සැබෑ වෙනසක් සදහා ගනු ලබන තීරණ හැම විටම අමාරු ය


සමහර තීරණ, ගැනීමට හරිම පහසු ය. ඒ හැම දෙනෙකුගේම කැමැත්ත ලැබෙන තීරණ ය. සමහර තීරණ අමාරු ය. ඒ තීරණාත්මක ටික දෙනෙකු අමනාප වීමේ තීරණ ය.

බහුතරයක් අකමැති තීරණ ගන්නවාට වඩා අමාරු තීරණාත්මක ටික දෙනා අකමැති තීරණ ගැනීම ය.

ඕනෑම ආයතනයක අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නන් ප්‍රමාණයෙන් 20% ට අඩු ය. එහෙත් ඔවුන් ඇති කරන ප්‍රශ්නවල බලපෑම මුලු ප්‍රශ්නවල බලපෑමෙන් 80% ඉක්මවයි. අප ඉහත කී තීරණාත්මක ටික දෙනා ප්‍රශ්නවලින් 80%ට වගකියන 20% දෙනා ය.

මේ අප සොයාගත්තක් නොවේ. පැරටෝ නම් විශ්ලේෂකයාගේ පර්යේෂණවල ප්‍රතිඵලයකි. මෙය කළමනාකරණයේ හදුන්වනුයේ පැරටෝ මූලධර්මය නමිනි.

ඒ මූලධර්මයටම අනුව ආයතනයක වැඩිම දායකත්වය (80%කට වඩා වැඩි දායකත්වය) ලැබෙන්නේ ද ආයතනයේ 20% ක පමණ පිරිසකගෙනි. මේ පිරිස අප සදහන් කළ ප්‍රශ්න ඇති කරන්නන්ගේ ප්‍රතිපක්ෂයයි.

කළමනාකරුවෙකු කළ යුත්තේ මේ වැඩිම දායකත්වය ලබන 20%ට වඩා හොදින් වැඩ කළ හැකි පරිසරයක් තැනීම ය. එහෙත් ඒ සදහා වැඩ නොකර ප්‍රශ්න ඇති කරන 20% අමනාප කරගන්නා තීන්දු ගැනීමට වුව සිදුවිය හැකි ය.

ප්‍රශ්න අවම කරන්නට ගියොත් ඒ පරිසරය සෑදිය නොහැකි ය. ඒ නිසාම නායකයෙකු මේ මාවත් දෙකින් එකක් තෝරාගත යුතු ය.

  • කළ යුත්තේ ප්‍රශ්න අවම කිරීම ද?
  • නැතිනම් දායකත්වය උපරිම කළ හැකි පරිසරයක් සාදා එලඹෙන ප්‍රශ්නයන්ට මුහුණ දීම ද?

ප්‍රශ්න ගැන බියෙන් සැලෙන නායකයන් තෝරාගන්නේ ප්‍රශ්න අවම කරන පහසු මග ය. එහෙත් අවාසනාවකට ඒ මග වැටී ඇත්තේ නිර්මාණශීලි දායකත්වයේ ගෙල හිර කරන යාන්ත්‍රණයක් බිහිකිරීම හා පවත්වාගෙන යෑම හරහා ය.

සැබෑ වෙනසක් සදහා අභීත තීරණ ගැනීම කළ යුතු වුව ද එය අපහසු ය.

ඒ ප්‍රශ්න ඇති කරන්නන්ට මේ කාණ්ඩ දෙකටම අයිති නැති 60% උසි ගැන්වීමට කාල වේලාව හා උනන්දුව ඇති බැවිනි. ප්‍රතිඵල ඇති කරන දායකත්වය දෙන්නන්හට ඒවාට උත්තර දීමට කාලවේලාවක් හෝ උනන්දුවක් නැති වීම නිසා ද ප්‍රශ්නයක් විශාල කොට දක්වන්නට ඒ හරහා උදාසීන 60% උසිගන්වන්නට මේ ප්‍රශ්න ඇතිකරන්නන්ට වැඩි ඉඩක් ලැබේ.

