අප්‍රියෙල් 8 නැවත වේදිකාගත වෙන නාලකගෙ දගමල්ල – කළමනාකරුවන්ට උගන්වන පාඩම


ඇය නම් දග මල්ලක්ම තමා. සම්මතය රජයන සමාජයක ඇය ඉන් බැහැර කරනා අසම්මතයම තමා.

ඔව් ඇය කැරලි කාරියක්. ඇගේ නිදහස වෙනුවෙන් සම්මත ආධිපත්‍යයට විරුද්ධව කැරලි ගසන්නියක්. ඇගේ ඒ පෞද්ගලික කැරැල්ල නාලක ස්වර්ණතිලකයන් වේදිකාවට කැදවනව. රටේ දරුවන් බොහෝ දෙනෙකු සමහරු එලිපිටත් සමහරු හොර රහසේත් මුදාහරින විරෝධාකල්පය වැඩිහිටියන් ඉදිරියේ දිග හරින්නට වගේ.

බොහෝ දෙනෙක් එලිපිට පිළි නොගත්තත් අපේ බොහෝ නිවෙස්වල සමාජයෙන් වසන්ව මේ කැරැල්ල පවතිනව. හරියට කාපට් යටට එකතු කරන කුණු වගේ. කවුරු හරි මේ කුණු එලියට ගත්තේ නැතිනම් මේ එකතු වෙන කුණු කාපට් එකට දරන්නේ නැතිව යනව.

ඇගේ නම එලිසබෙත්. ගෙදරින් ඈත නේවාසික පාසලක යාම ප්‍රතික්ෂේප කරන ඇය ඇගේ විරෝධය නොතකා එසේ යැවීම ගැන නොසතුටට පත්වෙනව. දඩබ්බර වැඩ කර කෙසේ හෝ තමන් පාසලින් පන්නා දමනු ලැබීම සදහා ඇය නොයෙකුත් වැඩ කරනව.

මේ නිසාම සමාජයට ඇය නපුරියක් වගේ පේනව. ඒත් ඒ නපුර පිටුපස තියෙන්නෙ අහිංසක ආසාවක්. ඒ නිදහසේ අපේක්ෂාව. නැවතත් තමන්ට හුරු පුරුදු නිවහනට නිදහසේ සැරිසැරිය හැකි නිවහනට යෑමේ අපේක්ෂාව.

ඇය තුළ එලිදකින නපුරට සමාන්තරව එය යටපත් කර දැමීමේ හැකියාවක් ද ඇය තුළම පවතිනව.

ඒ නිසාම තම යෙහෙලියගේ දුකේ දී වඩාත් කම්පනයට පත්වෙන්නේ ඇය වීම අහම්බයක් නෙවෙයි.

වේදිකාව මත දිගහැරෙන මේ අපූරු කතාව වැඩිහිටියන්ට දරුවන් පිළිබද තම අස්ථානයන් ගැන නැවත විමසන්නට පොළඹවනව. දෙමාපියන්ට දරුවන් සමග ගනුදෙනු කරන්නට තමන්ගේ කුසලතා ප්‍රමාණවත් ද කියා සැක හිතවන්න ඉදිරිපත් වෙනව. ගුරුවරුන්ට තමන් තවමත් හරිහැටි ඉගෙන ගෙන නැතැයි කියා ඒත්තු ගන්වන්න බලපෑම් කරනව.

නාට්‍ය අවසානයේ කැරලිකාරිය තමන්ම විහිදුවා හළ නපුර පරදවනව. නපුරු දැරිය පාසලේ ඉන්නා සුන්දරම දැරිය වෙනව. ඒකට පාසලෙන් ලැබෙන පිටුවහල අනුපමේයයි. ඒ නිසාම ළමුන්ට හිරගෙවල් වෙලා තියෙන හොද ළමයිනුත් නරක ළමයි කරවන අපේ පාසල්වලටත් නාලකගේ මේ නාට්‍යය අභියෝග කරනව. ළමා මනස තේරුම් ගන්නේ නම් කැරලිකාර සිතක් යහපතට යෙදවිය හැකිය යන ශුභාරංචිය දගමල්ල අප වෙත ගෙන එනව.

ළමා මනස තේරුම් ගන්න නාලක කුඩා දරුවන් සතු නිසග කුසලතාවල සීමාවක් නැතැයි යන්න ඔවුන් ලවාම අපට පෙන්වා දෙනව.

නාලකගේ අධ්‍යක්ෂණය යටතේ දරුවො අපූරු රංගනයක යෙදෙනව. ඔවුන් තමන්ගෙ චරිත ඇතුළේ ජීවත්වෙනව. ඒත් අපි ඒක නාට්‍ය තුළ ඉන්න වැඩිහිටි චරිතවලින් ඒ තරමටම දකින්නෙ නැහැ. හැබැයි ඒ අඩුව පුංචි දරුවන්ගෙ කුසලතාවලින් වැහිල යනව.

මට හිතෙන හැටියට වැඩිහිටියො දෙබස්වලට බර වෙද්දි කුඩා දරුවො ඉරියවු හා හැසිරීමෙන් ඔවුන්ගෙ රංගන කුසලතාවය මතුකරනව.

මට හිතුනෙ දගමල්ල මං කලින් බලල තිබුනනම් කියල. එහෙම වුනානම් සමහර විට මගේ දරුවන් සම්බන්ධයෙන් මා දැරූ අස්ථානයේ පවා වෙනසක් වෙන්න තිබුන.

ඒ නිසාම හැම අම්ම කෙනෙක් ම තාත්ත කෙනෙක්ම වගේ හැම ගුරුවර ගුරුවරියක්මත් දගමල්ල බලනව නම් හොදයි කියල මට හිතෙනව.

හැම විදුහල්පති කෙනෙක්මත් හැම ආයතන ප්‍රධානියෙක්මත් ඒ වගේම රටේ නායකයනුත් මේ දගමල්ල බැලුවනම් වඩාත් හොදයි කියලත් මට හිතෙනව. ඒ කැරලි ගහන්නෙ දරුවො විතරක් නොවන නිසා.

කැරලි ගහන අයගෙ නපුර විතරක් දකින කළමනාකරුවන් හා නායකයින්ට නොපෙනෙන්නෙ මේ කැරලිකරුවන් සතුව තියෙන නිර්මාණශීලිත්වය ශක්තිය හා අව්‍යාජත්වයයි. මේ අය ඒ බව දකින්නේ නම් ඔවුන් වඩාත් අගය කරනු ඇත්තේ ද කැරලි කරුවන් බව මට විශ්වාසය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s