ගැලවිජ්ජාව – මෙහෙව් රටකට පායයි ද සූර්යයා!


ගැලවිජ්ජාව අපේ ආයතනයන්ට පොදු ව්‍යාධියකි. යමක් අයිතිවන්නේ තමන්ගේ වපසරියට නොවේ යැයි කියා අත පිසදා ගැනීමට ලැබෙන්නේ නම් එතැන තිබෙන්නේ සැනසුමයයි බොහෝ දෙනා සිතන්නට පුරුදුව තිබේ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයට ජපානයේ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් ආපදාවකදී  හෙද සේවා සැපයිය යුත්තේ කෙසේදැයි උගන්වන පාඨමාලාවක් පිරිනැමුනේ ය. දින දෙකකින් යුත් ඒ පාඨමාලාව ජපානයේ හෙදියන් විසින් හෙදියක් ලෙස කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් ලබා ගත යුතු අනිවාර්යය සුදුසුකමකි. අප වෙත පිරිනමනු ලැබ තිබුනේ එවැනි අත්හදා බලනු ලැබූ අතිශය වැදගත් පාඨමාලාවකි.

පාඨමාලාව පැවැත්වීම සඳහා රු 270 000 ක මුදලක් අවශ්‍ය වූයෙන් අපි අදාළ ආයතනවලට ඒ සඳහා සහය වන ලෙස දැන්වූයෙමු.

ආපදා සම්බන්ධව කටයුතු කරන ආයතනවල ප‍්‍රතිචාරය වූයේ එය ආපදා සම්බන්ධ එකක් වුව ද පුහුණු කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට අයත් හෙදියන් නිසා මුදල් ලබා දිය යුත්තේ ඔවුන් බව ය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අදහස වූයේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට ආයෝජනය කළ යුතු බොහෝ ව්‍යපෘති තිබෙන බැවින් ද ඒවා දැනටමත් අඳුනාගෙන ඒවා සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ද ආපදා සම්බන්ධයෙන් වෙනම ආයෝජනයක් රජය විසින් කරන බැවින් ද මේ මුදල් ලබා දීමේ වගකීම ඇත්තේ ආපදා සම්බන්ධ ආයතන ව්‍යුහයට බව ය. එසේ වුව ද පුහුණුව වැදගත් බව පිළිගත් ඔවුහු තමන්ගේ හෙද හෙදියන් ඊට සහභාගී කිරීමට කටයුතු කළහ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ රජයේ ආයතනයක් වුව ද අපට භාණ්ඩාගාරයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. 2005 වසරේ සිට අපි අප උපයාගත් ආදායම්වලින් පමණක් අපේ කටයුතු කරගෙන ගියෙමු. ඒ නිසාම 270000 ක් යනු අපට විශාල මුදලකි. එහෙත් මේ පාඨමාලාවේ වැදගත්කම සළසා ඒ පාඩුව විඳගෙන අපි පාඨමාලාව සාර්ථකව අවසන් කළෙමු. ඒ තීරණය ගැනීමේ දී අප ආපදා හෝ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයන්ට අයත් නොවන්නේය යන්න අපට බලපෑවේ නැත. අපට අවශ්‍ය වුයේ මේ වැදගත් පාඨමාලාව රටට ලබා ගැනීමට ය.

අපත් ගැලවිජ්ජාවම අනුගමනය කළේ නම් රටට වැඩදායක පාඨමාලාවක් රටට අහිමිවන්නට ඉඩ තිබුනේ ය. රට එකට කියන්නේ රට ඉදිරියෙන් එකේ අංකය ලියා ගත් බැනරයක් ආයතනය තුළ ප‍්‍රදර්ශයනය කිරීම නොවේ. රටට වාසියක් ගෙන දෙන යමක් කිරීමේදී පංගු පේරුව සොයන්නේ නැතිව රට ඉදිරියෙන් තබා කටයුතු කිරීමට ය.