නායකයන් අභිත තීරණ ගැනීමේදී මේ ගැන ද සංවේදී විය යුතු ය. එයින් අදහස් කරන්නේ ප්‍රශ්න ඇතිකරන්නන්ට දිනුම දී අකුලා ගත යුතු බව නොවේ. ඔවුන්ව නිසි ලෙස කළමනාකරණය කළ යුතු බව ය.

අඩුවශයෙන් උදාසීන 60% මත ඔවුන්ගේ බලපෑම අවම කිරීමට කටයුතු කළ යුතු බව ය. ඔවුන් බහුතරයෙන් වෙන් කොට තනි කළ යුතු බව ය.

Advertisements

3 thoughts on “සැබෑ වෙනසක් සදහා ගනු ලබන තීරණ හැම විටම අමාරු ය

  1. ඔබට පුළුවන්ද මේ වගේ අවස්ථාවක් ගැන සිද්ධි අධ්‍යයනයක් ඉදිරිපත් කරන්න? මොකද මේක හැම තැනකදිම වලංගු කාරණයක්.

    • සත්‍ය සිද්ධියක්ම මේ සදහා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එක් දෙපාර්තමේන්තුවක බෞද්ධ සංගමය රාජකාරි වෙලාව ඇතුළත මාසික ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු කර ගෙන ගියේය.

      මේ ධර්ම දේශනාව නිසා මාසයකට සැරයක් එක් දිනක වරුවක් වැඩ කිරීමෙන් නිදහස් වීමේ වරම අලසයන් බොහෝ දෙනෙකුට ලැබී තිබුණු අතර හදිසි වැඩ පවා අතපසු කරමින් ධර්ම දේශනාවට සහභාගීවීම තම පරම අයිතියක් ලෙසම ඒ අය විසින් සළකන ලද්දේ ය.

      සංවිධායක වරු නිවාඩු ගත්තේ උදේ සිට සංවීධෘන කටයුතු වලට ය.

      මීට අමතරව ඕනෑම උත්සවයකට පැන ඒ උත්සවය දිග් ගස්සවා තමන්ට කැමති ලෙස ආගමික පිළිවෙත් ආරෝපනය කර ඒ උත්සවයේ අයිතිය ද මේ සංගමය විසින් පවරා ගනු නිතර දකින්නට තිබිණි.

      අලුතින් දෙපාර්තමේන්තුවට පත් වූ අධ්‍යක්ෂ ජනරාල් මේ තත්වය වෙනස් කිරීමට තීරණය කළේ ය.

      ඔහුගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ආගමික උත්සව පවත්වන්නට ගෙනා යෝජනා ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර මාසික ධර්ම දේශනය ද රාජකාරි වෙලාවලින් පිටත පවත්වන ලෙසට අනුශාසක හැටියට බෞද්ධ සංගමයෙන් ඉල්ලා සිටීමට ද ඔහු විසින් කටයුතු කරන ලදී.

      ඊට අමතරව බෞද්ධ ධර්මයට අනුව රාජකාරි කටයුතු ඉහලින් කිරීම මගින් සේවා ලාභී ජනතාවට ඉහළින් සේවය සැළසීම සදහා ආචාර ධර්ම පද්ධතියක් පිළියෙල කර බාර දෙන්නැයි ද ඔහු විසින් ඉල්ලන ලදී. එයින් අදහස් කරන ලද්දේ ද ධර්මය කොඩියක් ලෙස ඔසවා ගෙන යන්නන්ට එය ජීවිතයට පහනක් කර ගන්නා ලෙස නියම කිරීමට ය.

      බෞද්ධ සංගමයට මෙය දරා ගත නොහැකි වූ අතර නිර්නාමික ලිපි තැපැල් කරමින් ඒ තීන්දුවෙන් උරණ වූ සංවිධායකයන් කියා සිටියේ අන්‍යගාමික අධ්‍යක්ෂ ජනරාල්වරුන් යටතේත් තමන් ලද වරප්‍රසාදයක් මේ අධ්‍යක්ෂ ජනරාල් වරයා යටතේ අහිමි කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ යහළුවන් අතරේ බුද්ධාගම අත්හැර වෙනත් ආගම් වැළද ගත් මිතුරන් ද ඉන්නා බවත් ඔහුගේ පවුලේ කෙනෙකු විසින් මහා වංශය හා සංඝරත්නය විවේචනය කරමින් පොතක් ලියා ඇති බවත් මේ ක්‍රියාත්මක වන්නේ කොටින්ගේ කොන්ත්‍රාත්තුවක් බවත් ය.

