව මගේ විග්‍රහයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s