මේ පාඨමාලාව අපේ එකක් යැයි ආයතන දෙකටම කියන්නට හැකිව තිබියදී එය වඩාත් අදාළ වන්නේ අනෙකාට යැයි කියා අත් පිසදා ගැනීම අපේ රටේ පවතින පොදු මානසිකත්වය මේ ආයතන දෙක තුළ ද පිළිබිඹු වීමකි. අපට මෙන් නොව මේ ආයතන දෙකටම රජයේ ආධාරවලට අමතරව විවිධ ව්‍යපෘති ආධාර ද ලැබෙන තත්වයක් යටතේ මෙය වඩාත් පුදුම උපදවන සුළු ය.

යමක් තමන්ගේ නොව අනුන්ගේ යැයි කියා ගැලවෙන්නට හැකි වන වටපිටාවක් අපට තිබේ. ඒ බොහෝ දේ එක් අයෙකුගේ විෂයපථයට ඔබ්බෙන් අනෙකාගේ විෂයපථය ද ආවරණය වන ලෙස පැතිර තිබීම නිසා ය. හරියටම අයත් වන්නේ කුමන විෂයපථයට ද යන්න වාද විවාද දෙස බැලීම මේ නිසා අතිශයින් රසවත් ය.

ශිෂ්‍යත්වයකට රට යන්නට යම් විෂයක් යටතේ අවස්ථාවක් ලැබුනහම අනුන්ගේ විෂයපථයන් වුව ද තමන්ගේ කරගන්නා අපේ රටේ තමන්ගෙන් (ඇත්තටම තමන්ගෙන් ද නොවේ. තම ආයතනයෙන් පවා) සතයක් හෝ වියදම් කරන්නට සිදුවන විට එයම අනුන්ගේ වන්නේ අතිශය පුදුම උපදවන සුළු ලෙස ය. විද්‍යාව උගත් අය පවා විද්‍යාව විභාග සමත් වීමට විනා වෙන කෙංගෙඩියකට භාවිතා නොකරන අපේ රටේ ගැලවිජ්ජාවෙන් කෙල පැමිණි අයගේ නම් අඩුවක් දකින්නට නැත.

මෙහෙව් රටකට පායයි ද සූර්යයා!

Advertisements

7 thoughts on “ගැලවිජ්ජාව – මෙහෙව් රටකට පායයි ද සූර්යයා!

  1. පැතුම් හේරත් says:

    මෙවැනි ගැටළු නැති රටක් වෙනුවෙන් අපට කළ හැකි දේ කුමක් ද? පවතින රජය වෙනස් කිරීම ද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම ද?

    • පැතුම්, මට හිතෙන විදිහට අපට ලැබෙන්නේ අපට ඔබින නායකයන් ය. අප වෙනස් නොවන තාක් උහුද වෙනස් නොවෙති. ඒ නිසා අප කළ යුත්තේ අප වෙනස් වීම ය. අප උනට වඩා වෙනස් වීම පමණක් නොසෑහේ. උන් කරන දෑ අනුමත නොකරන බව ද ඒවා ඉවසීමට සූදානම් නැති බව ද උන්ට දැන්විය යුතු ය. මෙවැනි ගැලවිජ්ජාවන් පෙන්වා දෙමින් එසේ කරන නායකයින්ට අපගේ විරෝධය දැක්වීම ද කළ යුතු ය. අප නිශ්ශබ්දව සිටින තාක් මෙවැනි කටයුතු කර ගැලවීම යාමට හැකි ය යන විශ්වාසය මෙසේ කරන අයට ඇතිවේ. ඒ විශ්වාසය ද බිද දැමිය යුතු ය.