      මීට අමතරව කලින් අධ්‍යක්ෂක ජනරාල් වරයා පැමිණෙන විට සේවකයින් නොනැගිට්ට නිසා දෙපාර්තෙමේන්තු ලොබියේ අයින් කරන ලද පුටු ද නව අධ්‍යක්ෂවරයා විසින් නැවත ගෙන එන ලද නිසා නව අධ්‍යක්ෂ ජනරාල් වරයාට යම් ප්‍රසාදයක් ලැබී තිබුනු බව ද සදහන් කළ යුතු ය.

      අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාසික ධර්ම දේශනාව සමබන්ධයෙන් ගත් තීරණය මුලින් අනුමත කළ අය පවා ඉහතකී ලියුමෙන් කලබලයට පත්ව තිබූ අතර පුටු නැවත දැමීම ඇතුළු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සමහර තීරණ නිසා ප්‍රසාදයට පත්වූ අය ද ඉන් කණගාටුවට පත්ව තිබිණි.

      මාසික ධර්ම දේශනාව සම්බන්ධ තීරණය නැවත සළකා බලන ලෙස වඩාත් ඍජු බලපෑම එල්ල වූයේ අර කී මධ්‍යස්ථ අයගෙනි.

      වැඩ කිරීමට කැමති ධර්ම දේශනා තහංචිය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළ අය පවා විරුද්ධතා හමුවේ සසලව සිටි අතර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉදිරිය කෙසේ විසදෙනු ඇති දැයි අපි දු වුවමනාවෙන් බලා සිටිමු.

      • මේ වගේ සිදුවීමක් අපේ කාර්යාලයේ සිද්ධ වුණා. අළුත් අධ්‍යක්ෂ ධුරයට පත්වුණ නිලධාරිනිය කලින් හිටියෙ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයේ. ඇය වැඩ කිරීමට කැමති වේලාව වෙනත් දේවලට වැය කිරීමට අකමැති කෙනෙක්. විශේෂයෙන් ආගමික උත්සව සහ නොයෙක් සාඛච්ඡා. ඇය කියන්නෙ අපි සාඛච්ඡා සහ උත්සව කරන තරම් වැඩ කලානම් සාඛච්ඡා කරන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ කියල. ආගමික උත්සව ගොඩක් විට ආයතනයේ රාජකාරි වෙලාව වැය කරමින් සිදු වෙන දෙයක්.

        මේ නිලධාරිනිය අළුත් ධුරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් අපේ සීසී නෝනට (අපේ කාර්යාලයේ ඉහල නිලයක පිරිමියෙකුට ඉන්නෙ ගණකාධිකාරිවරයා පමණයි) උවමනා වුණා පිරිතක් කියන්න. අධ්‍යක්ෂතුමිය අවශ්‍ය නෑ කියද්දිත් සීසී සහ ලකුණු සම්බන්ධයෙන් උනන්දු කීපදෙනෙක් නිසා පැය කීපයක පිරිතක් කියන්න වුණා.

        අපි කතා වුණේ අධ්‍යක්ෂතුමියගේ පලපුරුද්දේ මදිකම නිසා ඔය නිලධාරින් ඇයව පාලනය කරයිද කියලයි. නමුත් එහෙම වෙන පාටක් නෑ දැනට. ඇය බොහොම හොඳින් සේරම බේරගෙන වැඩ ටිකත් කරගෙන ඉන්නවා.

        මම යෝජනාවක් කරන්න කැමතියි ඔබට. ඔය කියන කලමනාකරණ මූලධර්ම විස්තර කරද්දිම ඒ සම්බන්ධ ප්‍රායෝගික අවස්ථාවක් උදාහරණෙකට දෙන්න පුළුවන් නම් කියවන අය කැමති වෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s