      • පැතුම් හේරත් says:

        දැන් අප බොහෝ විට කරන්නේ අපි අපේ විදියටම ඉන්න ගමන් පාලනේට එන අයව මාරු කර කර හරි යනකම් බලා සිටීමක් නොවේද? මට හිතෙන්නේ පවතින සිස්ටම් එක අවුල් කියන එක අපි හැමෝම පිළිගන්න දෙයක්… ඒක වෙනස් කරන්න ඒ සිස්ටම එක ඇතුලෙම ඉඳන් කෑ ගහන එකට වඩා.. තනි තනි පුද්ගලයින් වශයෙන වෙනස් වීම අරඹන එක.. අපි පොඩි කාලේ ඉඳන් ම අහන දේවල් දැන් අවුරුදු 30ක් විතර ගිහිල්ලත් වෙනස් වෙලා නෑ(මගේ අත්දැකීම අනුව)… අපිත් ඒ දේවල් ම සාකච්ඡා කර කර ඉඳල තේරුමක් තියෙනවද? මිනිසුන්ගේ චින්තනය වෙනස් කිරීමට හැකි අදහස් සහ ප්‍රායෝගිම ක්‍රම ගැන සාකච්ඡා කිරීම වඩා වැදගත් කියලයි මම හිතන්නේ… බලපෑම් කරන්න පාරට බහින්න මිනිස්සු හැමදාම ඉන්නව.. බලපෑමෙන් පස්සෙ සිද්ධ වෙන වෙනස සාර්තක කරන්න ආයෙමත් එන්නේ පරණ චින්තනයම සහිත පුද්ගලයෙක් නම් ඒ බලපෑම් හෝ වෙනස්වීම් වලින් ප්‍රයෝජනයක් තියෙනව ද?

  2. පැතුම් අපි නිකම් කෑ ගහ ගහ හිටියේ නෑ. ඉහත සිද්ධියෙදි අපි අපිට පුලුවන් උපරිම දේ කළා. ඒ අපට ආපදා ගැනවත් හෙද සේවය ගැනවත් විශේෂ විෂය පථයක් හෝ අරමුදල් නැතිව තියෙද්දි. හැබැයි එහෙම කරල කට පියන් ඉදල බෑ. නොකරපු මිනිස්සු නොකරපු බව කියන්න ඕන. මේ ලෝකෙ තියෙන වඩාත්ම නරක දෙය නරක මිනිස්සු නරකම කරන එක නෙවෙයි. හොද මිනිස්සු ඒවා ඉවසන එක. අපි ඉවසන්න සූදානම් නෑ. අපි වෙනස වෙනුවෙන් පෙනී හිටින ගමන් තමයි කෑ ගහන්නෙ. නිකම් නෙවෙයි.

    • පැතුම් හේරත් says:

      නිශාන්ත මහතාණෙනි, මම කියන්න උත්සාහ කලේ අපි ගොඩක් වෙලාවට අපෙන් කෙරෙන්න ඕනේ දේ නොකර ඒ දේ ආන්ඩුවට හෝ පද්ධතියේ ගිණුමට බැර කරල දාල නිකන් ඉන්න එක ගැන. ඔබ සමඟ මම මේ සාක්ච්ඡාවට එකතු වූයෙත් ඔබ එසේ නොකරන කෙනෙක් බව ඔබේ සටහනින් වැටහී ගිය නිසයි..

      මේ දිනවල බොහෝවිට ෆේස්බුක් සහ මේ සිංහල බ්ලොග් අවකාශය තුල බොහෝ විට දක්නට ලැබුණේ මේ රට කිසිම වැඩකට නැති ජීවත් වීමට නුසුදුසු තත්වයෙ රටක් බවට බොහෝ දෙනා මැසිවිලි නැඟීම, මග තොටේදී සහ ඕනෑම තැනකදි ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නෙත් ඔය බැනුම් සහ මේක හරි නෑ කියන අදහසම තමයි.. නමුත් මීට අවුර්දු 3-4කට පෙර අප අත්විදි තත්වය මුළුමනින් ම මඟ හැරී සාමකාමී සමාජයක් පවතින විටත් පොදු ජනතාව වශයෙන් අප කළ යුත්තේ කුමක් ද යන්න ගැන පාට කන්නාඩි වලින් තොරව බලා කටයුතු කරන්නේ නැහැ කියන එක තමයි මට හිතුණේ…

      බොහෝ විට මේ බ්ලොග් සහ අන්තර්ජාල බාවිතයේ ඉන්න තරුණ මනස් වලට හෝ රට ගැන සහ තමාගේ ආකල්ප සුභදායි ලෙස වෙනස් වන විදියේ අදහස් යා යුතු යැයි මට හිතුන නිසා තමයි මම දේශපාලනයෙන් තොරව අපට මේ රටේ ජීවත්විය නොහැකිද යන්න ගැන හිතා බැලුවේ.. ඔබගේ ලිපියේදී හරි දේ කිරීම සහ වැරැද්දට එරෙහිවීම දෙකම ගැබ්ව තිබුණත් බොහෝ ලිපි වල ඇත්තේ වැරද්ද සහ වැරැද්දට බැන බැන කියවන්නා තුළ රට සහ පවතින පද්ධතය එපා කිරීමක් බවයි මට නම් පෙනී යන්නේ.

      • පැතුම් ඔබේ මැදිහත්වීමත් ඔබට රට ගැන ඇති උනන්දුවත් මුලින් ම අගය කරන්නට කැමති යි. අපි මහතාණෙනි වගේ කෑලි අමතක කර කතා කරමු. අන්තර්ජාලයේ හමුවන අයගේ පට්ටන්තරේ අපි දන්නෙ නැති නිසාම අපිට නම කියල කතා කරන්න පොඩි අයිතියක් ඒ වගේම නිදහසක් තියෙනව. ඒක හොද දෙයක්. මං ඒක උපරිම විදිහට භාවිතා කරනව. ඒ නිසා මටත් නිශාන්ත කියන්න. රට හදාගන්න නම් අපි රටේ තියෙන අඩුපාඩු පිළිගන්නට ඕන. කුණු ඉවත්කරන්න නම් ඒවා කුණු කියල අපි දැනගෙන ඉන්න ඕන. ආගන්තුකයෙක් ගෙදර එන කොට කුණු කාපටි ඇතුළට නැත්නම් දොර මුල්ලට තල්ලු කරන්න සමහරු පුරුදු වෙල ඉන්නව. මම ඒක පිළිගන්නෙ නෑ. අනුන්ගෙ කුණු පමණක් දකින්නේ නැතිව ඇන්ටනා අපේ පැත්තට හරවල අපේ කුණුත් හොයන්න ඕන. තරුණයන් කළකිරෙන්නේ කුණු දැකල නෙවෙයි. ඒව කුණු කියල පිළිනොගන්න පරම්පරාව දැකල. හරි දේ කරමු. අනුන්ගේ වැරැද්ද පෙන්වන්නට කලින් අපි ඒ වැරැද්දෙන් වත් අත්මිදී නිවැරදි වී ඉමු. පළමු ගල මරියා මග්ලේදනාට ගහන්නට අවසර ඇත්තේ වැරැද්දක් නොකළ කෙනෙකුට බව නිතර සිහිකරමු. ඔබට ජය.

      • පැතුම් හේරත් says:

        නිශාන්ත, කුණු පෙන්නා දෙන විට කුණු සුද්ද කරන්න යැයි කියමින් ඒ වෙනුවෙන් කෑ ගසා කුණු වලට වෛර කිරීමට පෙළඹෙනවා මිස.. ඇන්ටෙනාව තමන් ගේ කුණු දෙසට හරවා බැලීමක් නොදැකීම තමා මා මෙය මෙතරම් දුර ගෙන ඒමට හේතුව… ඔබෙත් මගෙත් අදහස් වල ගැටුමක් නැත.. එපමණයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s